July 27, 2024
ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීමට හේමාස් සමූහ ව්‍යාපාරය ලංකා සතොස සමග අත්වැල් බැඳගනී
පුවත්

ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය අවම කිරීමට හේමාස් සමූහ ව්‍යාපාරය ලංකා සතොස සමග අත්වැල් බැඳගනී

Oct 27, 2023

පරිසර කළමනාකාරීත්වය වෙනුවෙන් සැළකිය යුතු ඉදිරි පියවරක් තබමින් උග්‍රවන ප්ලාස්ටික් ගැටලුවට විසඳුම් සෙවීමත් ප්‍රාදේශීය ප්‍රජාවන් තුළ තිරසාර ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමත් සඳහා හේමාස් සමූහ ව්‍යාපාරය පසුගියදා ලංකා සතොස ආයතනය සමග විශේෂ හවුල්කාරීත්වයකට එළැඹුණේ ය.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands) සමාගමේ අලෙවි කණ්ඩායමෙහි මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ, ලංකා සතොස ශාඛාවලදී තෝරාගත් හේමාස් නිෂ්පාදන මිලදීගන්නා පාරිභෝගිකයන්ට නැවත භාවිතා කළ හැකි පරිසර හිතකාමී බෑග් නොමිලේ හිමි වනු ඇත.

මෙහි මුල් අදියරේදී ලංකා සතොස ශාඛා 440 කට පරිසර හිතකාමී බෑග් 40,000 ක් ලබාදීමට හේමාස් සමූහය අපේක්ෂා කරයි. ලංකා සතොස අලෙවිසැල්වල පාරිභෝගිකයන් සංඛ්‍යාව මත පදනම්ව විධිමත් ක්‍රමවේදයක් යටතේ මෙම බෑග් බෙදාහැරීම සිදුකෙරේ.  

මෙම බෑග් නැවත නැවත භාවිත කිරීමට පාරිභෝගිකයන් යොමු කරවමින් එලෙස භාවිත  කරන පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ හා වට්ටම් ලබා දීම සඳහා බෑග් මත විශේෂ බාර්කෝඩයක් ද මුද්‍රණය කර තිබේ. ප්‍රජාවන් අතර තිරසාර පුරුදු වර්ධනය කිිරීම මෙලෙස මෙම බෑගයන් නැවත නැවත භාවිතයට හුරු කිරීමේ අරමුණ වෙයි.

මීට අමතරව, විධිමත් ලෙස ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම දිරිගැන්වීම සඳහා ලංකා සතොස අලෙවිසැල්වල ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ කසළ බඳුන් රැඳවීමටද දෙපාර්ශ්වය පියවර ගෙන තිබේ. මෙම බඳුන් තුළට ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කරන පාරිභෝගිකයන්ට කූපන්පත් හිමි වන අතර, මාසික දිනුම් ඇදීමක් මගින් ඔවුන්ට ත්‍යාග පිරිනැමීමක්ද සිදුකෙරෙනු ඇත.

“හේමාස් සමූහය ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමට දායක වීම තම වගකීමක් ලෙස සලකනවා. ලංකා සතොස සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, ජනතාව දැනුවත් කරමින් සහ ඔවුන් තුළ යහපත් පුරුදු ඇතිකරමින්, තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා ගත් වැදගත් ඉදිරි පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. පරිසර හිතකාමී පුරුදු අනුගමනය කරන පාරිභෝගිකයන්ට ත්‍යාග පිරිනැමීම තුළින් ඔවුන්ගේ පරිභෝජන රටාවන් වෙනස් කරමින්, පරිසරය වඩාත් යහපත් කිරීමට දායක වීමට අපට හැකි වනු ඇතැයි අප විශ්වාස කරනවා.” හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පැවසුවා ය.

“ජනතාව අතර තිරසාර පුරුදු ප්‍රවර්ධනය කිරීමට අප කැප වී සිටිනවා. හේමාස් සමූහය සමග ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, ඒ සඳහා අප තැබූ තවත් වැදගත් ඉදිරි පියවරක්. මෙම වැඩසටහන බිම් මට්ටමින් සාර්ථක කරගැනීම සඳහා ලංකා සතොස ජාලය තුළින් වැදගත් කාර්යභාරයක් ඉටු වනු ඇතැයි මා සිතනවා.” ලංකා සතොස ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පැවසී ය.

මෙම හවුල්කාරීත්වය, පාරිභෝගිකයන් විසින් බැහැර කරන ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කරමින් දේශීය ප්‍රජාවන් තුළ තිරසාර පුරුදු ප්‍රවර්ධනය කිරීම සඳහා හේමාස් සමූහය ක්‍රියාවට නංවා ඇති පරිසර හිතකාමී න්‍යාය පත්‍රයේ තවත් වැදගත් පියවරකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *