July 27, 2024
ඔබේ කාලය වඩාත් වැඩදායී හා කාර්යක්ෂම බවට පත් කර දෙන මෙවලම් හඳුන්වා දුන් Microsoft Ignite 2023
පුවත්

ඔබේ කාලය වඩාත් වැඩදායී හා කාර්යක්ෂම බවට පත් කර දෙන මෙවලම් හඳුන්වා දුන් Microsoft Ignite 2023

Dec 20, 2023

Microsoft සමාගම විසින් වාර්ෂිකව පවත්වනු ලබන තාක්ෂණික සම්මන්ත්‍රණයක් වන Microsoft Ignite 2023 ඔස්සේ නව අදහස් සහ නව තාක්ෂණයන් තුළින් ඇති නව ප්‍රවණතා පිළිබඳව අදහස් දක්වන ලදී.එහි දී, කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම් මගින්, මේ වන විටත් මිනිසාගේ රැකියාවන් වඩාත් පහසු කර දී ඇති බව පැහැදිලි විය.

කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ තත්වය එසේ වුවත්, සැබැවින්ම අප එදිනෙදා කටයුතු සඳහා භාවිතයට ගන්නා සියලුම ඩිජිටල් මෙවලම් සමගින් අපගේ ජීවිතය කලබලකාරිවී නොමැති දැයි අප විමසිය යුතු වේ. අප දවසේ සියලුම නියමිත වැඩ රාජකාරි ඉෂ්ට කර ගත්තද, අපට දවස අවසානයේදී වෙහෙසකර අපේක්ෂා භංගත්වයක් දැනේ. මේ තත්ත්වය Digital debt යනුවෙන් හැඳින්වේ.

Digital debt යන්නෙහි අරුත වන්නේ, ඊමේල්ස්, චැට් පර්යන්තයන්, වීඩියෝ හමුවීම්, නැතිනම් ඩිජිටල් සිහිකැඳවීම් වැනි දිනෙන් දින ඉහළ යන ඩිජිටල් සන්නිවේදනයන් හා ඩිජිටල් තොරතුරු සමුදාය තුළ ඕනෑම අයකු ගිලී යෑමට හැකිවීමයි. අපගේ කාර්‍යයන් පහසු කර දීමට බොහෝ ඩිජිටල් මෙවලම් තිබෙන අතර, එම ඩිජිටල් මෙවලම් වඩාත් කාර්යක්ෂම ලෙසින් සහ වෙහෙසකින් තොරව භාවිතා කිරීමට Generative AI ඉඩ සලසා දෙනු ඇත. Microsoft Ignite 2023 තුළ ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට, පාර්ශවකරුවන්ට මෙන්ම මෘදුකාංග සංවර්ධකයින් හට ද ප්‍රයෝජනවත් වන තොරතුරු ඉදිරිපත් විණි.

ආසියා-ශාන්තිකර කලාපය ගත් විට, සමස්තයක් වශයෙන් දවසේ කාලයෙන් 28% ක් පමණ තොරතුරු සෙවීමටත්, කාලයෙන් 25% ක් තොරතුරු පරිභෝජනයට ගතවන බවත්, එහෙත් පොදුවේ අප දිනපතා උකහා ගන්නා තොරතුරුවලින් 48%ක් පමණක් අපගේ රැකියාවන්හි කාර්යයන් සඳහා අදාළ වන බවත් Microsoft සිදුකළ පර්යේෂණයක වාර්තාවකින් හෙළි වී ඇත.

එසේනම්, ඔබට දිනකට වැඩ කිරීමට ඇති කාලය, වඩාත් කාර්යක්ෂම ලෙස යොදවා ගැනීමට ත්, වඩාත් නිර්මාණාත්මක, ඵලදායි, ගැඹුරු කාර්යයන් සඳහා ඔබේ කාලය යොදවමින්, දවස අවසානයේ මානසික වෙහෙසකින් තොරව, ඔබ ඉටුකළ කාර්යයන් සම්බන්ධයෙන් තෘප්තිමත් වීමට AI තාක්ෂණයන් උපයෝගී කර ගැනීමට හැකියාව ඇත.

Microsoft Ignite 2023, ඒ සම්බන්ධයෙන්, ධනාත්මක පිළිතුරක් ලබා දෙයි. මෙයට මාස 8 කට පමණ පෙරාතුව Microsoft 365 වෙත හඳුන්වා දුන්, කෘත්‍රිම බුද්ධියෙන් නැතහොත් Generative AI වෙතින් බලගැන්වෙන Copilot මුල පිරුම, ඔබ දිනපතා භාවිතා කරන Word, Excel, PowerPoint, Outlook, Teams වැනි Microsoft 365 යෙදුම් හා එක්ව කටයුතු කරමින්, ඔබ නැවත නැවතත් කළ යුතු කාර්යයන් සඳහා ගතවන කාලය කපා හැර, ඔබට වඩාත් වැඩි කාර්යක්ෂමතාවයකින්, නිර්මාණශීලීත්වයකින් වැඩ කරන්නට සහ ඔබේ කුසලතා වැඩි දියුණු කරගන්නට කාලය ඉතිරි කර දෙනු ඇත.

මූලිකවම මෙතෙක් Copilot භාවිතා කළ පරිශීලකයන්ගේ අත්දැකීම් විශ්ලේෂණය කර බැලීමේදී හෙළි වූ සතුටට පත්විය හැකි කාරණා කිහිපයකි. සමස්තයක් වශයෙන් ලොව පුරා පරිශීලකයන්ගෙන් 70% ක් පවසා සිටියේ Copilot සමගින් ඔවුන්ගේ වැඩ කාර්යක්ෂමතාවය වැඩි වූ බවයි. 68% ක් වූ පරිශීලක පිරිසක්, Copilot තමන්ගේ කාර්යයන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවූ බව කියා සිටියහ. ඊට අමතරව, ආසියා-ශාන්තිකර කලාපයේ 76% ක් දෙනාට තමන් ට අවශ්‍ය කරන තොරතුරු සොයා ගැනීම සඳහා Generative AI වෙතින් මහත් පිටිවහලක් ලැබුණු බව ද පැහැදිලි විය.

Generative AI හැකියාවන්ගෙන් බලගැන්වෙන Copilot ඔස්සේ, පරිශීලකයන්ගේ කාර්යක්ෂමතාවය, වැඩ කිරීමේ වේගයත්, එලෙසින්ම ඔවුන් කරන කාර්‍යයන්ගේ ගුණාත්මකභාවයත්, නිර්මාණශීලීත්වය ත් වැඩිදියුණු වූ බව මොනවට පැහැදිලි වී ඇත. උදාහරණයක් ලෙසට, ඉතා හොඳ පළමු පිටපතක් වඩාත් ඉක්මනින් සකසා ගැනීමේ හැකියාව දියුණු වූ බව 71% ක් දෙනා පවසා තිබේ.

කෙසේ වුවත්, Copilot වෙතින් සිදු කළ හැකි කාර්යයන්ගේ ආරම්භය පමණක් බව අවධාරණය කළ යුතු වේ. අනාගතයේ දී ඒකපුද්ගල කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම පමණක් නොව, මුළු මහත් සමාගමකම හෝ සංවිධානයකම බර දැරීම දක්වා Copilot දියුණු වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *