July 27, 2024
කොමර්ෂල් බැංකුව හා හේලීස් සෝලා වෙතින් විකල්ප බලශක්ති භාවිතා කරන ව්‍යාපාරවලට විශේෂ දීමනා
පුවත්

කොමර්ෂල් බැංකුව හා හේලීස් සෝලා වෙතින් විකල්ප බලශක්ති භාවිතා කරන ව්‍යාපාරවලට විශේෂ දීමනා

Jan 30, 2024

කොමර්ෂල් බැංකුව සහ හේලීස් ෆෙන්ටන්ස් ආයතනයේ පුනර්ජනනීය බලශක්ති අංශය වන හේලීස් සෝලා අතර ඇති කරගත් සහයෝගීතාවයක ප්‍රතිඵලයක් ලෙස, ජාතික විදුලිබල පද්ධතියෙන් ලබා ගන්නා බලශක්තියට සාධනීය විකල්ප සොයන ව්‍යාපාර වලට සූර්ය බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට යෝග්‍ය අවස්ථාවක් ලැබී තිබේ.

මෙම ආයතන දෙක විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් හරහා බැංකුවේ ‘දිරිබල හරිත සංවර්ධන ණය’ යෝජනා ක්‍රමය යටතේ හේලීස් සෝලා වෙතින් සූර්ය බලශක්ති පද්ධති මිලදී ගැනීම සඳහා ව්‍යාපාරවලට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් සමඟින් සහනදායී කොන්දේසි පිරිනැමීමට කොමර්ෂල් බැංකුව බැඳී සිටියි.

කොමර්ෂල් බැංකුව සහ හේලීස් සෝලා විසින් මෙම ප්‍රවර්ධන කාල සීමාව තුළදී ප්‍රකාශිත අනුපාතයට වඩා 1%ක අඩු පොලී අනුපාතයකට දිරිබල හරිත සංවර්ධන ණය ලබා දෙනු ඇත. තවද, ඒ සමඟ ම මිලදී ගැනීමේ වටිනාකම මත 10%ක මුදලක් ගැනුම්කරුවන්ගේ ණය ගිණුම්වලට ආපසු ගෙවීමක් ද සිදු කෙරේ. එමගින් ණය වාරික පියවීමේ දී ගණුදෙනුකරුවන්ට සහනයක් ලබාදීම සහ ආයෝජනය නිසා මුදල් ප්‍රවාහය මත පැටවෙන බර ලිහිල් කර දීම බලාපොරොත්තු වේ.

ව්‍යාපාර වල නිරත තනි පුද්ගලයින්ට, ව්‍යාපාර හිමිකාරීත්වයට, හවුල්කාරීත්වයට සහ සියළුම ව්‍යාපාර අංශවල සීමා සහිත සමාගම්වලට කොමර්ෂල් බැංකුවේ දිරිබල හරිත සංවර්ධන ණය හරහා රුපියල් මිලියන 250 ක් දක්වා ණය ලබාගත හැකියි. ව්‍යාපාරික ස්ථානවල වහල මත සූර්ය පැනල සවි කිරීමට, වාණිජ පරිමාණයෙන් වහල මත සවි කරන සූර්ය බලශක්ති ව්‍යාපෘති වලට සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් නම් එහි නේවාසික ගොඩනැගිලිවල, සූර්ය පැනල සවි කිරීමට යන අවශ්‍යතාවයන් සඳහා මෙහිදී ණය ලබා දෙයි.

ශ්‍රී ලංකාවේ අංක එකේ සූර්ය පැනල ඉංජිනේරු, ප්‍රතිසම්පාදන, සහ ඉදිකිරීම් ආයතනය වන හේලීස් සෝලා, මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය ඉදිරියට රැගෙන යාමේ කටයුත්තෙහි සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත. ආයතනය විසින් වහල මත සවි කරන ලද සූර්ය පැනල මගින් මේ වන විටත් 150 MWp ටත් වඩා වැඩි සූර්ය බලශක්ති උත්පාදනය කරයි. මෙම ආයතනය විවිධ ගෘහස්ථ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, වාණිජ හා කාර්මික අවශ්‍යතා සඳහා පුනර්ජනනීය බලශක්ති විසඳුම් ලබාදීම සහ බලශක්තිය ගබඩා කිරීමේ පද්ධති සවි කිරීම ආදී කටයුතු සඳහා විශේෂීකරණය වූ ආයතනයකි. ඔවුන්ගේ සේවාවන් අඛණ්ඩ සූර්ය බලශක්ති විසඳුම් ලබා දීමේ සිට සම්පූර්ණ පද්ධතිය සවි කිරීම, අලෙවියෙන් පසු සේවාව සහ නඩත්තු සේවා සැපයීම දක්වා විහිදේ.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *