August 20, 2026
DFCC බැංකුව විශ්‍රාමිකයන් සඳහා වන මූල්‍ය පහසුකම් තවදුරටත් ශක්තිමත් කරමින් ගරුසරු විශ්‍රාම ණය පහසුකම රුපියල් ලක්ෂ 120ක් දක්වා ඉහළ නංවයි
පුවත්

DFCC බැංකුව විශ්‍රාමිකයන් සඳහා වන මූල්‍ය පහසුකම් තවදුරටත් ශක්තිමත් කරමින් ගරුසරු විශ්‍රාම ණය පහසුකම රුපියල් ලක්ෂ 120ක් දක්වා ඉහළ නංවයි

Aug 20, 2026

DFCC ‘ගරුසරු’ විශ්‍රාමික ණය පහසුකම හරහා ශ්‍රී ලාංකික විශ්‍රාමිකයන් සඳහා වන දීර්ඝකාලීන මූල්‍ය ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කිරීමට DFCC බැංකුව පියවර ගෙන ඇත. මේ යටතේ රුපියල් 100,000 සිට රුපියල් ලක්ෂ 120ක් දක්වා වූ ණය මුදල්, වසර 15 ක් දක්වා වූ නැවත ගෙවීමේ කාලසීමාවන් සහිතව ලබා ගැනීමේ හැකියාව පවතී. මෙම මූල්‍ය යෝජනාව සැලසුම් කර ඇත්තේ සුදුසුකම් ලබන විශ්‍රාමිකයන් හට වැඩි මූල්‍ය ධාරිතාවක්, කළමනාකරණය කළ හැකි වාරික සහ දීර්ඝකාලීන ස්ථාවර පොලී අනුපාතයක් තෝරා ගැනීමේ පහසුකම ලබා දෙමිනි.

වෛද්‍ය වියදම් සහ නිවාස ප්‍රතිසංස්කරණ ඇතුළු වැදගත් ගෘහස්ථ හා පෞද්ගලික මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ‘ගරුසරු’ ණය පහසුකම භාවිත කළ හැකිය. ගනුදෙනුකරුවන්ට තරගකාරී ස්ථාවර හෝ විචල්‍ය පොලී අනුපාත විකල්ප අතරින් තෝරා ගැනීමට හැකියාව පවතින අතර, නැවත ගෙවීම් සකස් කර ඇත්තේ විශ්‍රාම වැටුප් ආදායමට අනුකූලවය. වසර 15 ක් දක්වා වූ නැවත ගෙවීමේ කාලසීමාවක් සහිත ස්ථාවර පොලී අනුපාත විකල්පය මගින් ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ මාසික ගෙවීම් පිළිබඳ වැඩි නිශ්චිතභාවයක් හිමි වන අතර, අනාගත පොලී අනුපාත වෙනස්වීම්වලින් ගෘහස්ථ අයවැය ආරක්ෂා කර ගැනීමටද එය උපකාරී වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින්  DFCC බැංකුවේ උප සභාපති/ පුද්ගලික බැංකු සේවා අංශ ප්‍රධානී අසිත පින්නදූව මහතා මෙසේ පැවසීය. “විශ්‍රාමිකයන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ආදායමේ ස්ථාවරත්වය මෙන්ම විශ්‍රාමික දිවියේ නිශ්චිතභාවයේ වැදගත්කම ද හඳුනා ගන්නා මූල්‍ය පහසුකම්ය. ‘DFCC ගරුසරු’ හරහා රුපියල් ලක්ෂ 120ක් දක්වා වූ මූල්‍ය පහසුකම්, නැවත ගෙවීමේ නම්‍යශීලීභාවය සහ වසර 15ක් දක්වා ස්ථාවර පොලී අනුපාත විකල්පයක් සමඟින් පිරිනමනු ලබන්නේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ වැදගත් මූල්‍ය වගකීම් කිසිදු පීඩනයකින් තොරව, විශ්වාසයෙන් යුතුව ඉටුකර ගැනීමට උපකාරී වන පරිදිය.”

මෙම ණය පහසුකම රජයේ විශ්‍රාමිකයන්, රාජ්‍ය විශ්‍රාම වැටුප් ලබන වැන්දඹුවන් සහ වැන්දඹු පුරුෂයන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ විශ්‍රාමිකයන් මෙන්ම සුදුසුකම් ලත් හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සඳහා ද විවෘත වේ. ඉල්ලුම් කරන අවස්ථාවේදී ඉල්ලුම්කරුවන් වයස අවුරුදු 74 ට අඩු විය යුතු අතර, වයස අවුරුදු 75 සපිරීමට පෙර ණය පහසුකම සම්පූර්ණයෙන්ම ගෙවා නිම කළ යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close