July 27, 2024
Microsoft 2024 Imagine Cup ශ්‍රී ලංකාවේ දියත් කෙරේ
පුවත්

Microsoft 2024 Imagine Cup ශ්‍රී ලංකාවේ දියත් කෙරේ

Dec 13, 2023

Microsoft AI තාක්ෂණයේ බලය ඵලදායී ලෙස යොදාගැනීමට බලාපොරොත්තු වන දූරදර්ශී ව්‍යවසායක ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ක්‍රියාවට නංවන, අලුතින් ආරම්භ වන තාක්ෂණික ව්‍යාපාර දිරිගන්වන ගෝලීය තරගයක් වන Microsoft Imagine Cup හි 2024 ශ්‍රී ලංකා අදියර දියත් කෙරෙන බව පසුගියදා නිවේදනය කරන ලදි. Microsoft’s Imagine Cup මෙවර පැවැත්වෙනුයේ 22 වැනි වරට ය. වර්තමානයේ පවතින වඩාත්ම කාලීන දේශීය හා ජාත්‍යන්තර ගැටලු විසඳීම සඳහා තාක්ෂණික විසඳුම් නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දෙන මෙම තරගය තුළදී මෙවර නැවතත් AI කෙරෙහි වැඩි අවධානයක් යොමු වනු ඇත. මෙම තරගයට සහභාගී වීම මගින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අති-නවීන AI තාක්ෂණය භාවිතා කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 1,000 කට සමාන Azure Credits සහ ඇමරිකානු ඩොලර් 2,500 කට සමාන OpenAI Credits සමග, තම AI ඉදිරි ගමන වේගවත් කිරීම සඳහා විශේෂඥ මගපෙන්වීමක් සහ ව්‍යවසායකත්ව උපදේශන සහයක්ද හිමි වේ. මීට අමතරව ඔවුන්ට ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලක් දිනාගැනීමටත්, Microsoft සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Satya Nadella සමග උපදේශන සැසියකට සහභාගී වීමටත් අවස්ථාව ලැබෙනු ඇත.

දශක දෙකකට අධික කාලයකට පෙර මෙම තරගය ආරම්භ වූ දා පටන් මේ දක්වා, ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙහි ලෝක අදියරේ අවසන් වටයට පැමිණීමටත්, ආසියානු කලාපයේ ජයග්‍රහණ හිමිකර ගැනීමටත් සමත් වී තිබේ. මෙම වසරේදී, සුදුසුකම් ලැබීමේ අදියර සාර්ථක ලෙස සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඔවුන්ට එහි ඊළඟ අදියර කරා පිවිසීමට හැකි වනු ඇත. Imagine Cup තරගකරුවෙකු හෝ තරගකාරියක ලෙස ඔවුන්ට Microsoft for Startup Founders Hub සමග සම්බන්ධ වීමට හැකි වේ. Microsoft for Startup Founders Hub යනු නොමිලේ සහය හා මගපෙන්වීම් මෙන්ම Azure හරහා ප්‍රධානතම AI මාදිලි වන OpenAI GPT-3.5 Turbo සහ GPT-4, Llama 2 from Meta, ආදියෙන් ප්‍රයෝජන ලබමින් නිර්මාණශීලී අදහස් සාර්ථක ව්‍යාපාරයන් බවට පරිවර්තනය කිරීමට උපකාරී වන පදනමකි.

තරගය පිළිබඳව අදහස් දක්වමින්, Microsoft සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා මෙසේ පැවසී ය. “ශිෂ්‍ය ව්‍යවසායකයින්ට පුළුල් ලෙස සිතීමට, හැකියාවන් ගවේෂණය කිරීමට සහ ලෝකයේ කාලීන ගැටලු විසඳීමට නිර්මාණාත්මක අදහස් ඉදිරිපත් කිරීමට බලගැන්වීම සඳහා අපගේ කැපවීම පෙන්වමින් Microsoft Imagine Cup ශ්‍රී ලංකාවේ දියත් කිරීමට ලැබීම අපට මහත් සතුටක්. මෙවර තරගයේදී අවධානය යොමුවන්නේ AI සම්බන්ධවයි. රටේ නව පරපුරේ ව්‍යවසායකයන්ට සමාජයේ යහපතට සක්‍රීයව දායක වීමට මෙමගින් අවස්ථාව ලැබෙනවා. මෙහිදී නිසැකවම කරළියට එනු ඇතැයි සිතෙන නවෝත්පාදන හා නිර්මාණාත්මක හැකියාවන් දැකබලා ගැනීමට මා බලා සිටින්නේ ඉමහත් උනන්දුවෙන්. රට නියෝජනය කිරීමට ලැබෙන මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින්, ලෝක ශූරතාව ජයගැනීමට උත්සාහ කරන මෙන් මා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා සිටිනවා.”

මෙම තරගය මෙරට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ජාත්‍යන්තර වශයෙන් තරග වැදීමටත්, දේශීය වශයෙන් ඇගයීමට ලක්වීමටත් ලැබෙන අගනා අවස්ථාවක් වනු ඇත. අදියර හතරක් යටතේ තරගය පැවැත්වෙන අතර, සුදුසුකම් ලැබීමේ අදියර දැනටමත් ආරම්භ වී ඇති අතර එය ජනවාරි 24 දින දක්වා පැවැත්වේ. මින් අනතුරුව Minimal Viable Product (MVP) අදියර (ජනවාරි 26 – පෙබරවාරි 9), අර්ධ අවසන් තරග (පෙබරවාරි 23 – අප්‍රේල් 12) සහ ලෝක ශූරතාව (අප්‍රේල් 26 – Build) යන අදියර පැවැත්වීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *