February 10, 2025
සෙලාන් බැංකුව Emojot සමග එක් වී පාරිභෝගික ප්‍රතිචාර සහ පැමිණිලි කළමනාකරණයේ පෙරළිකාරී වෙනසක්
පුවත්

සෙලාන් බැංකුව Emojot සමග එක් වී පාරිභෝගික ප්‍රතිචාර සහ පැමිණිලි කළමනාකරණයේ පෙරළිකාරී වෙනසක්

Feb 27, 2024

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, උසස් පාරිභෝගික අත්දැකීම් කළමනාකරණ විසඳුම් සම්බන්ධ ජාත්‍යන්තර සමාගමක් වන Emojot සමග එක් වී, පාරිභෝගික ප්‍රතිචාර සහ පැමිණිලි කළමනාකරණයේ පෙරළිකාරී වෙනසක් සිදුකිරීම සඳහා QR තාක්ෂණය පදනම් කරගත් විසඳුමක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙය මෙරට බැංකු ක්ෂේත්‍රයට නව ආදර්ශයක් සපයන පියවරක් වනු ඇත.

මෙමගින් සෙලාන් බැංකුවට සිය ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිචාර සහ පැමිණිලි සම්බන්ධයෙන් වඩාත් ඉක්මනින් පියවර ගැනීමට හැකියාව ලැබේ. මෙහිදී ගනුදෙනුකරුවන්ට, සෙලාන් බැංකු ශාඛාවල සහ ATM යන්ත්‍ර අසල ප්‍රදර්ශනය කෙරෙන QR කේතයක් ස්කෑන් කිරීම මගින් තම ප්‍රතිචාර ලබාදිය හැක. මෙමගින් කඩදාසි භාවිතයකින් තොරව, වඩාත් ඉක්මන් හා කාර්යක්ෂම ලෙස, තමන් කැමති භාෂාවකින් පැමිණිලි ඉදිරිපත් කළ හැකි අතර, එවිට එම පැමිණිලි සෘජුවම අදාළ ශාඛා සහ පාරිභෝගික සේවා කණ්ඩායම් වෙත යොමු වී, ඒ සම්බන්ධයෙන් වඩාත් ඉක්මනින් අවශ්‍ය පියවර ගැනීමට අදාළ කණ්ඩායම්වලට අවස්ථාව ලැබේ.

“අපගේ දීර්ඝකාලීන සාර්ථකත්වය ගොඩනැගී ඇත්තේ විශිෂ්ට පාරිභෝගික සේවාව, ආයතනික යහපාලනය, දූරදර්ශී අවදානම් කළමනාකරණය, වගවීම සහ අවංකභාවය යන ගුණාංග සුරැකීම මතයි. ගනුදෙනුකරුවන්ට වඩාත් සරල විසඳුම් පිරිනැමීමට සෑම විටම උත්සාහ කරන බැංකුවක් වශයෙන්, ඔවුන්ගේ අවශ්‍යතා හොඳින් වටහා ගැනීමට අප කැප වී සිටිනවා. අපගේ ඇමතුම් මධ්‍යස්ථාන, සමාජ නාලිකා සහ ශාඛා ජාලය තුළදී අපගේ අවධානය මූලික වශයෙන් යොමු වී ඇත්තේ එලෙස ගනුදෙනුකරුවන්ගේ හඬට සවන් දීමටයි. ආයතනය තුළ දක්ෂ සාමාජික සාමාජිකාවන් පිරිසක් සිටීම සහ, Emojot වැනි අත්දැකීම් බහුල තාක්ෂණික හවුල්කරුවෙකු සමග කටයුතු කිරීමට හැකි වීම නිසා, මේ කර්තව්‍යය අතිශයින් සාර්ථක කරගැනීමට අපට හැකියාව ලැබුණා.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසී ය.

“මෙම හවුල්කාරීත්වය, ව්‍යාපාරවලට තරගකාරීත්වය තුළ ඉදිරියෙන් සිටීම සඳහා Emojot පාරිභෝගික කේන්ද්‍රීය විසඳුම් භාවිතා කළ හැකි ආකාරය පෙන්වා දෙන මනා උදාහරණයක්. එමෙන්ම එය Emojot විසඳුම්වල මිණිය හැකි ස්වභාවය සහ වේගවත් බව සනාථ කරනවා. තම ශාඛා හරහා ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීම සඳහා Emojot නවෝත්පාදන විසඳුම් භාවිතා කිරීමට සෙලාන් බැංකුව තීරණය කිරීම අපට මහත් සතුටක්.” Emojot විකුණුම් ප්‍රධානී විරාජ් අමරසේකර මහතා පැවසී ය.

මෙම සාමූහික ප්‍රයත්නය, පාරිභෝගික තෘප්තිය සහ සේවාවේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා සෙලාන් බැංකුව දක්වන උනන්දුව හා කැපවීමට මනා සාක්ෂියකි. Emojot හි දෘෂ්‍යමය වශයෙන් ආකර්ෂණීය සහ කාර්යක්ෂම Emotion Sensors™ සහ විස්තීර්ණ කාර්ය ප්‍රවාහ කළමනාකරණ විසඳුම භාවිතා කරමින්, වඩාත් විශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් තිළිණ කිරීමට සෙලාන් බැංකුවට හැකියාව ලැබෙනු ඇත.

සෙලාන් බැංකුව පිළිබඳව

සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, ශීඝ්‍රයෙන් වර්ධනය වන, නවීන තාක්ෂණයෙන් යුතු නවෝත්පාදන සේවා මෙන්ම බැංකුකරණ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන පාරිභෝගික අත්දැකීමක් හිමිකර දීමට කැපවී සිටී. ශීඝ්‍රයෙන් වර්ධනය වන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුණු පාරිභෝගික සේවා සැපයුම් ස්ථාන 540 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියයි. ෆිච් ශ්‍රේණිගත කිරීම් සෙලාන් බැංකුවේ දිගුකාලීන ජාතික ශ්‍රේණිගත කිරීම ‘A-’(lka) ලෙස සංශෝධනය කරමින් එම බැංකුව විශිෂ්ට කාර්යසාධනයක් සහිත, මුල්‍යමය වශයෙන් ස්ථාවර ආයතනයක් ලෙස නම්කර ඇත. සෙලාන් බැංකුවේ මුල්‍ය ස්ථාවරත්වය මෙන්ම සැමවිටම විශිෂ්ටත්වය තහවුරු කිරීම සඳහා එම බැංකුව දක්වන කැපවීමද මෙවැනි ඇගයීම්වලින් තවදුරටත් තහවුරු වේ.

Emojot පිළිබඳව

Emojot යනු උසස් පාරිභෝගික අත්දැකීම් කළමනාකරණ විසඳුම් පිරිනමන ජාත්‍යන්තර තාක්ෂණ සමාගමකි. නවීනතම AI සහ Machine Learning හැකියාවන් සමගින් එම සමාගම ලොව පුරා ව්‍යාපාරවලට තම පාරිභෝගිකයන්ගේ අදහස් හා ප්‍රතිචාර ලබාගෙන, ඒවා විශ්ලේෂණය කර ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව සලසා දෙයි. Emojot හි ‘Enterprise Hierarchy’ විශේෂාංගය මගින් ක්‍රමෝපායික දැනුම ඔස්සේ පාර්ශවකරුවන්ගේ සංකීර්ණ පැතිමානයන් සම්බන්ධයෙන් වඩාත් ගැඹුරු අවබෝධයක් ලබාගැනීමට හැකියාව ලැබේ. මේ ආකාරයට ප්‍රතිචාර ලබාගෙන, පාරිභෝගික තෘප්තිය වැඩිදියුණු කරමින් දියුණුව කරා ගමන් කිරීම උදෙසා ලොව පුරා මූල්‍ය, සෞඛ්‍ය සේවා සහ පාරිභෝගික විකුණුම් ඇතුළු ක්ෂේත්‍ර රැසක සමාගම් හා ආයතන Emojot හි විසඳුම් භාවිතා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close