November 6, 2024
SLIIT RoboFest 2024, ශ්‍රී ලංකාවේ හොඳම රොබෝ තාක්ෂණ දැනුම විදහා දැක්වූ උණුසුම් තරගයකින් නිමාවට පත්විය
පුවත්

SLIIT RoboFest 2024, ශ්‍රී ලංකාවේ හොඳම රොබෝ තාක්ෂණ දැනුම විදහා දැක්වූ උණුසුම් තරගයකින් නිමාවට පත්විය

Oct 30, 2024

SLIIT ඉංජිනේරු පීඨය විසින් සංවිධානය කරනු ලැබූ SLIIT RoboFest 2024 අවසන් මහා තරගය මාලබේ පිහිටි SLIIT ආයතන පරිශ්‍රයේදී ඔක්තෝම්බර් 01 වන දින සාර්ථකව නිමාවට පත්විය. රොබෝ තාක්ෂණය පිළිබඳව රටේ තරුණයින් දක්වන ඉහළ මට්ටමේ දක්ෂතාවයන් ප්‍රදර්ශනය කරමින් සති ගණනාවක් පුරා පැවති මෙම තරගාවලිය තුළ උණුසුම් තරගකාරීත්වයක් පෙන්නුම් කරනු ලැබිණි. මෙම තරගයට පාසල් කාණ්ඩය නියෝජනය කරමින් කණ්ඩායම් 150 කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි වූ අතර විශ්වවිද්‍යාල කාණ්ඩය යටතේ කණ්ඩායම් 175 කට වැඩි සංඛ්‍යාවක් ලියාපදිංචි විය. ඒ අතරින් විශ්වවිද්‍යාල කණ්ඩායම් 12 ක් සහ පාසල් කණ්ඩායම් 22 ක් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් සපුරා ගනු ලැබීය.

SLIIT RoboFest 2024 තරගය, රොබෝ තාක්ෂණය පිළිබඳ නව සීමා මායිම් පුළුල් කරමින්, රට පුරා සිටින සිසුන්ගේ සුවිශේෂී නිපුණතාවයන් හා ඒ සම්බන්ධයෙන් ඔවුන් දක්වන උනන්දුව තරගයට ඉදිරිපත් කරනු ලැබූ අති නවීන රොබෝ ව්‍යාපෘති තුළින් පිළිබිඹු විය. SLIIT RoboFest තරගය වසර ගණනාවක් පුරා තරුණ ශිෂ්‍ය ප්‍රජාවගේ මනස තුළ ඇති කරනු ලැබූ පෙළඹවීම තුළින් ලෝකයට රොබෝ තාක්ෂණය පිළිබඳ නව මාවතක් සහ විශාල උනන්දුවක් නිර්මාණය කරදීමට සමත්ව ඇත.

SLIIT RoboFest 2024 තරගය හරහා නැවත වරක් රොබෝ ක්‍ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ තාරුණ්‍යය සතු විසල් හැකියාවන් ප්‍රදර්ශනය කරන ලදී. පාසල් සහ විශ්වවිද්‍යාලවල සහභාගීවූවන් විසින් ඉදිරිපත් කරන ලද නවෝත්පාදන සහ නිර්මාණශීලී හැකියාවන් ඉතාමත් සිත්ගනාසුළු වූ අතර ඉදිරි පරම්පරාවේ රොබෝ ඉංජිනේරුවන් සංවර්ධනය කිරීම සඳහා ද ඔවුන්ගේ දායකත්වය හිමි විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් SLIIT ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය අයන්ත ගෝමස් මෙසේ පැවසීය. ”SLIIT RoboFest 2024 තරගය සඳහා සහභාගීවූවන් විසින් ඉදිරිපත් කරන ලද නවීන ව්‍යාපෘතිවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අපි අතිශයින් සතුටු වෙනවා. මෙම තරගය අනාගත තාක්ෂණික නායකයින්ට ඔවුන්ගේ කුසලතා එළිදැක්වීමට කදිම වේදිකාවක් නිර්මාණය කර දෙනවා. ඒ වගේම SLIIT ශ්‍රී ලංකාවේ රොබෝ අධ්‍යාපනය තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට කැපවී ක්‍රියා කරනවා.”

අවසන් මහා තරගයේදී බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ Mavericks කණ්ඩායම පාසල් කාණ්ඩයේ ශූරතාව දිනා ගනු ලැබූ අතර විශ්වවිද්‍යාල කාණ්ඩයේ ශූරතාව SLIIT නියෝජනය කරනු ලැබූ Phantom කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත්විය. Dialog Axiata හි සමූහ ප්‍රධාන විශ්ලේෂණ සහ AI නිලධාරී ආචාර්ය රොමේෂ් රණවන මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. SLIIT ආයතනයේ සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

SLIIT හි යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යන අංශ ප්‍රධානී මහාචාර්ය මිගාර ලියනගේ මේ පිළිබඳව මෙසේ අදහස් පැවසීය. ”SLIIT RoboFest 2024 තරගය සිත් ඇදගන්නාසුළු අන්දමින් නිමාවට පත්වෙද්දී, රොබෝ තක්ෂණ ක්‍ෂේත්‍රයේ තරුණ දක්ෂයින් වර්ධනය කිරීම සඳහා මෙම තරගය අඛණ්ඩ වූ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර තිබෙනවා. එහි ප්‍රසිද්ධිය වැඩි වීමත් සමග එය යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යාපනයේ සිසුන් අතර නවෝත්පාදන සහ නිර්මාණශීලීත්වය වැඩිදියුණු කරනු ලබන වේදිකාවක් බවට පත්වීම ගැන අපි සතුටු වෙනවා.”

SLIIT RoboFest 2024 අවසන් මහා තරගයට පෙර ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ SLIIT පීඨ සාමාජිකයින්ගේ ප්‍රධානත්වය ඇතිව දිවයින පුරා පිහිටි පාසල් 30 කට වැඩි සංඛ්‍යාවක් මූලික කර ගනිමින් වැඩමුළු මාලාවක් පවත්වන ලදී. මෙම වැඩමුළු හරහා රොබෝ තාක්ෂණ ක්‍ෂේත්‍රයේ සිසුන්, විද්වතුන් සහ කර්මාන්ත වෘත්තිකයන් අතර නිවැරදි අවබෝධය, ජාලකරණ අවස්ථා සහ දැනුම හුවමාරු කර ගැනීමට ද හැකි විය.

තරගය සඳහා ඉදිරිපත් වූ කාණ්ඩ දෙකේම ජයග්‍රාහකයන් සඳහා ආකර්ෂණීය ත්‍යාග, සහතිකපත් සහ කුසලාන ප්‍රධානය කෙරිණි. SLIIT RoboFest 2024 සාර්ථක කර ගැනීම සඳහා නිල මාධ්‍ය අනුග්‍රාහය TV 1 සහ Sirasa TV මාධ්‍ය ආයතන ඇතුළු අනෙකුත් ප්‍රධාන අනුග්‍රහයන් GFC Waste Management (Pvt) Ltd, EWIS, SLAM Power Solutions Pvt Ltd, Ceylex Engineering, MEU Labs (තාක්ෂණික අනුග්‍රහය), Voltas, AIA Sri Lanka හා SLIR, Cubemak Labs සහ ACCELR යන අනුග්‍රාහකභවතුන් ඉදිරිපත් විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඉංජිනේරු පීඨයේ සහකාර මහාචාර්ය, ආචාර්ය හංසනී වීරතුංග මෙසේ පැවසුවාය. “SLIIT RoboFest 2024 තරගය නවෝත්පාදනයන් සඳහා නව උනන්දුවක් ඇති කරමින් ඉදිරි පරම්පරාවේ රොබෝ ඉංජිනේරුවන් දිරිමත් කරනු ලබනවා. SLIIT RoboFest 2024 හරහා ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් අතර නවෝත්පාදනයේ උරුමයක් සහ නවතාවය පිළිබඳව උනන්දුවක් ඇති කරමින් ක්ෂේත්‍රයේ අනාගත ප්‍රගමනයට මග සලසා දෙනු ලැබුවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *