July 27, 2024
පිරිවැය සහ කාබන් ප්‍රමාණය පහත හෙළමින්  ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කර්මාන්ත භාවිත කරන බලශක්ති ප්‍රමාණය අඩුකරයි
පුවත්

පිරිවැය සහ කාබන් ප්‍රමාණය පහත හෙළමින්  ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ කර්මාන්ත භාවිත කරන බලශක්ති ප්‍රමාණය අඩුකරයි

Nov 19, 2023

ශ්‍රී ලංකාවේ විශාල ලෙස බලශක්ති භාවිතකරන කර්මාන්ත ක්ෂේත්‍රය, බලශක්ති උපදේශකවරුන් සහ අදාළ රජයේ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නියෝජිතයෝ 45 දෙනෙක් අන්තර්ජාතික වශයෙන් පිළිගත් වසරක බලශක්ති කළමනාකරණ පාඨමාලාවක් සාර්ථකව නිමකරති. මෙම පාඨමාලාවේ කොටසක් ලෙස ඔවුන් ක්‍රියාවට නැංවූ බලශක්ති කළමනාකරණ සැලසුම් මගින් දැනටමත් හරිතාගාර වායු විමෝචන මෙට්රික් ටොං 7200 ක් ඉතිරිකර ඇති අතර එය වසරක කාලයක් සඳහා පැට්රල් මෝටර් රථ 1,000 කට වැඩි සංඛ්‍යාවක් මාර්ගවලින් ධාවනයෙන් ඉවත්කිරීමට සමානය.

ශ්‍රි ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ බලශක්ති කාර්යක්ෂමතාවයේ නව යුගයක් උදාකරමින්, ශ්‍රි ලාංකික බලශක්ති කළමනාකරණ පද්ධති පුහුණුලාභීන් 45 දෙනෙකුගෙන් සමන්විත ප්‍රථම කණ්ඩායමට උපාධි සහතික ප්‍රදානය කිරීම උත්සවාකාරයෙන් ඊයේ සිදුකෙරිණ. යුරෝපීය සංගමය ආධාර සපයන ‘ශ්‍රි ලංකාවේ කර්මාන්ත දක්වන දේශගුණ ප්‍රතිචාරය කඩිනම්කිරීම’ (‘Accelerating Industries’ Climate Response in Sri Lanka’)  ව්‍යාපෘතියේ ආධාර ඇතිව ක්‍රියාත්මක මෙම ප්‍රයත්නය ජාතික බලශක්ති සුරක්ෂිතතාවය වැඩිදියුණුකිරීමට සහ ඉදිරි වසරවලදී දේශගුණ අංශයෙන් ශ්‍රි ලංකාවට ඇති  ඉලක්ක සපුරා ගැනීමට පිටිවහලක් වෙයි.

“කර්මාන්ත අංශය අපගේ ආර්ථිකයේ එක් ප්‍රතිෂ්ඨාවකි” ප්‍රධාන ආරාධිතයා වූ කර්මාන්ත ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ  මහතා පැවසීය. “අප මෑතදී මුහුණදුන් බලශක්ති අර්බුදය සහ ගෝලීය දේශගුණ අර්බුදය මගින් අපට පැහැදිලිව පෙන්වා දී ඇත්තේ අප පොසිල ඉන්ධන වෙනුවට විකල්ප සොයා ගත යුතු බවයි. මේ හේතු නිසා මම අපගේ නිෂ්පාදන අංශයේ විශාල ආයතනවලින් සමහරක් බලශක්ති අපතේයාම අඩුකරගැනීමට පියවර ගෙන ඇති ආකාරය දැකගැනීමට මහත් කැමැත්තකින් පසුවුනෙමි. මෙය රටේ පවිත්‍ර බලශක්ති විසඳුමෙහි වැදගත් කොටසක්”.

යුරෝපීය සංගමයේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ තානාපති කාර්මෙන් මොරෙනෝ මහතා කතාකරමින් “බලශක්ති අර්බුදයේ භූ-දේශපාලනයෙන් විශාල ලෙස පොසිල ඉන්ධන යොදාගන්නා රටවල් පීඩාවටපත්වීමේ අවදානමට පත් කර ඇත. ශ්‍රි ලංකාව මෙන්ම ලොවපුරා රටවලට හරිත සහ පුනර්ජනනීය බලශක්තියට මාරුවීමට අවශ්‍යව ඇත. යුරෝපීය සංගමයට ඉතා වැදගත් අත්දැකීම් සහ දැනුම බෙදාගැනීමට ඇති එක් ක්ෂේත්‍රයක් වන්නේ මෙයයි. හරිතාගාර වායු විමෝචන අඩුකරන සහ ජීවිතයේ ගුණාත්මකබව වැඩිකරන පවිත්‍ර බලශක්තියට මාරුවීම අපගේ ඉහළ ප්‍රමුඛතාවන් අතර පවතින විෂයයකි. ඒ නිසා අප මෙවැනි ව්‍යාපෘතිවලට ආධාර සපයන අතර  මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරමුණෙහි පසුවන ආයතන ප්‍රායෝගික නිපුණතා අත්කරගනිමින්  ඒවායේ බලශක්ති කාර්යක්ෂමතාව උදෙසා ඉදිරියට පියවරතැබීම ගැන අපි සතුටට පත්වෙමු ”.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයට ප්‍රයෝගික තාක්ෂණය සහ කළමනාකරණ පිලිවෙත් යොදාගැනීමෙන් කාර්මික බලශක්ති අපතේයාම සැලකිය යුතු මට්ටමකින් අඩුකරගැනීමේ හැකියාව ඇත. මෙම සක්‍යතාවයෙන් ඵලනෙලා ගැනීම පිණිස, ගතවූ 12 මාසයක කාලය තුළ, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ ප්‍රධාන පුහුණුකරුවන් දෙදෙනෙකු විසින් ජාතික පිවිතුරු නිෂ්පාදන මධ්‍යස්ථානයේ සහයෝගය  ඇතිව, බලශක්ති කළමනාකරණ පද්ධති  (EnMS  ) පිළිබඳ මෙම අන්තර්ජාතික වශයෙන් පිළිගත්  පුහුණු පාඨමාලාව හැදෑරූ පළමු කණ්ඩායමට මගපෙන්වන ලදී.

“කර්මාන්තශාලාවක, බලශක්ති කළමනාකරණ පද්ධති මගින් බලශක්ති සංරක්ෂණය කෙරෙහි පමණක් නොව,බලශක්තිය ඉතිරිකරගත හැකි සහ වායු විමෝචන අඩුකරගත හැකි ක්‍රියාමාර්ගවලට සැමගේ අවධානය යොමුකරවයි. පොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත්වීමේ ගමන ආරම්භවන්නේ එතැනිනි” යනුවෙන් එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ ව්‍යාපෘති කළමනාකරු නිකලස් ඩෙහොඩ් මහතා ප්‍රකාශ කළේය.

මෙම පාඨමාලාවෙන් ගෝලීය ප්‍රශස්ත භාවිතයන් ආවරණය කළ අතර,පාඨමාලාව හැදෑරූ පිරිස පංති කාමරයට සීමා නොවී ඔවුන්ගේ වැකරන ස්ථානකරා ගොස් ඔවුන්ගේ සමාගමේ අවශ්‍යතාවන්ට සරිලන ලෙස බලශක්ති කළමනාකරණ පද්ධති සංවර්ධනය කිරීමෙහිද යෙදුනහ.

දිගුකාලීන වශයෙන්, මෙම ව්‍යාපෘතියට සම්බන්ධ සමාගම් දැනටමත් සිය බලශක්ති බිල්පත 25% ක් දක්වා අඩුකරගැනීමේ මාවතට පිවිස සිටී. මේ අතර බලශක්ති අපතේයාම අඩුකරගත හැකි සහ මුදල් ඉතිරි කරගත හැකි ආකාරය ගැන තවත් සමාගම්වලට උපදෙස්දීමට හැකි බලශක්ති උපදේශකයෝ පිරිසක් දැන් ශ්‍රි ලංකාවේ  සිටිති.

බලශක්ති කළමනාකරණ පද්ධති පිළිබඳ පුහුණුව ලබාගැනීමට දක්වන උනන්දුව වැඩිවෙමින් තිබෙන හෙයින් මෙම ව්‍යාපෘතියෙන් තවත් පුහුණු පාඨමාලා පිරිනමන අතර මීළඟ පාඨමාලාව 2024 මුලදී ආරම්භ කිරීමට නියමිතය.

මෙම EnMS පුහුණුව සැපයීම ‘ශ්‍රි ලංකාවේ කර්මාන්ත දක්වන දේශගුණික ප්‍රතිචාරය කඩිනම්කිරීම’ ව්‍යාපෘතියේ කොටසකි. මෙම පස් අවුරුදු සහ යුරෝ මිලියන 7.56 ක මූලාරම්භ වැඩසටහනට යුරෝපීය සංගමයේ Global Climate Change Alliance+ (GCCA+) මගින් අරමුදල් සපයයි. එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය විසින් එය ක්‍රියාත්මක කරනු ලැබේ. පරිසර අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය සහ විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය රජයේ සමාන්තර ආයතනයි. මෙම ව්‍යාපෘතිය කර්මාන්ත අංශයේ හරිතාගාර වායු විමෝචන 2030 වන විට 7% කින් අඩුකිරීට ශ්‍රි ලංකා රජය දරන ප්‍රයත්නයේ එක් ප්‍රතිෂ්ඨාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *