August 16, 2025
Make-A-Wish International ලෝක ප්‍රාර්ථනා දිනය සමරමින් ශ්‍රී ලංකාවේ‘Make-A-Wish Sri Lanka’ ව්‍යාපෘතියදියත් කරයි
පුවත්

Make-A-Wish International ලෝක ප්‍රාර්ථනා දිනය සමරමින් ශ්‍රී ලංකාවේ‘Make-A-Wish Sri Lanka’ ව්‍යාපෘතියදියත් කරයි

May 21, 2025

මෙවර ලෝක ප්‍රාර්ථනා දිනය සැමරීම මෙන් ම, බලපත්‍රලාභී ජාත්‍යන්තර සංවිධානයක් වන Make-A-Wish International හි 45 වන සංවත්සරය නිමිති කර ගනිමින් Make-A-Wish Sri Lanka පසුගියදා නිල වශයෙන් ආරම්භ කෙරිණි. Make-A-Wish Sri Lanka ව්‍යාපෘතිය, ඉන්දිරා පිළිකා භාරය විසින් පරිපාලනය කරනු ලබන අතර, පිළිකා රෝගයෙන් පීඩා විඳින දරු දැරියන්ගේ ප්‍රාර්ථනා ඉටු කරමින්, ඔවුන් ධනාත්මක ආකල්පවලින් සහ මානසික වශයෙන් ශක්තිමත් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

පිළිකා රෝගයෙන් ප්‍රතිකාර ලබන දරුවන්ගේ  ප්‍රතිකාර කටයුතු හා සමගාමී ව ඔවුන්ගේ ප්‍රාර්ථනා ඉටු කර දීම තුළින්  සුබවාදී ආකල්ප ගොඩනැඟීම මෙන් ම ශාරීරික, මානසික සහ සාමාජීය යහපැවැත්ම වර්ධනය කිරීම Make-A-Wish Sri Lanka ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වන අතර, රෝගී දරුවන්ගේ ප්‍රාර්ථනා ඉටු වීම තුළින් ලැබෙන ධනාත්මක ආකල්ප ඉතා වැදගත් වන බව ඒ පිළිබඳ සිදු කළ සමීක්ෂණයකට බඳුන් වූ රෝගී දරුවන්ගෙන් 97%කගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගෙන් 95%කගේ අදහස් තුළින් තහවුරු විය.  

Make-A-Wish International සංවිධානය වර්තමානය වන විට ලොව පුරා රටවල් හා ප්‍රදේශ 50 කට ආසන්න සංඛ්‍යාවක ක්‍රියාත්මක වන අතර, ඒ හරහා ලොව පුරා දරුවන්ගේ ප්‍රාර්ථනා 615,000 කට වැඩි සංඛ්‍යාවක් ඉටු කර දෙමින්, රෝගී තත්ත්ව වලින් පෙළෙන දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවිත ධනාත්මක ව පරිවර්තනය කිරීමට සමත් වී ඇත. “Make-A-Wish Sri Lanka ව්‍යාපෘතිය සාර්ථක ව ක්‍රියාත්මක කරමින්,  ආසියාව තුළ අපගේ පැවැත්ම පුළුල් කිරීම සඳහා දේශීය පුණ්‍යායතනයක් වන ඉන්දිරා පිළිකා භාරය සමඟ අත්වැල් බැඳ ගැනීමට  ලැබීම පිළිබඳ ව අපි සතුටට පත් වෙනවා.” යනුවෙන් Make-A-Wish International  හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ලුසියානෝ මැන්සෝ මහතා පැවසීය. “සෑම නව ව්‍යාපෘතියක් හරහා ම අපට  ප්‍රාර්ථනා ඉටු කර ගැනීමට සිහින දකින තවත් දරුවන් කණ්ඩායමක් වෙත  පරිත්‍යාගශීලීන් ඇතුළු පාර්ශවකරුවන්ට ළඟා වීමේ හැකියාව ලබා දෙනවා. මෙම ව්‍යාපෘතිය යහපත් ප්‍රාර්ථනාවක් ඉටු වීමේ බලපෑම හා බලය පිළිබඳ විශ්වාස කරන සියලු ම පාර්ශ්වවල කැප වීමට හොඳ ම සාක්ෂියක්.” යනුවෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් මැන්සෝ මහතා ප්‍රකාශ කළේ ය.

“ ඉටු වන ප්‍රාර්ථනාවක් බොහෝ විට බලවත් ඖෂධයක් විය හැකි බව අපි විශ්වාස කරනවා.  මෙසේ ප්‍රාර්ථනාවක් ඉටු වීම හරහා මුහුණට සිනහවක් ගෙන ඒමට වගේ ම සුබවාදී ආකල්ප ගොඩ නැංවීමට කටයුතු කරන වැඩසටහන්වලට අපි නිරන්තරයෙන් සහයෝගය ලබා දෙනවා. Make-A-Wish Sri Lanka ව්‍යාපෘතිය අපට වැදගත් සන්ධිස්ථානයක් විදියට හඳුන්වා දීමට පුළුවන්. මෙය සාර්ථක කර ගැනීම වෙනුවෙන් කැප වී කටයුතු කරන සියලු ම පාර්ශ්ව වෙත ස්තුතිවන්ත වීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙන් ශ්‍රී ලංකා ඉන්දිරා පිළිකා භාරයේ අනුශාසක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු කතා නායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

මෙම ව්‍යාපෘතිය හා සම්බන්ධ වූ ප්‍රථම සමාගම මෙන් ම මෙහි නිල බැංකු සහකරු ලෙස කටයුතු කරන සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ජයසේකර මහතා මේ පිළිබඳ ව අදහස් දවමින් පැවසුවේ, “සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස ජන ජීවිතය යහපත් කිරීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වන බව පැවසිය යුතු ම යි. ඉන්දිරා පිළිකා භාරය හරහා ක්‍රියාත්මක  Make-A-Wish Sri Lanka ව්‍යාපෘතියට සහයෝගය ලබා දීම හරහා පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන් හා ඔවුන්ගේ පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ ජීවිත බල ගැන්වීමට දායක වීමට හැකි වීම  ඇත්ත වශයෙන් ම සතුටට කරුණක්.” යනුවෙනි.

ඉන්දිරා පිළිකා භාරය, පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා කැප වෙමින්, පරිපූර්ණ වෛද්‍ය ප්‍රතිකාර, මානසික සුවතා වැඩසටහන්  සහ සම්පත් දායකත්වය ලබා දෙන  අතර,  Make-A-Wish Sri Lanka හරහා මෙම ක්‍රියාවලිය වඩාත් පුළුල් හා ප්‍රශස්ත කිරීම එම ආයතනය අරමුණු කරයි. එමෙන් ම පිළිකාවෙන් පීඩාවට පත් දරුවන්ගේ සහ පවුල්වල ජීවිත බල ගැන්වීම වෙනුවෙන් ‘Wish Room’ බහුකාර්ය පරිශ්‍රය ඉදිකිරීම සඳහා මූල්‍ය සහයෝගය ලබා දුන් ජාත්‍යන්තර සිංහ සමාජයට සිය කෘතඥතා පූර්වක ස්තුතිය පුද කර සිටින බව ඉන්දිරා පිළිකා භාරය සිහිපත් කරයි. පිළිකා රෝගයෙන් පීඩා විඳින දරුවන් හා ඔවුන්ගේ පවුල්වල අය වෙනුවෙන් අධ්‍යාපනික හා විනෝදාත්මක ක්‍රියාකාරකම්, උපදේශනය,  ක්‍රීඩා ආශ්‍රිත ක්‍රියාකාරකම්  ප්‍රවර්ධනය කරන මෙම බහු කාර්ය පරිශ්‍රය එම දරුවන්ගේ මෙන් ම පවුලේ සාමාජික සාමාජිකාවන්ගේ ද මානසික සුවතාව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි. මෙය හුදෙක් ගොඩනැඟිල්ලක් පමණක් නොවන බවත්, එය සිහින බල ගන්වමින් දිගු කාලීන මතක ගොඩ නංවන  කලාපයක් බවත්,  සිංහ දිස්ත්‍රික් 306B2 2021 = 2022 අධිපති ඉන්ද්‍රා කෞෂාල් රාජපක්ෂ මහතා පවසයි.

Make-A-Wish Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය 2025 අප්‍රේල් 29 වන දින, ඉන්දිරා පිළිකා භාරයේ දී පැවැත්වුණු අතර, එය සිය ප්‍රාර්ථනා ඉටු කර ගත් දරුවන්ගේ ආස්වාදජනක කතා, අධ්‍යාපනික සැසි ඇතුළු ක්‍රියාකාරකම් රැසකින් සමන්විත විය. එහි දී 8 හැවිරිදි රසිඳු සඳරුවන්, සිය ප්‍රාර්ථනාව වූ 2023 හිරු ස්ටාර් ජයග්‍රාහයා වූ අමීෂ මිනෝල් හමුවීම සාර්ථක වූ ආකාරය පිළිබඳ කතාව සභාව වෙත ඉදිරිපත් කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close