December 12, 2024
සෙලාන් බැංකු ජංගම යෙදුම ත්‍රෛභාෂා සේවා සැපයීමට එක් වෙයි
පුවත්

සෙලාන් බැංකු ජංගම යෙදුම ත්‍රෛභාෂා සේවා සැපයීමට එක් වෙයි

Nov 11, 2024

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, තම බැංකු සේවා ජංගම යෙදුමට සිංහල හා දෙමළ භාෂාද ඇතුළත් කරමින් එය වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ.  ඒ අනුව මින් ඉදිරියට පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් තමන් කැමති භාෂාවකින් මෙම යෙදුම හරහා තමන්ට අවශ්‍ය මූල්‍ය සේවාවන් ලබාගැනීමට හැකි වනු ඇත. මේ ආකාරයට තම ජංගම යෙදුම ‍ත්‍රෛභාෂික යෙදුමක් බවට පත්කිරීම සෙලාන් බැංකුවේ මාර්ගගත සේවාවන් වැඩි පිරිසක් වෙත සමීප කරවීම සඳහා මහෝපකාරී වනු ඇත.

Android සහ iOS මෙහෙයුම් පද්ධති සමග භාවිතා කළ හැකි සෙලාන් බැංකුවේ ජංගම යෙදුම මෙලෙස වැඩිදියුණු කර ඇත්තේ සමස්තයක් ලෙස ගනුදෙනුකරුවන්ට එය භාවිතා කිරීමේදී වඩාත් පහසු අත්දැකීමක් ලබාදීමේ අරමුණෙනි. මේ දක්වා මෙම යෙදුම හරහා ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබා ගත හැකි වූ සේවාවන් මින් ඉදිරියට සිංහල හා දෙමළ යන භාෂාවලින්ද ලබාගත හැකි වේ. ඒ අනුව, මින් ඉදිරියට තමන්ට වඩාත් පහසු භාෂාවකින් සේවාවන් ලබාගැනීමට සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන්ට අවස්ථාව හිමි වේ. තම ගිණුම් තොරතුරු පරීක්ෂා කිරීම, නව ආරක්ෂක ප්‍රශ්න (Security questions) නිර්මාණය කිරීම, බිල්පත් ගෙවීම සහ ගිණුමකින් ගිණුමකට මුදල් මාරු කිරීම යනාදිය මෙම යෙදුම ඔස්සේ ඉතාමත් පහසුවෙන් සිදුකළ හැක. මෙම කටයුතු වඩාත් සරල හා පහසු වන පරිදි මෙම යෙදුම වැඩිදියුණු කර තිබේ. නව සැලසුම අනුව ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහුණතක් (Interface) හරහා තම ඉතුරුම් ගිණුම් හා ක්‍රෙඩිට් කාඩ්පත් ඇතුළු සේවා කිහිපයක් වුවද ඉතාමත් පහසුවෙන් පරීක්ෂා කිරීමට හැකි වනු ඇත.

එමෙන්ම ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව වැඩි කිරීම සඳහා මෙම යෙදුමට ජෛවමිතික ආරක්ෂක ක්‍රමවේදයන් (Biometric security features) ද ඇතුළත් කර තිබේ. මීට අමතරව SMS, ඊමේල් සහ Soft Token යන ක්‍රමවලට එක්වරක් පමණක් භාවිතා කළ හැකි මුරපද (OTP) එවීමේ ක්‍රමවේදයක්ද මීට ඇතුළත් ය. එමෙන්ම Soft Token ක්‍රමවේදය මගින් ගනුදෙනුකරුවන්ට අන්තර්ජාල බැංකුකරණ ගනුදෙනුවලදී තමන් විසින්ම තම මුරපද නිර්මාණය කරගැනීමට හැකියාව ලැබේ. නව යෙදුම මගින් ගනුදෙනුකරුවන්ට තම ගිණුමේ ආරක්ෂාව සඳහා අවශ්‍ය විධික්‍රම තීරණය කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර, “Third Challenge” ක්‍රමය යටතේ ගනුදෙනුකරුවන්ට තම ආරක්ෂක ප්‍රශ්න (Security questions) තමන්ට අවශ්‍ය පරිදි සැලසුම් කරගත හැකි වේ.

තවද මෙම වැඩිදියුණු කිරීම් යටතේ පාරිභෝගික සේවා අංගයක්ද යෙදුමට ඇතුළත් කර තිබේ. එමගින් ගනුදෙනුකරුවන්ට තමන්ට කිසියම් ගැටලුවක් මතු වූ අවස්ථාවකදී හෝ වෙනත් ඕනෑම අවස්ථාවකදී ඉතාමත් පහසුවෙන් සෙලාන් බැංකුව හා සම්බන්ධ වීමට හැකියාව ලැබෙනු ඇත.

“මාර්ගගත බැංකුකරණ සේවාවන් භාවිතා කිරීමේදී ගනුදෙනුකරුවන් බලගැන්වීමේ අරමුණින් මේ ආකාරයට අපගේ ජංගම යෙදුම වැඩිදියුණු කිරීමට අප පියවර ගත්තා. මෙය සැලසුම් කර ඇත්තේ බාධක අවම කරමින්, ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂම ලෙස තමන්ට අවශ්‍ය සේවාවන් ලබාගැනීමට හැකි වන ආකාරයටයි. මෙම යෙදුම මෙලෙස භාෂා තුනෙන්ම භාවිතා කළ හැකි වඩාත් සරල යෙදුමක් බවට පත්කිරීම, ගනුදෙනුකරුවන්ට වඩාත් විශිෂ්ට සේවාවක් ලබාදෙමින් ඔවුන් සවිබල ගැන්වීම සඳහා අප දරන නිරන්තර උත්සාහයේම ඉදිරි පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” සෙලාන් බැංකුවේ ඩිජිටල් බැංකුකරණ නාලිකා ප්‍රධානී චමින්ද සෙනෙවිරත්න මහතා පැවසී ය.

මෙම යෙදුම හරහා ගනුදෙනුකරුවන්ට තම ගනුදෙනුවල ඉතිහාසය පරීක්ෂා කිරීම, අස්ථානගත වූ හෝ සොරාගනු ලැබූ කාඩ්පත් සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සහ ඉදිරි ගෙවීම් සඳහා කැමති පරිදි ප්‍රතිලාභීන් හෝ ගෙවීම් ලබන්නන් නම් කිරීම වැනි සේවාවන් රාශියක්ද ලබාගත හැකි වේ. මීට අමතරව ඔවුන්ට මෙම යෙදුම හරහා සෙලාන් බැංකුවේ ශාඛා පිහිටි ස්ථාන පිළිබඳ විස්තර ලබාගැනීම සහ තමන් සතු ස්ථාවර තැන්පතු සහ ණය ගිණුම් ආදියෙහි තත්වය පරීක්ෂා කිරීමද ඉතාමත් පහසුවෙන් සිදුකළ හැක.

Google Play සහ Apple App Store තුළින් සෙලාන් බැංකුවේ ජංගම බැංකුකරණ යෙදුම බාගත (Download) කළ හැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *