August 29, 2026
සෙලාන් බැංකුව දකුණු පළාතේ කුඩා තේ වතු හිමියන් සවිබල ගැන්වීම සඳහා SME Scale-Up වැඩසටහන් මාලාවක් පවත්වයි
පුවත්

සෙලාන් බැංකුව දකුණු පළාතේ කුඩා තේ වතු හිමියන් සවිබල ගැන්වීම සඳහා SME Scale-Up වැඩසටහන් මාලාවක් පවත්වයි

Aug 29, 2026

සෙලාන් බැංකුව ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයට අත්වැලක් වෙමින් ජාතික ආර්ථිකයේ වර්ධනයට දායක වීමේ අරමුණින් ගාල්ල සහ මාතර ප්‍රදේශවල කුඩා තේ වතු හිමියන් සඳහා SME Scale-Up වැඩසටහන් මාලාවක් සංවිධානය කළේය. දකුණු පළාතේ තේ වගාකරුවන් 100 කට අධික පිරිසක් සහභාගී වූ මෙම වැඩසටහන් මාලාව තුළදී ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කරගැනීමට අවශ්‍ය දැනුම හා තාක්ෂණික මඟපෙන්වීම මෙන්ම මූල්‍ය හා ඩිජිටල් විසඳුම්ද ඔවුන් වෙත ලබාදෙන ලදි.

මෙම වැඩසටහන්වලදී නිෂ්පාදන පිරිවැය ඉහළ යාම, ශ්‍රමික හිඟය, දේශගුණික විපර්යාස ආශ්‍රිත අවදානම් මෙන්ම ඵලදායීතාව සහ තිරසාරත්වය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව ඇතුළුව, කුඩා තේ වතු හිමියන් මුහුණ දෙන වඩාත්ම තීරණාත්මක අභියෝග කිහිපයක් පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරිණි. එමෙන්ම සිය ව්‍යාපාර දියුණු කරගැනීම සඳහා සෙලාන් බැංකුවේ මූල්‍ය හා ඩිජිටල් බැංකුකරණ විසඳුම් උපයෝගී කරගත හැකි ආකාරය පිළිබඳවද ඔවුන් දැනුවත් කරන ලදි.

ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර අංශයට ණය පහසුකම් සපයන ප්‍රමුඛතම බැංකු පහ අතරින් එකක් වන සෙලාන් බැංකුව, මෙරට ව්‍යවසායකයන් සහ කෘෂිකාර්මික ව්‍යාපාර සවිබල ගැන්වීම සඳහා දිගින් දිගටම කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරමින් සිටී. කුඩා තේ වතු හිමියන් සහ කෘෂි ව්‍යාපාර සඳහා කාරක ප්‍රාග්ධන පහසුකම්, වතු නවීකරණය සඳහා ආයෝජන මූල්‍ය පහසුකම්, මුදල් ප්‍රවාහය මත ඇතිවන පීඩනයන් ලිහිල් කිරීම සඳහා ප්‍රතිමූල්‍යකරණ විසඳුම් මෙන්ම මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවන ඩිජිටල් බැංකුකරණ මෙවලම් ඇතුළු පුළුල් නිෂ්පාදන හා සේවා මාලාවක් බැංකුව විසින් හඳුන්වා දී තිබේ. ව්‍යවසායකයන් වෙනුවෙන් සංවිධානය කරනු ලබන මෙබඳු වැඩසටහන්වලදී මෙම විසඳුම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු වන අතර, එම විසඳුම් භාවිතා කරමින් ව්‍යාපාරවල ඵලදායීතාව වැඩිදියුණු කරගැනීම, කර්මාන්තයේ අභියෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වර්ධන කරගැනීම සහ ව්‍යාපාර තවදුරටත් පුළුල් කරගැනීම සඳහා කුඩා පරිමාණ තේ වතු හිමියන්ට සහය වීම සඳහා සෙලාන් බැංකුව අඛණ්ඩව කැප වී සිටී. මෙම ක්‍රියාවලිය හේතුවෙන් තේ කර්මාන්තය තුළින් මෙරට අපනයන ආර්ථිකයට ලැබෙන දායකත්වයද ඉහළ යයි.  

ගාල්ලේ පැවති වැඩසටහනට එක් වූ ගාල්ල සහකාර තේ කොමසාරිස් එල්. කේ. අජිත් මහතා, පොහොර මිල ඉහළ යාම සහ ශ්‍රමික හිඟය හේතුවෙන් වගාකරුවන් මත එල්ල වී ඇති පීඩනය පිළිබඳව අදහස් දැක්වීය. මෙම අභියෝග ජයගැනීම සඳහා කර්මාන්තයේ සියලු පාර්ශ්වකරුවන් එක්ව කටයුතු කළ යුතු බව පෙන්වා දුන් ඒ මහතා, තේ වගාවේ අස්වනු නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට සහ ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට තේ මණ්ඩලයේ සහයෝගය දිගින් දිගටම වගාකරුවන් වෙත ලබා දෙන බවටද සහතික විය.

ගාල්ල තේ කුඩා වතු සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය කළමනාකරු ඉන්දික මොහොට්ටි මහතා, අස්වනු වැඩි කරගැනීම සඳහා නිර්දේශිත කෘෂිකාර්මික ක්‍රමවේද සහ වගා මාර්ගෝපදේශ අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරණය කළ අතර, වටිනා ඉඩම් පාංශු ඛාදනයෙන් ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය. මේ අතර, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ කොට්ටාව උප කාර්යාලයේ ප්‍රධාන නිලධාරී ප්‍රදීප් ද අල්විස් මහතා, වෙනස් වෙමින් පවතින දේශගුණික තත්ත්වයන් තේ වගාවට ඇති කරන බලපෑම පිළිබඳව, විශේෂයෙන්ම ඉදිරියේදී ඇතිවනු ඇතැයි අපේක්ෂිත එල් නීනෝ සංසිද්ධිය මඟින් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව අදහස් දැක්වීය. විවිධ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන අතරම ඵලදායීතාව පවත්වා ගත හැකි වන පරිදි හඳුන්වා දී ඇති තේ පැළ ප්‍රභේද පිළිබඳවද ඔහු වගාකරුවන් දැනුවත් කළේය.

මාතර පැවති වැඩසටහනේදී අදහස් දැක්වූ මාතර සහකාර තේ කොමසාරිස් ඩබ්ලිව්. එම්. එස්. ජේ. විජේමාන්න මහතා, ගෝලීය වෙළෙඳපොළ තුළ තරගකාරීත්වය පවත්වාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය අඛණ්ඩව නවෝත්පාදන සිදු කළ යුතු බව අවධාරණය කළේය. ප්‍රධාන තේ නිෂ්පාදන රටවල් විසින් සාර්ථකව අනුගමනය කරනු ලබන ක්‍රමවේද පිළිබඳව සඳහන් කරමින්, නව තාක්ෂණයන් වැළඳගැනීමේ සහ ක්ෂේත්‍රයේ අනාගතය ආරක්ෂා කරගැනීම සඳහා කර්මාන්තයට සම්බන්ධ සියලු දෙනා සාමූහිකව කටයුතු කිරීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.

වැඩසටහනට සහභාගී වූවන්ට වැඩිදුර තාක්ෂණික දැනුම ලබාදුන් තේ පර්යේෂණ ආයතනයේ විශ්‍රාමික උපදේශක නිලධාරී ශාන්ත ජයසිංහ මහතා, ඉහළ ඝනත්වයකින් යුත් වගා ක්‍රමවේද භාවිත කිරීම සහ තේ දළු වර්ධනය උත්තේජනය කිරීම සඳහා නිපදවා ඇති නවීන පොහොර භාවිතා කිරීම ඔස්සේ වතු ඵලදායීතාව වැඩිදියුණු කිරීමේ විධික්‍රම පිළිබඳව සාකච්ඡා කළේය. වෙනස් වෙමින් පවතින කාලගුණික හා දේශගුණික රටාවන් හමුවේ ජල භාවිතය වඩාත් කාර්යක්ෂම කිරීම සහ පාරිසරික අභියෝගවලට ඔරොත්තු දීම සඳහා ඵලදායී විසඳුමක් ලෙස බිංදු ජල සම්පාදන පද්ධති භාවිතය වඩාත් සුදුසු බවද ඔහු පෙන්වා දුන්නේය.  

මෙබඳු වැඩසටහන්වල වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (ශාඛා ණය) සිසිල්ටන් ෆිලිප් මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ආර්ථිකය තුළ කුඩා තේ වතු හිමියන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ‘සුහද හදක් ඇති දේශීය බැංකුව’ ලෙස ඔවුන්ට මූල්‍ය සහය ලබාදීමෙන් ඔබ්බට ගොස්, ඔවුන් සවිබල ගැන්වීම සහ අපනයන කටයුතු සාර්ථක කරගැනීම සඳහා ඔවුන්ට සහය වීම අපගේ අරමුණයි. කාරක ප්‍රාග්ධන පහසුකම්, ප්‍රතිමූල්‍යකරණ ක්‍රම, ආයෝජන මූල්‍ය පහසුකම් සහ ඩිජිටල් බැංකුකරණ සේවා ඇතුළුව, ව්‍යවසායකයන්ගේ අවශ්‍යතාවන්ට ගැළපෙන මූල්‍ය විසඳුම් මෙන්ම, තිරසාර ලෙස ව්‍යාපාර වැඩිදියුණු කරගැනීමට අවශ්‍ය උපදෙස් ලබාදීමට අප කැප වී සිටිනවා. ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ඔස්සේ ව්‍යාපාරික ලෝකයේ අභියෝග ජයගැනීමේ හැකියාව ඇති ශක්තිමත් ව්‍යාපාර ගොඩනැංවීමට ව්‍යාපාරිකයන්ට සහය වෙමින්, ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩිදියුණු කරමින්, ඔවුන්ට රටේ ආර්ථික වර්ධනයට දීර්ඝකාලීනව දායක වීමට අවශ්‍ය දැනුම හා සම්පත් ලබාදීමට අප සූදානම්.”

SME Scale-Up වැනි වැඩසටහන් ඔස්සේ දැනුම හා මූල්‍ය සහයට අමතරව ව්‍යාපාරවල ඵලදායීතාව වැඩිදියුණු කිරීමට, නව අවස්ථා ග්‍රහණය කරගැනීමට සහ ජාතික සමෘද්ධියට දායක වීමට උපකාරී වන ඩිජිටල් විසඳුම් පිරිනමමින්, ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය සවිබල ගැන්වීම සඳහා සෙලාන් බැංකුව දිගින් දිගටම කැප වී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close