
සෙලාන් බැංකුව අභියෝගකාරී වටපිටාවක් තුළ පවා ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කරයි
ආදායම් ප්‍රකාශය
2022 වසරේදී වාර්තා වූ රු. බිලියන 40.5 ට සාපේක්ෂව 2023 වසරේ ශුද්ධ පොලී ආදායම රු. බිලියන 40.1 දක්වා 1% ක් වැනි සුළු ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ. වසර තුළ පොලී අනුපාතයන් අස්ථාවරව පැවතීම මීට මූලික වශයෙන් හේතු වී ඇත. බැංකුවේ සාමාන්‍ය මුළු වත්කම් මත ශුද්ධ පොලී ආන්තිකය 2022 වසරේ පැවති 6.33% මට්ටමට සාපේක්ෂව 2023 වසරේදී 5.76% ක් ලෙස වාර්තා වී තිබේ.
ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම, පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 6 ට සාපේක්ෂව 16% ක් වැනි සැලකිය යුතු මට්ටමකින් වර්ධනය වී රු. බිලියන 7 ක් ලෙස වාර්තා වී තිබේ. කාඩ්පත්, ණය සහ වෙනත් මූල්‍ය සේවාවන් සම්බන්ධ ගාස්තු ආදායම ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.
බැංකුවේ සමස්ත මෙහෙයුම් ආදායම පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 51 කට සාපේක්ෂව 3% කින් පහළ ගොස් රු. බිලියන 49.5 ක් ලෙස වාර්තා වී ඇත. විදේශ විනිමය හුවමාරු ආදායම පහළ යාම මීට ප්‍රධාන වශයෙන් බලපා තිබේ.
2022 වර්ෂයේදී වාර්තා වූ හානිකරණ වියදම වූ රු. බිලියන 26 ට සාපේක්ෂව 2023 වසරේ හානිකරණ වියදම 36% කින් පහළ ගොස් රු. බිලියන 17 ක් ලෙස වාර්තා වී ඇත. මූල්‍ය ප්‍රකාශන තුළ පිළිගත් ප්‍රතිපාදනවල ප්‍රමාණවත් බව සහතික කිරීමේ අරමුණින්, සාර්ව ආර්ථිකයේ සිදු වූ වෙනස්කම්, ගනුදෙනුකරුවන්ගේ ණය අවදානම් පැතිකඩ සහ බැංකුවේ ණය කළඹේ ණය ගුණාත්මකභාවය නිරූපණය කිරීම සඳහා බැංකුව විසින් හානිකරණ ප්‍රතිපාදන වෙන්කරන ලදී. 2023 වසර තුළ ණය සහ අත්තිකාරම් සඳහා හානිකරණ ගාස්තුව රු. බිලියන 15.3 ක් (2022 වසරේදී රු. බිලියන 21 ක්) වූ අතර, නම්කරන ලද විදේශ ව්‍යවහාර මුදල් සුරැකුම්පත් සම්බන්ධ හානිකරණ ගාස්තුව රු. බිලියන 1.5 ක් (2022 වසරේදී රු. බිලියන 4.7 ක්) විය.
බැංකුවේ මානව සම්පත් වියදම් 2022 වසරේදී රු. බිලියන 8 ක් වූ අතර එය 2023 වසරේදී රු. බිලියන 9.1 දක්වා 15% කින් ඉහළ ගියේ ය. ඉහළ ගිය ජීවන වියදම් සහ බදුවලට සහනයක් ලෙසින් කාර්ය මණ්ඩලයේ ප්‍රතිලාභ වැඩි කිරීම ඇතුළු නොයෙකුත් පියවර ගැනීම මීට මූලික වශයෙන් හේතු වී තිබේ.
වෙනෙත් මෙහෙයුම් පිරිවැය සහ ක්ෂයවීම් හා ක්‍රමක්ෂය පිරිවැයද 2022 වසරේදී පැවති රු. බිලියන 7.3 ට සාපේක්ෂව 2023 වසරේදී රු. බිලියන 9.3 දක්වා 28% කින් ඉහළ ගොස් ඇත. භාණ්ඩ හා සේවාවන්හි මිලගණන් ඉහළ යාම මීට ප්‍රධාන වශයෙන් බලපා තිබේ. විවිධ ක්‍රියාමාර්ග ඔස්සේ මෙම පිරිවැය අවම කිරීම සඳහා බැංකුව පියවර ගනිමින් සිටී.
බැංකුවේ සමස්ත මෙහෙයුම් පිරිවැය 2022 වසරේදී රු. බිලියන 15.2 ක් වූ අතර එය මෙම විශ්ලේෂණයට අදාළ කාලසීමාව තුළ 21% කින් ඉහළ ගොස් රු. බිලියන 18.5 ක් ලෙස වාර්තා වී තිබේ.
මූල්‍ය සේවාවන් මත අය කරනු ලබන එකතු කළ අගය මත බද්ද (VAT) ඉහළ නැංවීම හේතුවෙන්, 2022 වසරේදී වාර්තා වූ රු. බිලියන 2.65 ට සාපේක්ෂව මෙම වසරේදී එම බදු මුදල 31% කින් ඉහළ ගොස් රු. බිලියන 3.45 ක් ලෙස වාර්තා වී ඇත. එමෙන්ම 2022 වසරේ ඔක්තෝබර් මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි, මූල්‍ය සේවාවන් මත අය කරනු ලබන එකතු කළ අගය මත බද්දෙහි එකතු කළ අගය මත 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්දක්ද පනවන ලදි. මීට අදාළ ගාස්තුව 2022 වසරේදී (මාස 3 ක් පමණි) රු. බිලියන 0.13 ක් වූ අතර, මෙම කාලපරිච්ඡේදය තුළ එය රු. බිලියන 0.48 දක්වා ඉහළ ගියේ ය.
ප්‍රධාන වශයෙන් ආදායම් බදු අනුපාතයන් වැඩි වීම සහ බදු ගෙවිය යුතු ආදායම ඉහළ යාම යන සාධක හේතුවෙන්, බැංකුවේ ආදායම් බදු පිරිවැය, 2022 වසරේදී වාර්තා වූ රු. බිලියන 1.92 කට සාපේක්ෂව 2023 වසරේදී රු. බිලියන 3.82 දක්වා 99.5% කින් ඉහළ ගියේ ය. 2022 ජූලි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ආයතනික බදු අනුපාතය 24% සිට 30% දක්වා වැඩි කරන ලද අතර, ඒ අනුව ප්‍රතිපාදන වාර්තා කර තිබේ.
මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ බැංකුවේ බදු-පෙර ලාභය රු. බිලියන 10.08 ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 52% ක වර්ධනයකි. බැංකුවේ බදු-පසු ලාභයද 33% කින් වර්ධනය වී රු. බිලියන 6.26 ක් ලෙස වාර්තා වන අතර, මෙම කලපරිච්ඡේදය තුළ පැවති අභියෝගකාරී වෙළඳපොළ සහ ආර්ථික තත්ත්වයන් හමුවේ පවා මෙම වර්ධනය අත්කර ගැනීමට බැංකුව සමත් වී තිබේ.
මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය
මෙම සමාලෝචනයට අදාළ කාලසීමාව තුළ බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය, පෙර වසරේ වාර්තා වූ රු. බිලියන 673 ට සාපේක්ෂව, 2023 දෙසැම්බර් 31 දින වන විට 6.7% කින් වර්ධනය වී රු. බිලියන 718 ක් ලෙස වාර්තා වී ඇත. මෙය සෙලාන් බැංකුව වසරින් වසර අඛණ්ඩව වර්ධනය වීමට සමත් වී ඇති බවට මනා සාක්ෂියකි. මුදල් සහ මුදල්වලට සමාන දේවල්, බැංකු වෙත සිදුකළ තැන්පත් කිරීම්, ලාභ හෝ අලාභ අනුව නීර්ණය කරනු ලබන මූල්‍ය වත්කම් (සාධාරණ වටිනාකමින් මනිනු ලැබේ) සහ වෙනත් විස්තීර්ණ ආදායම් හරහා සාධාරණ වටිනාකමකින් මනිනු ලබන මූල්‍ය වත්කම් යනාදිය මෙයට ප්‍රධාන වශයෙන් දායක වී ඇත.
බැංකුවේ හානිකරණ ණය (3 වන පෙළ) අනුපාතයේ වත්කම්වල ගුණාත්මකභාවය සම්බන්ධ අනුපාතයන් සහ හානිකරණයේ (3 වන පෙළ) සිට 3 වන පෙළ ණය අනුපාතය දක්වා අනුපාතයන් 2022 වසරේදී පිළිවෙළින් 4.98% සහ 54% ලෙස වාර්තා වූ අතර 2023 වසරේදී එම අනුපාතයන් පිළිවෙළින් 3.85% සහ 68.29% ලෙස වාර්තා වී තිබේ. මෙම අගයන් පෙර වසරට සාපේක්ෂව කැපී පෙනෙන ප්‍රගතියකි. හානිකරණ ණය සමීපව නිරීක්ෂණය කිරීම සහ එම ණය නැවත අයකරගැනීම සඳහා විධිමත්ව පියවර ගැනීම මීට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
2022 වසරේදී රු. බිලියන 547 ක් වූ බැංකුවේ තැන්පතු පදනම 2023 වසරේදී රු. බිලියන 44 කින් ඉහළ ගොස් රු. බිලියන 591 ක් ලෙස වාර්තා වී ඇත. බැංකුවේ ශ්‍රී ලංකා රුපියල් තැන්පතු රු. බිලියන 38 කින් වර්ධනය වූ අතර, විදේශ මුදල් තැන්පතු රු. බිලියන 6 කින් වර්ධනය විය. මෙහිදී තම ගනුදෙනුකරුවන්ගේ තැන්පතු එලෙසින්ම පවත්වා ගන්නා අතරම නව ගනුදෙනුකරුවන් ආකර්ෂණය කරගැනීම මගින් තම තැන්පතු පදනම වර්ධනය කරගැනීමට බැංකුව විසින් පියවර ගන්නා ලදි.
බැංකුවේ ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් පදනම (CASA) 2022 වසරේදී රු, බිලියන 163 ක් වූ අතර එය 2023 දෙසැම්බර් 31 වන විට රු. බිලියන 177 දක්වා ඉහළ ගොස් තිබිණි. එය පෙර වසරට සාපේක්ෂව 8% ක වර්ධනයකි. ජංගම ගිණුම් හා ඉතුරුම් ගිණුම් අනුපාතය (CASA Ratio) 2023 වසරේදී 30% ක් විය.
2023 දෙසැම්බර් 31 වන විට සෙලාන් බැංකුව බෙහෙවින්ම ශක්තිමත්ව පැවති බව තහවුරු කරන ප්‍රධාන මූල්‍ය අනුපාත හා දර්ශක
පොදු කොටස් පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය සහ සමස්ත පළමු පෙළ ප්‍රාග්ධන අනුපාතය 12.52% ක් සහ සමස්ත ප්‍රාග්ධන අනුපාතය 15.84% ක් වූ අතර, ඒ අනුව එම මට්ටම පැහැදිලි ලෙසම අවම නියාමට මට්ටම්වලට වඩා ඉහළින් පැවතිණි. 2023 දෙසැම්බර් 31 න් අවසන් වූ වර්ෂය තුළ ප්‍රධාන වශයෙන් ලාභ සහ සංචිතවල සිදු වූ වර්ධනයන් හේතුවෙන් ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතයන් පෙර වසරට සාපේක්ෂව වැඩි වී ඇත.
2023 දෙසැම්බර් මස වන විට සමස්ත බැංකුවේ, එහි දේශීය බැංකුකරණ ඒකකයේ සහ විදේශීය බැංකුකරණ ඒකකයේ ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතයන් (Statutory Liquid Asset Ratio – SLAR) පිළිවෙළින් 38.04%, 38.51% සහ 23.28% ක් විය. ඒ අනුව එම අනුපාතයන්ද පැහැදිලි ලෙසම ව්‍යවස්ථාපිත අවශ්‍යතා සීමාවන්ට වඩා ඉහළින් පවතී.
එමෙන්ම ද්‍රවශීලතා ආවරණ අනුපාතයද (LCR)ව්‍යවස්ථාපිත මට්ටම්වලට වඩා ඉහළින් පවත්වා ගැනීමට බැංකුවට හැකි වී තිබේ. සියලු විනිමය ද්‍රවශීලතා ආවරණ අනුපාතය සහ රුපියල් ද්‍රවශීලතා ආවරණ අනුපාතය පිළිවෙළින් 338.42% ක් සහ 355.16% ක් විය.
කොටස් මත ප්‍රතිලාභය(ROE), 2022 වසරේදී වාර්තා වූ 8.85% ට සාපේක්ෂව, මෙම සමාලෝචනයට අදාළ කාලසීමාවේදී 10.88% ක් විය. සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභය (බදු-පෙර), 2022 වසරේදී වාර්තා වූ 1.04% ට සාපේක්ෂව, මෙම වසරේදී 1.45% ක් ලෙස වාර්තා වී තිබේ. බැංකුවේ කොටසක් සඳහා ඉපැයුම පෙර වසර අවසානයේදී රු. 7.66 ක් වූ අතර එය 2023 වසර අවසානයේදී රු. 10.17 ක් ලෙස වාර්තා වී ඇත. බැංකුවේ කොටසක් සඳහා ශුද්ධ වත්කම් 2023 වසර අවසානයේ රු. 98.31 (සමූහයේ රු. 101.36) ක් වූ අතර, එය පෙර වසර අවසානයේදී වාර්තාවී තිබුණේ රු. 94.24 (සමූහයේ රු. 97.27) ක් ලෙසිනි.
1 Comment
Your article helped me a lot, is there any more related content? Thanks!