July 16, 2026
සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ‘සෙලාන් අත්වැල’ හඳුන්වාදෙයි
පුවත්

සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ‘සෙලාන් අත්වැල’ හඳුන්වාදෙයි

Jul 16, 2026

සෙලාන් බැංකුව පසුගියදා සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව සමඟ එක් වී ‘සෙලාන් අත්වැල’ නමින් විශේෂ ණය ක්‍රමයක් හඳුන්වා දුන්නේය. ගොවීන්ට, කෘෂි ව්‍යාපාරිකයන්ට සහ කෘෂිකර්මාන්තයට සම්බන්ධ සමාගම්වලට මූල්‍ය පහසුකම් ලබාගැනීමට අවස්ථාව සලසා දීම තුළින් එම ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.

සෙලාන් බැංකුව යනු කවදත් රටේ ආර්ථිකයට උර දෙන ප්‍රධාන ක්ෂේත්‍රවල වර්ධනයට අත්වැලක් වීමට කැප වී සිටින බැංකුවකි. කෘෂිකාර්මික කටයුතුවල නිරත වන්නන්ට නවීන යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම, ගොවිතැන් හෝ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම, ඵලදායීතාව ඉහළ නංවා ගැනීම සහ මූල්‍යමය දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා මෙම ණය පහසුකම භාවිතා කළ හැකි වේ. කෘෂිකාර්මික පද්ධති තිරසාරත්ව වැඩසටහනක් [Farming System Sustainability Programme (FSSP)] ලෙස ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය මාර්ග ශක්තිමත් කිරීම, ආහාර සුරක්ෂිතතාව වැඩිදියුණු කිරීම, රැකියා නිර්මාණය කිරීම සහ කෘෂි අපනයන දිරිමත් කිරීම සඳහා දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

‘සෙලාන් අත්වැල’ යටතේ සුදුසුකම් ලබන ගොවීන්, කෘෂි ව්‍යාපාර, සමූපකාර සහ කෘෂිකර්මාන්තයට සම්බන්ධ සමාගම් වැනි පාර්ශ්වවලට 5% ක් වැනි සහදායී පොලී අනුපාතයක් මෙන්ම නම්‍යශීලී ආපසු ගෙවීමේ කාලසීමාවන් සහ සහන කාලසීමාවන් සහිතව මෙම ණය පහසුකම ලබාගත හැකි වේ. මෙමගින් ව්‍යාපෘති පිරිවැයෙන් 75% ක් දක්වා ආවරණය කරනු ලබන නිසා ව්‍යාපාර හිමියන්ට තම ව්‍යාපාර වැඩිදියුණු කරගැනීම සඳහා කාර්යක්ෂම විසඳුමක් ලෙස මෙම ණය පහසුකම භාවිතා කිරීමට හැකි වනු ඇත. 

මෙම වැඩසටහන ගොවීන්, කෘෂි ව්‍යාපාර සහ සමූපකාර ආදියට අත්වැලක් වන අතරම කෘෂිකර්මාන්තය තුළ තරුණ සහ කාන්තා දායකත්වය වැඩි කිරීමටද දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම එය ක්ෂේත්‍රයේ ඵලදායීතාව, ආදායම් ජනනය සහ දීර්ඝකාලීන තිරසාරත්වය වර්ධනය කරනු නිසැකය.

සෙලාන් අත්වැල යටතේ වගා කිරීම සහ වගාවන් පුළුල් කිරීම (තේ, රබර් සහ පොල් හැර), තේ, රබර් සහ පොල් සම්බන්ධ පිරිසැකසුම් කටයුතු සහ අගය එකතු කරන ක්‍රියාකාරකම්, යන්ත්‍රසූත්‍ර, පශු සම්පත් සහ උපකරණ මිලදීගැනීම, තාවකාලික ගොඩනැගිලි, ගබඩා පරිශ්‍ර, පිරිසැකසුම් මධ්‍යස්ථාන සහ හරිතාගාර ඉදිකිරීම, සූර්ය බලශක්ති ජනනය සහ ඵලදායීතාව වැඩි කිරීමේ ව්‍යාපෘති සහ සෘජුව කෘෂිකර්මාන්තයට සම්බන්ධ කටයුතු වෙනුවෙන් ඉඩම් හා රථවාහන මිලදීගැනීම ආදිය සඳහා ණය පහසුකම් ලබාගත හැකි වේ.

මෙම වැඩසටහන මඟින් ලබාදෙන අරමුදල් කෘෂි ව්‍යාපාරවල තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මෙන්ම කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහාද භාවිතා කළ හැක. සෙලාන් අත්වැල යටතේ රු. මිලියන 5 ක් දක්වා ණය පහසුකම් ලබාගත හැකි වේ. කාරක ප්‍රාග්ධන ණය පහසුකම් ආපසු ගෙවීම සඳහා වසර 3 ක් දක්වා කාලය හිමි වන අතර, ආයෝජන සහ ඒකාබද්ධ ණය පහසුකම් සඳහා වසර 5 ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් හිමි වේ.  

සෙලාන් අත්වැල වැනි වැඩසටහන් ඔස්සේ තිරසාර ආර්ථික වර්ධනයට සහ ජාතික සංවර්ධනයට දායක වන මූල්‍ය විසඳුම් හඳුන්වා දෙමින් රටේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයන් සවිබල ගැන්වීම සඳහා සෙලාන් බැංකුව දිගින් දිගටම කැප වී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close