May 29, 2026
Global Unites සංවිධානය ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය, යුක්තිය සහ සමගිය වෙනුවෙන් නව ජාතික තරුණ ප්‍රතිපත්ති වැඩපිළිවෙලක් අරඹයි
පුවත්

Global Unites සංවිධානය ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය, යුක්තිය සහ සමගිය වෙනුවෙන් නව ජාතික තරුණ ප්‍රතිපත්ති වැඩපිළිවෙලක් අරඹයි

May 29, 2026

Global Unites සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ ජාතික සමගිය, සාධාරණත්වය, සමාජ සහජීවනය සහ තරුණ සංවර්ධනය ඇති කිරීම අරමුණු කරගත් තරුණ ප්‍රතිපත්ති වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු කරන ලදී.  රටපුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති මෙම වැඩපිළිවෙල පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාව පසුගියදා කොළඹදී පැවැත්විණ.

මෙම වැඩපිළිවෙල මගින් විවිධ ජාතීන්ට, ආගම්වලට සහ දේශපාලන පක්ෂවලට අයත් වයස අවුරුදු 45ට අඩු තරුණ නායකයින් එක් කරමින් රටේ අනාගතය සඳහා නව ජාතික සැලැස්මක් සකස් කිරීමට Global Unites කටයුතු යොදා ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ රට තුළ වෙනසක් ඇති කිරීම වෙනුවෙන්  තරුණ පරපුරේ හඬට ප්‍රමුඛතාවක් ලබා දීමයි.

ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සාධාරණ සහ යුක්තිගරුක අනාගතයක් ගොඩනැගීමේ අරමුණින්, පුළුල් පර්යේෂණ සහ තරුණ අදහස් උපයෝගී කරගෙන සකස් කරන ලද නව ප්‍රතිපත්තිමය යෝජනා මාලාවක් මෙම මාධ්‍ය සාකච්ඡාවේදී ඉදිරිපත් කිරීමට Global Unites කටයුතු කරන ලදී.

ප්‍රධාන ජාතික ප්‍රමුඛතා තුනක් මුල් කර ගනිමින් සකස් කර ඇති මෙම යෝජනාවන්හි පළමුවැන්න වන්නේ තරුණ සංවර්ධනය සහ ප්‍රගතියයි. මේ තුලින් තරුණ පරපුර මුහුණ දෙන මූලික ගැටලුවලට දිගුකාලීන විසඳුම් සෙවීම, අධ්‍යාපන, රැකියා සහ ව්‍යවසායකත්ව අවස්ථා පුළුල් කිරීමට බලාපොරොත්තු වේ.  එමෙන්ම, තරුණයින් ලෝකය සමඟ සම්බන්ධ , නායකත්ව ලක්ෂණ සහිත, නවෝත්පාදක පිරිසක් බවට පත් කිරීමද මෙහි තවත් අරමුණක් වේ.

දෙවැනි ප්‍රමුඛතාව වන්නේ ජාතික සමගිය, යුක්තිය සහ සමාජ සහජීවනයයි. සියලු දෙනාට පොදු ශ්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩනැගීම, විවිධ ජාතීන් හා ආගම් අතර විශ්වාසය ශක්තිමත් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව මෙහිදී අවධානයට යොමු වනු ඇත. අනාගත පරපුර වෙනුවෙන් සාමකාමී, සාධාරණ සහ සමෘද්ධිමත් සමාජයක් බිහිකිරීම මෙහි අරමුණයි.

තෙවැනි ප්‍රමුඛතාව වන්නේ ඓතිහාසික ගැටලු සහ ව්‍යුහාත්මක අසමානතා සඳහා විසඳුම් සෙවීමයි. අතීතයේ සහ වර්තමානයේ පවතින වෙනස්කොට සැලකීම්, කොන්කිරීම් සහ අසමානතාවලට සාර්ථකව මුහුණ දීම සඳහා පරිවර්තනීය වැඩපිළිවෙලක් හඳුන්වා දීම මෙහිදී සිදු වේ.  සියලු ජන කොටස්වලට සමාන අවස්ථා ලබා දීම, සාධාරණත්වය, ගෞරවය සහ රට පිළිබඳ අයිතිවාසිකමක් ලබාදීම මෙහි මූලික අරමුණයි.

Global Unites සංවිධානය ශ්‍රී ලංකාව පුරා සිටින තරුණ තරුණියන්ගේ අදහස් ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය මට්ටමේ සාකච්ඡා මාලාවක් සහ ජාතික තරුණ සමීක්ෂණයක් ආරම්භ කරන බව ද මෙහිදී සඳහන් කරන ලදී. මෙම සමීක්ෂණය මගින් තරුණ පරපුරේ බලාපොරොත්තු, ගැටලු, රැකියා සහ සමාජ සහජීවනය පිළිබඳව අදහස් ලබා ගැනීමට අදහස් කරනු ලබයි. 

තරුණ හඬ අවදි කිරීම සඳහා Platform Next Gen නමින් ජාතික කථික තරඟාවලියක් සහ රටේ පරිවර්තනය පිළිබඳ විවිධ ශ්‍රී ලාංකික අදහස් ඇතුළත් “මගේ රට” නමින් සම්මුඛ සාකච්ඡා මාලාවක්  හඳුන්වා දීමටද Global Unites මෙහිදී කටයුතු කරන ලදී. මීට අමතරව, ප්‍රචාරණ, මාධ්‍ය, පර්යේෂණ සහ තරුණ සහභාගීත්ව කටයුතු සඳහා ස්වේච්ඡා සේවකයන්ට සහ හවුල්කරුවන්ට එක්වීමට ඇති අවස්ථා ද ප්‍රකාශයට පත් කෙරිණි.

මෙම ක්‍රියාවලිය අවසානයේදී, සකස් කරන ලද අවසන් ප්‍රතිපත්තිමය යෝජනාවලිය ජනාධිපති, අගමැති, අධිකරණ අමාත්‍ය, තරුණ කටයුතු අමාත්‍ය, විපක්ෂ නායක ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ නායකයින් වෙත නිල වශයෙන් පිළිගැන්වීමට නියමිතය. මීට අමතරව, මෙම යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, යුක්තිය සහ තරුණ සංවර්ධන කටයුතු සඳහා සහයෝගය දක්වන ජාත්‍යන්තර හවුල්කරුවන් වෙත ද ලබාදීමට නියමිතය. 

Global Unites සංවිධානයේ සභාපති සහ නිර්මාතෘ ප්‍රශාන් ඩි විසර් මහතා සඳහන් කර සිටියේ සාධාරණ, යුක්තිගරුක සහ සාමකාමී ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම උදෙසා පොදු දැක්මක් සහිත ප්‍රතිපත්තිගරුක නායකයින් සහ තරුණ පරපුර එක් කිරීමට මෙම වැඩපිළිවෙල මගින් සුවිශේෂී අවස්ථාවක් උදා වන බවයි.

තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී තරුණ පරපුරට අවස්ථාව සහ අයිතිය ලබා දීමෙන් පමණක් රටේ සැබෑ වෙනසක් ඇති කළ හැකි බව අවධාරණය කළ ඒ මහතා සඳහන් කර සිටියේ තවද, සියලු දෙනා ඇතුළත් වන සංවාද, ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සහ දිගුකාලීන සංහිඳියාවක් සඳහා තිරසාර මාවතක් නිර්මාණය කිරීම සඳහා මෙම වැඩපිළිවෙල සකස් කර ඇති බවයි.

මෙම තරුණ ජාතික ප්‍රගතිශීලී ව්‍යාපාරය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස මාධ්‍යවේදීන්, සිවිල් සංවිධාන නියෝජිතයින්, තරුණ නායකයින්, සංවර්ධන හවුල්කරුවන් සහ උනන්දුවක් දක්වන සියලුම පාර්ශවකරුවන්ට Global Unites සංවිධානය ආරාධනා කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close