February 5, 2025
NDB බැංකුව IFC සමඟ සහයෝගීතාවයෙන් කාන්තා ව්‍යවසායකයන් සවිබලගන්වයි
පුවත්

NDB බැංකුව IFC සමඟ සහයෝගීතාවයෙන් කාන්තා ව්‍යවසායකයන් සවිබලගන්වයි

Oct 30, 2024

NDB බැංකුව, ශ‍්‍රී ලංකාව තුළ කාන්තාවන් සවිබල ගැන්වීම සහ මූල්‍ය කටයුතු සඳහා ඔවුන්ව දායක කරගැනීම ප‍්‍රවර්ධනය කිරීම සඳහා වැදගත් පියවරක් ලෙස කාන්තා ව්‍යවසායකයින් සඳහා පුහුණු වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ජාත්‍යාන්තර මූල්‍ය සංස්ථාව: IFC සමඟ සම්බන්ධ වී ඇත. NDB බැංකුවේ කාන්තාවන් සඳහා බැංකුකරණ සහ NDB අරලිය, මඟින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන්, වර්තමාන තරඟකාරී ව්‍යාපාරික පරිසරය තුළ දියුණු වීමට අවශ්‍ය කුසලතා සහ දැනුමෙන් කාන්තාවන් සන්නද්ධ කිරීම අරමුණු කරයි.

දිවයින පුරා ස්ථාන කිහිපයක පවත්වන ලද මෙම පුහුණු වැඩසටහන් සඳහා කාන්තා ව්‍යවසායකයින් 120 දෙනෙකුගේ පමණ උද්යෝගිමත් සහභාගීත්වය දැකගත හැකි විය. ව්‍යාපාර සැලසුම්කරණය සහ කළමනාකරණය, සන්නාමකරණය, අලෙවිකරණය සහ ඩිජිටල් සහ ඔන්ලයින් අලෙවිකරණ උපාය මාර්ග වෙත යොමුවීම ඇතුළුව ව්‍යාපාර වර්ධනය සඳහා අත්‍යවශ්‍ය පුළුල් පරාසයක මාතෘකා රැසක් මෙම සැසි මගින් ආවරණය කෙරේ.

NDB බැංකුව සහ IFC අතර ඇති මෙම සහයෝගීතාවය කාන්තා ව්‍යවසායකයින්ට සහාය වීමේ වැදගත්කම සහ ව්‍යාපාරික අංශයේ ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය ප‍්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරයි. කාන්තාවන්ට අවශ්‍ය පුහුණුව සහ සම්පත් සඳහා ප‍්‍රවේශය ලබා දීමෙන්, NDB බැංකුව ශ‍්‍රී ලංකාව තුළ කාන්තාවන්ටත් සමාන අවස්ථාවන් හිමිවන සහ වඩාත්  විවිධාංගීකරණය වූ ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමට උපකාර කරයි.

මෙම පුහුණු වැඩසටහන්වල එක් ප‍්‍රධාන විශේෂත්වයක් වන්නේ ඩිජිටල් බැංකුකරණය කෙරෙහි අවධානය යොමු කිරීමයි. වර්තමාන ලෝකයේ ශක්තිමත් ඩිජිටල් අලෙවිකරණ ක‍්‍රියාකාරකම් ව්‍යාපාර සාර්ථකත්වය සඳහා ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස මීගමුවේ පැවැති සැසිවාරයේදී, පුළුල් පාරිභෝගික පිරිසක් ආකර්ෂණය කරගැනීම  සහ ව්‍යාපාර වර්ධනය සඳහා ඩිජිටල් භාවිතාව සහ අන්තර්ජාල අලෙවිකරණ උපාය මාර්ග අනුගමනය කිරීමේ වැදගත්කම අවධාරනය කරන ලදී.

තවද, කාන්තා ව්‍යවසායකයින් අතර විශ්වාසය ගොඩනැංවීම  සහ ඔවුන් සවිබල ගැන්වීම පිළිබඳ හැඟීමක් ඇති කිරීම මෙම පුහුණු වැඩසටහන් වල අරමුණයි. NDB බැංකුව කාන්තාවන්ට ව්‍යාපාරික කටයුතුවලට හවුල් කරගනිමින් ඔවුන්ව ශ‍්‍රී ලංකාවේ සමස්ථ ආර්ථික සංවර්ධනයට දායක කරගැනීමේ අරමුණින් ව්‍යාපාරික වශයෙන් සාර්ථක වීමට අවශ්‍ය නිපුණතා සහ දැනුම ලබාදෙයි.

NDB බැංකුව සහ IFC පිළිබඳව

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම ලැයිස්තුගත පෞද්ගලික වාණිජ බැංකුව වේ.  Asian Banking & finance Retail Banking Awards 2023 සම්මාන උළෙලේ දී පාරිභෝගික බැංකුකරණයේ 2023 ශ‍්‍රී ලංකාවේ වසරේ බැංකුව ලෙසත්, Asiamoney මඟින් 2023 වසරේ හොඳම ආයතනික බැංකුව ලෙසත් NDB බැංකුව නම් කරන ලද අතර, LMD ශ‍්‍රී ලංකා ප‍්‍රකාශනයේ වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වලට අනුව 2022 වසරේදී අඛණ්ඩව දෙවන වරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත‍්‍ර වූ ආයතනය ලෙසත් නම් කරන ලදී.  ඇමෙරිකා එක්සත් ජනපදයේ Global Finance සහ Euromoney ආයතන මඟින් සංවිධානය කල වාර්ෂික බැංකු සම්මාන වැඩසටහන්වල දී NDB බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස සම්මානයට පාත‍්‍රවිය. මෙයට අමතරව, ඇමෙරිකා එක්සත් ජනපදයේ Great Place to Work විසින් NDB  බැංකුව 2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන 50 අතරට නම් කරන ලදී. NDB බැංකුව, NDB සමූහයේ මවු ආයතනය වන අතර, බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ තුළ අද්විතීය සේවාවන් සපයන NDB සමූහය ප‍්‍රාග්ධන වෙළඳපොළ ආශ‍්‍රිත අනුබද්ධිත ආයතන රැසකින් සමන්විත වේ. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවාවන් හරහා රටත් ජනතාවත් සවිබල ගැන්වීම උදෙසා NDB බැංකුව නිබඳවම කැපවී සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close