කලාපීය වැවිලි සමාගම් සහ වැවිලි මානව සංවර්ධන භාරය දිට්වා ආපදා ප්‍රතිසංස්කරණ සඳහා වූ තම කැපවීම යලිත් තහවුරු කරයි
විනාශකාරී දිට්වා චණ්ඩමාරුතය හේතුවෙන් ඇති වූ ආපදා තත්වයෙන් බලපෑමට ලක් වූ වැවිලි ප්‍රජාවන්ට සහය දැක්වීම සඳහා කලාපීය වැවිලි සමාගම් (RPC) සහ වැවිලි මානව සංවර්ධන භාරය (PHDT) තම කැපවීම යළිත් තහවුරු කර ඇත . හදිසි සහන සේවා පුනරුත්ථාපන සහාය සහ දිගුකාලීන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඒකාබද්ධ කරමින්, ආපදාවට මුහුණදුන් වතු ජනතාවගේ ජීවිත යළි ස්ථාපිත කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙනු ඇත.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ ආපදා තත්වය හමුවේ එම ප්‍රදේශයන් වෙත ළඟා වූ පළමු සහන කණ්ඩායම් අතර කලාපීය වැවිලි සමාගම් හි සාමජිකයින් ද සිටි අතර , වතු කළමනාකරුවන්ගේ මැදිහත්වීමෙන් ආපදාවට ලක් වූ පවුල් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ඔවුන් සිට උපරිම දායකත්වය ලබා දුන්නේය. මේ සඳහා කර්මාන්තශාලා සහ වැවිලි සමාගමේ ගොඩනැගිලි ඇතුළු තාවකාලික නවාතැන් පහසුකම් සලසා දී ආහාර, වාසස්ථාන සහ අනෙකුත් මූලික සහන සේවා ද ලබාදීමට පියවර ගෙන ගනු ලැබීය. මෙහි විශේෂත්වය වුයේ පුළුල් රාජ්‍ය සහන යාන්ත්‍රණයන් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමට පෙරම මෙම සහන කටයුතු ආරම්භ කිරීමට වැවිලි සමාගම් දැක්වූ දායකත්වයයි.
මෙම ආපදාවෙන් වතු ප්‍රජාවන්ට දැඩි බලපෑමක් එල්ල වූ අතර, පවුල් සිය ගණනකගේ නිවාස, මාර්ග හා මූලික යටිතල පහසුකම්, ජල සැපයුම් පද්ධති, අධ්‍යාපන පහසුකම් සහ ජීවනෝපාය මාර්ගවලට ද විශාල හානි සිදුවිය. මෙම තත්ත්වයට කඩිනම් ප්‍රතිචාර දැක්වීමක් ලෙස කලාපීය වැවිලි සමාගම් සහ වැවිලි මානව සංවර්ධන භාරය අවශ්‍ය සම්පත් සහ හවුල්කාරිත්වයන් සක්‍රීය කරමින්, ආපදාවට ලක් වූ වැවිලි ප්‍රජාවන් වෙත කාලානුරූපී සහන සේවා ලබා දීමට මේ දක්වා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටී.
වැවිලි මානව සංවර්ධන භාරය, අහමඩ් ටී, රේන්ෆොරස්ට් එලයන්ස් ඇතුළු හවුල්කාර පාර්ෂවයන් සහ මෙම වැඩපිලිවෙලට සහාය දැක්වූ අනෙකුත් පාර්ෂවයන්ගේ ද දායකත්වයෙන් රුපියල් මිලියන 20කට අධික වටිනාකමකින් යුත් සහනාධාර ලබාදීමට කටයුතු කර ඇත. මෙම සහන වැඩසටහන් යටතේ ජල ටැංකි 100ක්, පොත් සහ සෞඛ්‍ය ආරක්ෂණ කට්ටල ඇතුළත් පාසල් බෑග් 2,000ක්, අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු මූලික අවශ්‍යතා බෙදාහැරීමට පියවර ගෙන තිබේ. එසේම පශ්චාත් ආපදා තත්වයෙන් පීඩාවට පත් වූ පවුල් සහ දරුවන්ට මානසික සහ සමාජීය වශයෙන් යළි ස්ථාවර වීමට අවශ්‍ය මගපෙන්වීම් සඳහා මනෝවිද්‍යාත්මක උපදේශන වැඩසටහන් ද සංවිධානය කර තිබීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.
මෙම හදිසි සහන මැදිහත්වීම් තවදුරටත් පුළුල් කරමින්, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහාය යටතේ ආපදාවට ලක් වූ වතු ප්‍රජාවන්ගේ පුනරුත්ථාපනය සඳහා ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කර තිබේ. බදුල්ල දිස්ත්‍රික්කය මූලික කරගනිමින් ක්‍රියාත්මක වූ මෙම හවුල්කාරිත්ව වැඩපිළිවෙලේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සහ සේවා යළි ස්ථාපිත කිරීම කෙරෙහිය.
මෙම ව්‍යාපෘති මඟින් වැවිලි ප්‍රජාවන්ට ආරක්ෂිත පානීය ජලය සඳහා ප්‍රවේශය යළි ස්ථාපිත කිරීම, ප්‍රදේශීය සම්බන්ධතා පහසුකම් වැඩිදියුණු කිරීම සහ ළමා සංවර්ධන හා සුභසාධන සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වැදගත් සහායක් ලබාදී ඇත.
“දිට්වා ස්වභාවික ව්‍යසනය මගින් වතු ප්‍රජාවන්ට දැඩි දුෂ්කරතා ඇති කළ අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට මූලික සේවා සහ අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සඳහා තිබූ ප්‍රවේශය අහිමි විය. අපගේ හවුල්කරුවන් සහ දායකයින්ගේ වටිනා සහයෝගය හේතුවෙන්, කලාපීය වැවිලි සමාගම් විසින් වැවිලි මානව සංවර්ධන භාරයේ සහාය ද ඇතිව හදිසි සහනයන් කඩිනමින් ලබාදීමටත්, ඒ සමඟම දිගුකාලීන පුනරුත්ථාපන කටයුතු සඳහාද ආයෝජනය කිරීමටත් හැකි විය. අපගේ ප්‍රමුඛතාව වී ඇත්තේ ආපදාවට ලක් වූ පවුල් වලට තම ජීවිත යළි ගොඩනඟාගැනීමට සහාය වීම, අත්‍යවශ්‍ය සේවාවන් නැවත ස්ථාපනය කිරීම සහ අනාගතය සඳහා වැවිලි ප්‍රජාවන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමයි.”
නිවාස යළි ඉදිකිරීමේ වැඩසටහන
දිට්වා ස්වභාවික ව්‍යසනයෙන් අර්ධ වශයෙන් හෝ මුලුමනින් විනාශ වූ වැවිලි ප්‍රජාවන් නියෝජනය කරන පවුල් සඳහා ස්ථිර නිවාස සැලසුම්කරණය සහ යළි ගොඩනැගීමේ වැඩසටහන මේ වන විට කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන තිබේ. එහි වැදගත් පියවරක් ලෙස, ආපදාවට ලක් වූ වැවිලි ප්‍රජාවන් සඳහා ඉඩම් නිදහස් කිරීමට කලාපීය වැවිලි සමාගම් එකඟතාව පළ කර ඇති අතර, ඒ අනුව රජයේ සහාය යටතේ වඩාත් ආරක්ෂිත හා ස්ථිර නිවාස ඉදිකිරීමට අවස්ථාව සැලසෙනු ඇත.
මෙම වැඩසටහන ප්‍රතිලාභීන් මූලික කරගත් ආකෘතියක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අනුව, කොන්ත්‍රාත්කරුවන් හරහා නොව, සුදුසුකම් ලත් පවුල් වෙත ප්‍රාදේශීය ලේකම්වරයා හරහා රජයේ මුදල් සෘජුව ලබාදීමට සැලසුම් කර තිබේ. නිවාස සම්පූර්ණයෙන් විනාශ වූ පවුල්වලට අදියරෙන් අදියර රුපියල් මිලියන 5ක් දක්වා මුදල් සහාය ලබාදීමට හැකි වන අතර, අර්ධ වශයෙන් හානි වූ නිවාස සඳහා හානියේ තක්සේරු මට්ටම අනුව අලුත්වැඩියා හා වැඩිදියුණු කිරීම් සඳහා ඉලක්කගත සහාය ලබාදීමට නියමිතය.
මෙම වැඩසටහනේ විශ්වාසනීයත්වය සහ විනිවිදභාවය ආරක්ෂා කිරීම සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීම දැඩි පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් යටතේ සිදු කෙරේ. ඒ සඳහා අදාළ ග්‍රාම නිලධාරීන්, වතු කළමනාකාරීත්වය සහ වැවිලි මානව සංවර්ධන භාරයේ ප්‍රාදේශීය කණ්ඩායම් එක්ව කටයුතු කරමින්, ආපදා අවස්ථාව වන විට සැබවින්ම අදාළ වතුයායන් හි පදිංචිව සිටි පවුල් පමණක් හඳුනාගැනීමට පියවර ගනිමින් සිටී. මෙම ක්‍රමවේදය මගින් එක් පුද්ගලයකුට දෙවරක් සහනාධාර ලබා ගැනීම වළක්වා, සැබෑ ප්‍රතිලාභීන් වෙත පමණක් සහාය ළඟා කරවීම අරමුණු කර ඇත. ඉදිකිරීමට නියමිත සෑම නව නිවසක්ම අවම ජීවන ප්‍රමිතීන්ට අනුකූල විය යුතු අතර, වර්ග අඩි 650කට ආසන්න බිම් ප්‍රමාණයක්, නිදන කාමර දෙකක්, ශාලාවක් හෝ අසුන් ගත හැකි ස්ථානයක් , මුළුතැන්ගෙයක්, ස්ථිර වහලක්, වැසිකිළි පහසුකම්, ආරක්ෂිත ජල ප්‍රවේශය, විදුලිය සහ මාර්ග ප්‍රවේශය ඇතුළත් විය යුතුය.
මෙම වැඩසටහන අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. පළමු අදියර යටතේ ඉඩම් වෙන් කිරීම සහ තහවුරු කරන ලද ප්‍රතිලාභීන්ගේ අවසන් ලැයිස්තුව සකස් කිරීම සිදු කෙරෙන අතර, දෙවන අදියර යටතේ නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. සමස්ත නිවාස වැඩසටහන වසරක් පමණ ඇතුලත අවසන් කිරීම එහි ප්‍රධාන ඉලක්කය වේ.

