July 27, 2024
SLIIT දැන් මහනුවර දී
පුවත්

SLIIT දැන් මහනුවර දී

Oct 17, 2023

අධ්‍යාපනයේ විශිෂ්ටත්වය සඳහා සුවිශේෂ මෙන්ම අඛණ්ඩ කැපවීමක නිරත SLIIT  සිය නවතම විශ්වවිද්‍යාලය වන SLIIT Kandy Uni, පල්ලෙකැලේ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් විවෘත්ත කළේය. සිය ආයතනික සීමාව පුළුල් කරමින්, ආකර්ෂණීය පරිච්ජේදයක් ඉතිහාසයට එක් කරමින් SLIIT ජාලයට එක්වුණු මෙම නව විශ්වවිද්‍යාලය, ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතා සුවිශේෂ සංදිස්ථානයකි.

නවීනතම තාක්ෂණය යොදාගත් ඉගැන්වීම් පහසුකම් පරිසරයකින් සමන්විත මෙම නව විශ්වවිද්‍යාලය SLIIT ආයතනයේ කුලපති එල්.එල්. රත්නායක මහතාගේ සහ උපකුලපති මහාචාර්ය ලලිත් ගමගේ මහතාගේ ආරාධනයෙන් 2023 ඔක්තෝම්බර් මස 09 වන දින අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් උත්සවාකාරයෙන් විවෘත්ත කෙරිණි. මෙම අවස්ථාව සඳහා සම්භාවනීය අමුත්තන් රැසක්ද එක්ව සිටියහ.

විවෘත කිරීමෙන් පසුව SLIIT හි පරිගණක, ඉංජිනේරු, ව්‍යාපාරික, මානව ශාස්ත්‍ර සහ විද්‍යාවේදී වාස්තු විද්‍යා පාසල යන පීඨයන් හි සිසුන් විසින් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශනය ඔක්තෝම්බර් මස 10 සහ 11 යන දිනයන්හිදී පැවැත්විණි. නව තාක්ෂණය සහ නවෝත්පාදන පිළිබඳව උනන්දු සිසුන් සහ මහජනතාව වෙනුවෙන් විවෘත්ත මෙම ප්‍රදර්ශනය, SLIIT සිසු සිසුවියන් නව ව්‍යාපෘති ඔස්සේ ඔවුන්ගේ සුවිශේෂී නවෝත්පදනන සහ දක්ෂතා ප්‍රදර්ශනය කරන ලදී.

සමරු ඵලකය නිරාවරණය කර විශ්වවිද්‍යාලය විවෘත්ත කළ ජනාධිපතිවරයා අනතුරුව විශ්වවිද්‍යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සිසු සිසුවියන්ගේ තොරතුරු විමසීය.

ශ්‍රී ලංකාවට ආර්ථික සමෘද්ධිය උදාකර ගැනීමට ඇති එකම මාර්ගය වන්නේ මෙරට භූගෝලීය පිහිටීම සහ මානව සම්පත පමණක් බව පෙන්වාදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට ගොඩනැගීම වෙනුවෙන් මානව සම්පත උපරිමයෙන් භාවිතයට ගැනීම අරමුණ බව පැවසීය.

සිංගප්පූරුව සහ හොංකොං වැනි රටවල් එම දියුණුව උදාකර ගෙන ඇත්තේ මිනිස් බලය නිසි ලෙස භාවිතයට ගැනීමෙන් බව ද ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ සීග්‍රයෙන් වර්ධනය වන ඉතා තරගකාරී, තාක්ෂණය පදනම් කර ගත් ආර්ථිකයක්,ඩිජිටල් ආර්ථිකයක් මෙන්ම හරිත ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ අනාගත වැඩපිළිවෙල වන බවයි.

ඊට අවශ්‍ය තාක්ෂණ දැනුම සහිත උපාධිධාරීන් බිහි කිරීම වෙනුවෙන් මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය නවීකරණය කරන අතරම, නව රාජ්‍ය සහ පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා පැවසීය.

SLIIT ආයතනය, අධ්‍යාපන අමාත්‍යංශයෙහි අනුමැතිය ලත්, උපාධි ප්‍රධානය කරනු ලබන ලංකාවේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නොවන ආයතනයකි. මෙම ආයතනය පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමයේ (ACU) සහ ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සංගමයෙහි (IAU) සාමාජිකත්වය දරනු ලබන අතර, එක්සත් රාජධානියෙහි ඉන්ජිවේරු සහ තාක්ෂණ ආයතනය මගින් පිළිගත් ප්‍රථම ශ්‍රී ලාංකික අධ්‍යාපන ආයතනය ද වේ. 1998 වසරේදී ශ්‍රී ලංකාවෙහි තොරතුරු තාක්ෂණය සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකාරීත්වයේ පෙර නොවූ විරූ වර්ධනයක් සහ ඉල්ලුමක් නිර්මාණය වී තිබුණි. වර්ධනය වන තාක්ෂණික පෙරළිය හමුවෙහි ඇතිවිය හැකි තොරතුරු තාක්ෂණය සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකාරීත්වයේ නිපුන වෘත්තිකයින් සඳහා වූ දැවැන්ත ඉල්ලුම සපුරාලීම සහ නවෝත්පාදනය, ලොව පිළිගත් අධ්‍යාපනයක් ලබා දීම, ජාතික වියදම් අවම කිරීමෙන් රජය සඳහා සහයෝගය දීම, නැගී එන ක්ෂේත්‍රවල එනම් විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සඳහා වන ප්‍රවේශයන් පුළුල් කිරීම මෙහි නිර්මාතෘවරුන්ගේ අරමුණ විය. මෙම දැක්මේ ඵලයක් ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හෙවත් SLIIT ආයතනය බිහිවිය.

වර්තමානය වන විට SLIIT, ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් එනම් 20,000 කට අධික ප්‍රමාණයක් උපාධි අධ්‍යාපනය ලබන විශාලතම රජය නොවන උසස් අධ්‍යාපන ආයතනය ලෙස හැඳින්විය හැක. ජාතියේ අධ්‍යාපන ක්‍රියාවලියේ සුවිශේෂී කාර්යයක් සුදු කරමින් අද වන විට පරිගණක,ව්‍යාපාර, මානව ශාස්ත්‍ර සහ විද්‍යා අධ්‍යයනය ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ විහිදෙන දේශීය මෙන්ම විදේශීය උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලාවන් 75කට ආසන්න ප්‍රමාණයක් පිරිනමනු ලබයි. 2016 සහ 2020 වසර වලදී SLIIT ආයතනය තොරතුරු තාක්ෂණ උපාධි ප්‍රදානය සඳහා පිළිගත් ආයතනවලින් ප්‍රතීතනය (Accreditation) හිමිකර ගැනීමට ද සමත්විය.

දශක දෙකක් පුරා SLIIT පර්යේෂණ ක්ෂේත්‍රයේ සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර,ශ්‍රී ලංකාවේ හොඳම විශ්වවිද්‍යාල 10 අතරට සහ ගෝලීය වශයෙන් ඉහළම 15% අතරට ශ්‍රේණිගතව ඇත.ගෞරවනීය මහාචාර්යවරුන් මහාචාර්යවරුන්ගේ ජාලය ය (Honorary Professors’ Network) නිර්මාණය කිරීම, විශේෂයෙන් පශ්චාත් උපාධි පාඨමාලා තුළ පිළිගත් පර්යේෂණ සඳහා පහසුකම් සැලසී ඇත. රැකියා නියුක්ත උපාධිධාරීන් බිහිකිරීම සඳහා SLIIT හි කැපවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් SLIIT ආදී ශිෂ්‍යයන් වීමට හේතු වී ඇති අතර, එය රට තුළ අපේක්ෂා කරන සිසුන්ගේ බලාපොරොත්තුවක් ලෙස අඛණ්ඩව පවතී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *