May 7, 2026
2025 මූල්‍ය වර්ෂය සඳහා සියපත ෆිනෑන්ස් සමාගමෙන් විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක්
පුවත්

2025 මූල්‍ය වර්ෂය සඳහා සියපත ෆිනෑන්ස් සමාගමෙන් විශිෂ්ට මූල්‍ය කාර්යසාධනයක්

May 6, 2026

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දේශීය මූල්‍ය ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පී.එල්.සී. (Siyapatha Finance PLC), 2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා ප්‍රබල මූල්‍ය වර්ධනයක් වාර්තා කර ඇත. අස්ථාවර ආර්ථික තත්ත්වයන් හමුවේ වුවද, සමාගම අනුගමනය කළ උපායමාර්ගික වර්ධන වැඩපිළිවෙළ, වත්කම්වල ගුණාත්මකභාවය සහ ඔරොත්තු දීමේ හැකියාව මෙම ප්‍රතිඵල මගින් මනාව පිළිබිඹු වේ. ඒ අනුව, සමාගම රුපියල් මිලියන 2,660ක බදු පෙර ලාභයක් (PBT) උපයා ඇති අතර, එය පෙර වර්ෂයට සාපේක්ෂව 26%ක වර්ධනයකි. 2024 වර්ෂයේ තිබූ බදු පසු ලාභය (PAT) රුපියල් මිලියන 1,203 සිට රුපියල් මිලියන 1,556 දක්වා 2025 වර්ෂයේදී 29%කින් ඉහළ ගොස් ඇති අතර, මෙය වෙළඳපොළ සහ පාරිභෝගික විශ්වාසය තහවුරු කිරීමකි.

සියපත ෆිනෑන්ස් පී.එල්.සී. 2025 වර්ෂය සඳහා රුපියල් මිලියන 5,561ක ශුද්ධ පොලී ආදායමක් වාර්තා කර ඇති අතර, එය පෙර වසරේ වාර්තා වූ රුපියල් මිලියන 4,533ක අගයට වඩා කැපී පෙනෙන වර්ධනයකි. මෙය සමාගමේ වත්කම් සහ බැරකම් කළමනාකරණයේ කාර්යක්ෂමතාව මැනවින් පෙන්නුම් කරයි. එමෙන්ම, ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම 44%කින් ඉහළ ගොස් රුපියල් මිලියන 499ක් ලෙස සටහන් වී ඇති අතර, පොලී නොවන ආදායම් උත්පාදන උපායමාර්ගයන්හි සමාගම අත්කරගෙන ඇති ශක්තිමත් ප්‍රගතිය ඉන් පැහැදිලි වේ. මෙම වර්ධනය මගින් වෙළඳපොළ ව්‍යාප්තිය සහ ඩිජිටල් මූල්‍ය සේවාවන්හි සාර්ථකත්වය තවදුරටත් තහවුරු වේ. වසරේ සමස්ත මෙහෙයුම් වියදම් රුපියල් මිලියන 3,793ක මට්ටමක පවත්වා ගැනීමට සමාගම සමත්ව ඇත.

උපායමාර්ගික පිරිවැය කළමනාකරණය සහ ක්‍රියාවලි ප්‍රශස්තකරණය හරහා ළඟා කරගත් මෙහෙයුම් කාර්යක්ෂමතාව හේතුවෙන්, බදු පෙර මෙහෙයුම් ලාභය රුපියල් මිලියන 3,662 දක්වා 26%ක ආකර්ෂණීය වර්ධනයක් පෙන්නුම් කරයි. මීට අමතරව, සේවක මණ්ඩලයේ කුසලතා සංවර්ධනය සහ යහපත් සේවා පරිසරයක් ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් පුද්ගල වියදම් (Personnel expenses) 24%කින් ඉහළ ගොස් රුපියල් මිලියන 2,595ක් ලෙස සටහන් විය.

සලකා බලනු ලබන කාලසීමාව තුළ සියපත ෆිනෑන්ස් පී.එල්.සී. හි මූල්‍ය තත්ව ප්‍රකාශනය (Balance sheet) ඉතා යහපත් මට්ටමක පැවතිණි. සමාගමේ සමස්ත වත්කම් 2024 වර්ෂයේ තිබූ රුපියල් මිලියන 59,709 සිට රුපියල් මිලියන 84,740 දක්වා 2025 වර්ෂයේදී ඉහළ ගොස් ඇති අතර, එයට මූල්‍ය කල්බදු (Leasing) සහ කුලී සින්නක්කර අංශයේ 23%ක වර්ධනයක් මෙන්ම රන් ණය (Gold Loans) අංශයේ 63%ක වර්ධනයක් ඇතුළත් වේ. දිවයින පුරා ශාඛා ජාලය වේගයෙන් ව්‍යාප්ත කිරීම හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක (SME) මූල්‍ය පහසුකම් සඳහා පැවති ඉහළ ඉල්ලුම මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක විය. ඒ හා සමගාමීව, ආයෝජන කටයුතු සහ සුළු ව්‍යාපාර ණය ලබාදීම් හේතුවෙන් සමස්ත බැරකම් ද රුපියල් මිලියන 51,256 සිට රුපියල් මිලියන 74,705 දක්වා ඉහළ ගොස් ඇත.

සියපත ෆිනෑන්ස් පී.එල්.සී. හි කොටස් හිමියන්ගේ අරමුදල් (Total equity) රුපියල් මිලියන 10,035 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය පෙර වසරේ වාර්තා වූ රුපියල් මිලියන 8,453 ට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි. මේ හරහා සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය සහ ඉහළ වර්ධන හැකියාව මනාව තහවුරු වේ. කොටසක ශුද්ධ වත්කම් අගය (Net asset value per share) 2024 වසරේ පැවති රුපියල් 84.18 සිට 2025 වසරේදී රුපියල් 99.79 දක්වා ඉහළ ගොස් ඇත. මෙම ප්‍රගතිය මගින් වත්කම් අගය ඉහළ යාම, විචක්ෂණශීලී කළමනාකරණ තීරණ සහ සමාගමේ සියලුම අංශයන්හි සමස්ත යහපත් ක්‍රියාකාරීත්වය විදහා දක්වයි.

සමස්තයක් ලෙස 2025 වසරේ මූල්‍ය ප්‍රතිඵල මගින් සියපත ෆිනෑන්ස් පී.එල්.සී. තිරසාර වර්ධනයක් සහ සියලුම පාර්ශවකරුවන් උදෙසා ප්‍රතිලාභ උත්පාදනය කිරීම කෙරෙහි දක්වන කැපවීම නැවතත් තහවුරු කරන අතර, බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කරයි.

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත විශාලතම ආයතනය වන සියපත ෆිනෑන්ස් පී.එල්.සී., දිවයින පුරා විහිදුණු 60කට අධික ශාඛා ජාලයක් හරහා පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවා ප්‍රමිතීන් සපයයි. ෆිච් රේටින්ග්ස් (Fitch Ratings) වෙතින් හිමිව ඇති ‘A(lka)’ ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම සහ ස්ථාවර ඉදිරි දැක්ම (Stable Outlook), සමාගමේ මූල්‍ය ශක්තිය සහ අනාගත වර්ධන මාවත සනාථ කරයි. වසර 20කට අධික කාලයක් පුරා සියපත ෆිනෑන්ස් පී.එල්.සී. දිවයින පුරා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නංවාලීමට සහ පුද්ගලික මූල්‍ය අවශ්‍යතා සපුරාලීමට සුවිශාල දායකත්වයක් ලබා දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close