ආපදා පූර්ව සූදානම සහ කළමනාකරණයට නූතන තාක්ෂණය කැඳවන SLIIT සහ Massey විශ්වවිද්‍යාලයේ ‘ICTICM 2026’ ජාත්‍යන්තර සමුළුව සාර්ථකව නිමාවේ.
ආපදා තත්ත්වයකට පසු විසඳුම් සොයනවා වෙනුවට, පූර්ව සූදානම සහ පූර්ව ආපදා අවදානම් හඳුනාගැනීම සඳහා නූතන තාක්ෂණය යොදාගැනීමේ අරමුණින් සංවිධානය කෙරුණු ‘ICTICM 2026’ ජාත්‍යන්තර සමුළුව පසුගියදා සාර්ථකව පැවැත්විණි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) සහ නවසීලන්තයේ මැසී විශ්වවිද්‍යාලය (Massey University) එක්ව සංවිධානය කළ මෙම සමුළුව සඳහා ලොව පුරා පර්යේෂකයන්, තාක්ෂණික වෘත්තිකයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් රැසක් එක්ව සිටියහ.
SLIIT හි Autonomous Intelligent Machines and Systems (AIMS) පර්යේෂණ මධ්‍යස්ථානය සහ නවසීලන්තයේ මැසී විශ්වවිද්‍යාලයේ CRISISLab එක්ව පවත්වන ලද මෙම දෙමුහුන් (Hybrid) සමුළුවේ සම-සභාපතිත්වය SLIIT පරිගණක පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රදීප් අබේගුණවර්ධන සහ මැසී විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රාජ් ප්‍රසන්න යන මහත්වරුන් විසින් උසුලන ලද අතර, සම්මේලන ලේකම්වරිය ලෙස සුරංජිනී සිල්වා මහත්මිය කටයුතු කළාය.
සමුළුව පිළිබඳ අදහස් දක්වමින් SLIIT පරිගණක පීඨයේ පීඨාධිපති සහ ICTICM 2026 සම-සභාපති මහාචාර්ය ප්‍රදීප් අබේගුණවර්ධන මහතා මෙසේ පැවසීය: “ආපදාවක් සිදු වූ පසුව පමණක් ක්‍රියාත්මක වන මෙවලමක් ලෙස තාක්ෂණය දෙස තවදුරටත් බැලිය නොහැකියි. ICTICM 2026 හරහා අප සිදු කළේ, ජාත්‍යන්තර විශේෂඥ දැනුම එකට එකතු කරමින් ප්‍රජාවන්ට පවතින අවදානම් පූර්වයෙන් හඳුනාගැනීමටත්, කඩිනමින් ක්‍රියාත්මක වීමටත්, ආපදාවන්ගෙන් පසු වඩාත් කාර්යක්ෂමව යථා තත්ත්වයට පත්වීමටත් උපකාරී වන ප්‍රායෝගික හා දේශීය වශයෙන් වැදගත් වන තාක්ෂණික විසඳුම් ගොඩනැගීමයි.”
කෘතිම බුද්ධිය, යන්ත්‍ර ඉගෙනුම් තාක්ෂණය (Machine Learning), අන්තර්ජාලගත උපාංග තාක්ෂණය (IoT), ඩිජිටල් ප්‍රතිරූප තාක්ෂණය (Digital Twins), දත්ත විශ්ලේෂණය (Data Analytics), භූගෝලීය තොරතුරු පද්ධති (GIS), දූරස්ථ සංවේදනය (Remote Sensing), රොබෝ තාක්ෂණය (Robotics) සහ තීරණ ගැනීමේ සහායක පද්ධති (Decision-support systems) ආපදා කළමනාකරණය සඳහා ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. ආපදා සිදුවන අවස්ථාවේදීම අදාළ ප්‍රදේශ සිතියම්ගත කිරීම, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, යටිතල පහසුකම් නිරීක්ෂණය මෙන්ම ආපදාවලට ලක්වූවන් සොයාගැනීමට සහ යටිතල පහසුකම්වල පවතින අවදානම් හඳුනාගැනීමට මහජන සහභාගීත්වයෙන් දත්ත රැස්කරන මෙවලම් පිළිබඳ පර්යේෂණාත්මක නිරූපණයන් ද මෙහිදී ඉදිරිපත් කෙරිණි.
සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වන ලද්දේ කර්ටින් විශ්වවිද්‍යාලයේ (Curtin University) යටිතල පහසුකම් නිරීක්ෂණ හා සුරක්ෂිතතා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය වෙනිසු චෙන් විසිනි. AI සහ දත්ත පදනම් කරගත් තීරණ ගැනීමේ පද්ධති හරහා යටිතල පහසුකම්වල ශක්තිමත්භාවය තහවුරු කරන ආකාරය පෙන්වා දුන් ඒ මහතා, පිපිරීම් සහ භූමිකම්පා කම්පනයන්ට ඔරොත්තු දිය හැකි විශේෂයෙන් ඉංජිනේරුකරණය කරන ලද ‘Advanced Metaconcrete’ පිළිබඳ සිය පර්යේෂණ දත්ත ද ඉදිරිපත් කළේය.
ICTICM 2026 සඳහා පර්යේෂණ පත්‍රිකා 46 ක් ඉදිරිපත් වී තිබූ අතර, ජාත්‍යන්තර සමකාලීන විද්වත් සමාලෝචනයකින් අනතුරුව පර්යේෂණ පත්‍රිකා 28 ක් ප්‍රකාශනය සඳහා තේරී පත් විය. මීට අමතරව, කඩොලාන පුනරුත්ථාපනය, ජලපෝෂක ප්‍රදේශ කළමනාකරණය සහ නාගරික හරිත යටිතල පහසුකම් වැනි ස්වාභාවික පද්ධති පදනම් කරගත් ප්‍රවේශයන් පිළිබඳ විශේෂ විද්වත් සාකච්ඡාවක් ද, කැනේඩියානු සයිබර් ආරක්ෂණ ආයතනයේ ආචාර්ය වින්ද්‍යා රන්කොත්ගේ මහත්මියගේ මෙහෙයවීමෙන් ආපදා තත්ත්වයන්හිදී සයිබර් තර්ජනයන්ට මුහුණදීම සහ දත්ත නැවත ලබාගැනීම පිළිබඳ සයිබර් ආරක්ෂණ වැඩමුළුවක් ද පැවැත්විණි.
ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය (SLAAS) මෙම සමුළුවේ තාක්ෂණික සහායක අනුග්‍රාහකයා ලෙස කටයුතු කළ අතර, විශේෂ විද්වත් සාකච්ඡාවක් සංවිධානය කිරීමටත්, පර්යේෂණ වාරයන් හි සභාපති හා සම-සභාපති ධුර දැරීමටත් දායක විය. මෙම සම්මේලනය සඳහා මූල්‍ය සහයෝගය ලබා දෙන ලද්දේ SLIIT International, IEEE GRSS ශ්‍රී ලංකා ශාඛාව සහ SLIIT පරිගණක පීඨය විසිනි.
ගංවතුර, නායයෑම් සහ වෙරළබඩ ආපදා වැනි අඛණ්ඩ අවදානම්වලට මුහුණ දෙන ශ්‍රී ලංකාව වැනි රටකට, ගෝලීය පර්යේෂණ දැනුම දේශීය වශයෙන් භාවිත කළ හැකි, ප්‍රායෝගික විසඳුම් බවට පරිවර්තනය කිරීමේ වැදගත්කම මෙම සමුළුව හරහා මනාව තහවුරු විය. එමෙන්ම, තාක්ෂණය, තිරසාරභාවය සහ ආපදා කළමනාකරණය යන ක්ෂේත්‍රයන්හි නිරත ශිෂ්‍යයන් සහ නැගී එන පර්යේෂකයන්ගේ හැකියාවන් වර්ධනය කිරීමට මෙන්ම ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමට ද ICTICM 2026 සමුළුව මහෝපකාරී විය.

