CTTA 132 වැනි මහා සභා රැස්වීමේදී මෙරට තේ කර්මාන්තයට නව දිශානතියක්
ශ්‍රී ලංකාවේ තේ අලෙවි කර්මාන්තයේ ප්‍රමුඛ පෞද්ගලික අංශ නියෝජිත ආයතන එකතුව වන කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය (CTTA) සිය 132 වැනි වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව පවත්වා මෙරට තේ කර්මාන්තයේ ගෝලීය තරගකාරීත්වය තව දුරටත් ශක්තිමත් කිරීමට ගුණාත්මකභාවය, අගය එකතු කිරීම, නවෝත්පාදනය හා තිරසාර වර්ධනය කේන්ද්‍ර කර ගත් නව දැක්මක් ඉදිරිපත් කළේය. මෙම මහා සභා රැස්වීම ජූලි 17 Cinnamon Life හෝටලයේදී පැවැත්වුණු අතර තේ කර්මාන්තයට අදාළ රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජිතයෝ, තානාපතිවරු, සංවර්ධන හවුල්කරුවෝ, තේ අපනයනකරුවෝ, වගා සමාගම්, තැරැව්කරුවෝ, ගැනුම්කරුවෝ හා ජාත්‍යන්තර ව්‍යාපාර ප්‍රජාවගේ ප්‍රමුඛ නියෝජිතයෝ රැසක් ඊට සහභාගි වූහ. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය මාතා ටෙස්ෆායේ වෝල්ඩ්මයිකල් සහභාගි වූ අතර ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රාජ් ඔබේසේකර ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස එක් විය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ මහ ලේකම් හා ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු ප්‍රධාන දේශනය පැවැත්වීය.
සභාපතිවරයාගේ වාර්තාව ඉදිරිපත් කරමින් ලුෂාන්ත ද සිල්වා වසර 132ක් පුරා CTTA ආයතනය ශ්‍රී ලංකාවේ තේ වෙළෙඳාම තුළ යහපාලනය, විනිවිදභාවය හා අඛණ්ඩතාව තහවුරු කරමින් කොළඹ තේ වෙන්දේසිය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් පවත්වා ගෙන යාමට දුන් දායකත්වය සිහිපත් කළේය. අනාගතයේදී ශ්‍රී ලංකාව නිෂ්පාදනය කරන සෑම තේ කිලෝග්‍රෑමයකින්ම වැඩි ආර්ථික වටිනාකමක් ගැනීමට අගය එකතු කළ නිෂ්පාදන, ප්‍රිමියම් සන්නාමකරණය, නවෝත්පාදන හා නිෂ්පාදන විවිධාංගීකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහු අවධාරණය කළේය. එමගින් අපනයන ආදායම ඉහළ නැංවීමටත්, තේ වගාකරුවන්ගේ හා කුඩා තේ වතු හිමියන්ගේ ආදායම් ශක්තිමත් කිරීමටත්, සිලෝන් තේ ලොව ප්‍රමුඛ තේ සන්නාමය ලෙස තව දුරටත් ස්ථාපිත කිරීමටත් හැකි බව ඔහු පැවසීය. ප්‍රධාන දේශනය පැවැත්වූ ආචාර්ය මාතා ටෙස්ෆායේ වෝල්ඩ්මයිකල් සිලෝන් තේ ශ්‍රී ලංකාවේ ගෝලීය කීර්තිය නියෝජනය කරන ප්‍රබල සන්නාමවලින් එකක් බවත්, රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමට එය විශාල දායකත්වයක් සපයා ඇති බවත් සඳහන් කළාය. 2022 ආර්ථික අර්බුදයෙන් අනතුරුව උද්ධමනය අඩු වීම, විදේශ සංචිත ශක්තිමත් වීම, රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය හා රාජ්‍ය ආදායම් ඉහළ යාම ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳ ධනාත්මක සංඥා බව ඇය පැවසුවාය. මැද පෙරදිග භූ දේශපාලනික අර්බුද හා ජාත්‍යන්තර නාවික ප්‍රවාහන බාධා වැනි බාහිර අභියෝග අපනයන කර්මාන්තවලට තවමත් බලපෑම් එල්ල කරන බව ඇය පෙන්වා දුන්නාය. එම අභියෝග හමුවේ ශ්‍රී ලංකාවට තිරසාර ආර්ථික වර්ධනයක් ලැබීමට IMF සංවිධානය අඛණ්ඩව සහාය දෙන බව ඇය අවධාරණය කළාය. ශිරාන් ප්‍රනාන්දු සිය දේශනයේදී සඳහන් කළේ ශ්‍රී ලංකාව නැවතත් ජාත්‍යන්තර ආයෝජන ගමනාන්තයක් හා විශ්වාසදායක වෙළෙඳ හවුල්කරුවෙකු ලෙස පිළිගැනීමක් දිනා ගනිමින් සිටින බවයි. එම ප්‍රවණතාව පවත්වා ගෙන යාමට ප්‍රතිපත්ති ස්ථාවරභාවය, නව අපනයන වෙළෙඳපොළ විවෘත කිරීම, පවතින වෙළෙඳපොළ ශක්තිමත් කිරීම, කම්කරු වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ හා කර්මාන්ත සඳහා ඉඩම් ප්‍රවේශය වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු පැවසීය.
මෙවර මහා සභා රැස්වීමේදී ලුෂාන්ත ද සිල්වා මහතා දෙවැනි වරටත් සංගමයේ සභාපතිවරයා ලෙස ඒකමතිකව තේරී පත් වූ අතර මන්සූර් අක්බාර් අලි ගැනුම්කරුවන් නියෝජනය කරමින් උප සභාපතිවරයා ලෙසත්, සේනක අලවත්තේගම විකුණුම්කරුවන් නියෝජනය කරමින් උප සභාපතිවරයා ලෙසත් පත් වූහ. තේ කර්මාන්තයට දශක ගණනාවක් පුරා කළ විශිෂ්ට සේවය වෙනුවෙන් පානි ඩයස්ට, ලලිත් ඔබේසේකරට හා සංජය හේරත්ට CTTA ආයතනයේ ඉහළම ගෞරවය වන ගෞරව සාමාජිකත්වය ප්‍රදානය කිරීම විශේෂ අවස්ථාවක් විය. සිය 133 වැනි වසර ආරම්භ කරමින් කොළඹ තේ වෙළෙඳුන්ගේ සංගමය රජය, නියාමන ආයතන, තේ නිෂ්පාදකයන්, අපනයනකරුවන්, තැරැව්කරුවන් හා සමස්ත කර්මාන්තය සමඟ එක් වී කොළඹ තේ වෙන්දේසියේ විශ්වාසනීයත්වය ආරක්ෂා කිරීම, අගය එකතු කළ අපනයන ප්‍රවර්ධනය කිරීම හා සිලෝන් තේ ලෝකයේ ප්‍රමුඛ තේ සන්නාමය ලෙස තව දුරටත් ශක්තිමත් කිරීමට කැප වී සිටින බව අවධාරණය කළේය.

