September 8, 2026
පරපුරක් පෝෂණය කළ ගොවි මව්පියන්ට සෙරන්ඩිබ්ෆ්ලා(ර්) මිල්ස් සමාගමෙන් දළදා වන්දනා සත්කාරයක්
පුවත්

පරපුරක් පෝෂණය කළ ගොවි මව්පියන්ට සෙරන්ඩිබ්ෆ්ලා(ර්) මිල්ස් සමාගමෙන් දළදා වන්දනා සත්කාරයක්

Sep 8, 2026

ග්‍රාමීය ප්‍රජාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් වූ තම දීර්ඝකාලීන සමාජීය වගකීම පෙරදැරි කරගනිමින්, සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම විසින් මෙහෙයවනු ලබන ‘සෙරන්ඩිබ් උත්තම දළදා’ සත්කාරයේ පස්වන අදියර යටතේ, පිටිසර ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රදේශවල වෙසෙන වැඩිහිටි මව්පියන් සියයකට අධික පිරිසකට මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහැර වන්දනාමාන කරගැනීමේ අසිරිමත් අවස්ථාව උදාකර දෙන ලදී.

2026 අගෝස්තු මස සංවිධානය කරන ලද මෙම උතුම් පුණ්‍යකර්මය සඳහා මහලකොටුව, ඇලහැර සහ අත්තනකඩවල යන ප්‍රදේශවලින් වැඩිහිටි මව්පියන් පිරිසක් එක්ව සිටියහ. තමන්ගේ ජීවිත කාලය පුරාම කුඹුරු අස්වද්දමින් වෙහෙස වී මුළු රටම පෝෂණය කිරීමට අප්‍රතිහත කැපවීමක් දැක්වූ මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා, ශ්‍රී ලංකාවේ අති පූජනීය හා ප්‍රෞඪ සංස්කෘතික මංගල්‍යයක් වන ශ්‍රී දළදා මාලිගාවේ දළදා පෙරහැර සිය දෑසින් දැකබලා ගනිමින් පින්සිත් පුරවා ගැනීමට මෙහිදී අගනා අවස්ථාවක් හිමි විය.

“පරම්පරාවක් පෝෂණය කළ ගොවි මව්පියන්ගේ සිත් සතන් පින් මහිමයෙන් පෝෂණය කරමු” යන තේමාව පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක වූ ‘සෙරන්ඩිබ් උත්තම දළදා’ සත්කාරය මගින් අගය කරනු ලබන්නේ, අප රටේ කෘෂිකාර්මික මව්පියන් විසින් ඉටුකරන ලද ජීවිත කාලීන මෙහෙවර සහ ඔවුන්ගේ කැපකිරීම් ය. තනිවම සපයා ගැනීමට අපහසු මෙවැනි උතුම් අත්දැකීමක් ඔවුන් වෙත පිරිනැමීම මෙම සත්කාරයේ මූලික අරමුණ විය.

මෙම සමස්ත වන්දනා ගමන සඳහා අවශ්‍ය සියලුම පහසුකම් සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම විසින් සම්පූර්ණයෙන්ම සපයන ලද අතර, විශේෂයෙන් වෙන්කරන ලද බස් රථ 3ක් මගින් ආරක්ෂිතව සහ පහසුකම් සහිත ප්‍රවාහන සේවාවක් සැලසීමට කටයුතු කරනලදි. ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම මෙන්ම, වැඩිහිටි මව්පියන්ට කිසිදු අපහසුතාවයකින් තොරව සුවපහසුවෙන් දළදා පෙරහැර නැරඹීම සඳහා විශේෂයෙන් සූදානම් කරන ලද ප්‍රේක්ෂක පීඨයක අසුන් පහසුකම් ද සලසා දී තිබුණි.

මෙම වැඩසටහන පුරාම ආදරණීය මව්පියන්ගේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, ගමන ආරම්භ කළ මොහොතේ සිට නැවත නිවෙස් වෙත ළඟා වන තෙක්ම ඔවුන් වෙත ප්‍රණීත ආහාර පාන මෙන්ම අඛණ්ඩ වෛද්‍ය ආධාර සහ සහායක සේවාවන් සපයා දීමට ද සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් කටයුතු කළේය.

පස්වන වසරටත් සාර්ථකව පවත්වනු ලබන ‘සෙරන්ඩිබ් උත්තම දළදා’ යනු සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගමේ ව්‍යාපාරික සීමාවන්ගෙන් ඔබ්බට යමින්, සමාජයට යහපත් බලපෑමක් ඇති කිරීම උදෙසා ක්‍රියාත්මක කරනු ලබන අර්ථපූර්ණ වාර්ෂික ආයතනික සමාජ සත්කාරක (CSR) ව්‍යාපෘතියකි. ප්‍රචාරයෙන් තොරව නිහඬවම රට උදෙසා අසමසම මෙහෙවරක් ඉටුකළ ප්‍රජාවන් අගයමින්, කෘතවේදීත්වය, කරුණාව සහ ගෞරවය යන මානුෂීය අගයන් මුදුන්පත් කරගනිමින් මෙම වැඩසටහන ඉදිරියටම ක්‍රියාත්මක වේ.

‘සෙරන්ඩිබ් උත්තම දළදා 2026’ හරහා සෙරන්ඩිබ් ෆ්ලා(ර්) මිල්ස් සමාගම නැවත වරක් තහවුරු කර සිටින්නේ, ග්‍රාමීය ප්‍රජාවන් සමග අතවැල් බැඳගනිමින් ඔවුන් රටට දක්වන දායකත්වය අගය කිරීමටත්, ඔවුන්ගේ හදවත් තුළ ඇති උතුම් අපේක්ෂාවන් හා අභිලාෂයන් සැබෑ කරදීමටත් තමන් සැමවිටම කැපවී සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close