සාගර පරිසර පද්ධති සංරක්ෂණය ශක්තිමත් කිරීමට SDB බැංකුව Project BLUE සමඟ අත්වැල් බැඳගනියි
SDB බැංකුව තිරසර පරිසර සංරක්ෂණය සහ ප්‍රජා සංවර්ධනය සඳහා වන සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ZeroPlastic Club සමඟ එක්ව ක්‍රියාත්මක කරන Project BLUE – Bringing Life to the Ecosystem වැඩසටහන සඳහා අඛණ්ඩව සහාය ලබා දෙයි. දොඩන්දූවෙන් ආරම්භ කළ පළමු අදියරේ සාර්ථකත්වයෙන් අනතුරුව, වැඩසටහනේ දෙවැනි අදියර ත්‍රිකුණාමලය වෙත ව්‍යාප්ත කර ඇති අතර, එමගින් සාගර පරිසර පද්ධති සංරක්ෂණය, පාරිසරික අධ්‍යාපනය සහ ප්‍රජා සවිබල ගැන්වීම සඳහා වැඩසටහනේ බලපෑම තවදුරටත් පුළුල් කර ඇත.
Project BLUE සමඟ ඇති හවුල්කාරීත්වය ඔස්සේ SDB බැංකුව, පාරිසරික සංරක්ෂණය, මහජන දැනුවත්භාවය සහ ප්‍රජා සවිබල ගැන්වීම ශක්තිමත් කරමින් සිය තිරසරභාවය සහ ආයතනික සමාජ වගකීම් (CSR) පිළිබඳ කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යයි. සාගර දූෂණයට විසඳුම් සෙවීම සඳහා විවිධ පාර්ශ්වකරුවන් එක් කරගනිමින් තිරසර ක්‍රමවේද ප්‍රවර්ධනය කරන මෙම වැඩසටහන, එක්සත් ජාතීන්ගේ SDG 8 (වටිනාකමක් සහිත රැකියා සහ ආර්ථික වර්ධනය), SDG 13 (දේශගුණික ක්‍රියාකාරකම්), SDG 14 (සාගර හා ජලජ ජීවී පද්ධති) සහ SDG 17 (තිරසාර ඉලක්ක උදෙසා සාමූහික සහයෝගීතාව) යන තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ද දායක වේ.
Project BLUE හි පළමු අදියර දොඩන්දූව වෙරළබඩ ප්‍රදේශය ආශ්‍රිතව ක්‍රියාත්මක වූ අතර, SDB බැංකුවේ ස්වේච්ඡා සේවකයින්, විශ්වවිද්‍යාල සිසුන් සහ කිමිදුම් වෘත්තිකයින් එක්ව වෙරළ සහ දිය යට පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා සහභාගී වූහ. මීට සමගාමීව සාගර සංරක්ෂණය සහ ප්ලාස්ටික් දූෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ද පැවැත්විණි. බද්දේගම ශාන්ත ඇන්තනි ජාතික විද්‍යාලයේ සිසුන් ද ශ්‍රී ලංකාවේ සාගර පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කළ අධ්‍යාපනික වැඩසටහන් සඳහා සහභාගී වූහ.
මෙම පදනම මත වැඩසටහන තවදුරටත් පුළුල් කරමින්, පොහොසත් සාගර ජෛව විවිධත්වයක්, සක්‍රීය ධීවර කර්මාන්තයක් සහ වැදගත් සංචාරක ගමනාන්තයක් ලෙස සැලකෙන ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී දෙවැනි අදියර ක්‍රියාත්මක කෙරිණි. විශ්වවිද්‍යාල සිසුන් 75කට අධික සංඛ්‍යාවක්, SDB බැංකුවේ සේවකයින් 50කට අධික සංඛ්‍යාවක් සහ වෘත්තීය කිමිදුම්කරුවන් 10 දෙනෙකු මෙම වැඩසටහනට එක්වෙමින් වෙරළබඩ සහ සමුද්‍රීය පරිසර සංරක්ෂණ කටයුතු සඳහා දායක වූහ. මෙම ස්වේච්ඡා කණ්ඩායම විසින් මුහුදු අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 ඉක්මවන ප්‍රමාණයක් එක්රැස් කරන ලද අතර, එමඟින් සංවේදී සාගර පරිසර පද්ධති යථා තත්ත්වයට පත් කිරීමටත්, සාගර පරිසරය ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමටත් දායක වී ඇත.
පරිසර සංරක්ෂණය, ප්‍රජා යහපැවැත්ම සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය අතර පවතින සම්බන්ධතාව අවධාරණය කරමින්, ප්‍රාදේශීය ප්‍රජාවන් සඳහා මූල්‍ය සහ ඩිජිටල් සාක්ෂරතා දැනුවත් කිරීමේ සැසි ද මෙම වැඩසටහනට ඇතුළත් විය.
මෙම වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ SDB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී මනෝජ් අක්මීමන මහතා මෙසේ පැවසීය.
“තිරසාර වෙනසක් ඇති කිරීමේදී සහයෝගීතාවයේ වැදගත්කම Project BLUE මගින් පිළිබිඹු කරනවා. ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ ඇති අපගේ හවුල්කාරීත්වය හරහා, දැනුම හුවමාරු කර ගැනීම, දැනුවත්භාවය ඉහළ නැංවීම සහ සාමූහික ක්‍රියාමාර්ග තුළින් ප්‍රජාවන්ට සහාය වන අතරම, ශ්‍රී ලංකාවේ සාගර පරිසර පද්ධති ආරක්ෂා කිරීමට ද අපි දායක වෙමින් සිටිනවා. පාරිසරික වගකීම ප්‍රවර්ධනය කිරීමටත්, ඉදිරි පරම්පරාවන් සඳහා වඩාත් තිරසර අනාගතයක් ගොඩනැගීමටත් මෙවැනි හවුල්කාරීත්වයන් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව අපි විශ්වාස කරනවා.”
Project BLUE වැඩසටහන සඳහා අඛණ්ඩව සහාය ලබා දීම තුළින්, සාම්ප්‍රදායික බැංකුකරණයෙන් ඔබ්බට ගිය අර්ථවත් තිරසර වැඩසටහන් සඳහා SDB බැංකුව දක්වන කැපවීම තවදුරටත් තහවුරු කරයි. එමගින් ප්‍රජාවන් සඳහා ධනාත්මක වටිනාකමක් නිර්මාණය කරන අතරම, ශ්‍රී ලංකාවේ සාගර පරිසර පද්ධති සංරක්ෂණයට ද දායක වේ.

