April 19, 2026
කොමර්ෂල් බැංකුවේ ‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකු සේවය ලබාගත හැකි ස්ථාන 26 ක් දක්වා ව්‍යාප්ත වෙයි
පුවත්

කොමර්ෂල් බැංකුවේ ‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකු සේවය ලබාගත හැකි ස්ථාන 26 ක් දක්වා ව්‍යාප්ත වෙයි

Apr 19, 2026

උසස් පාරිභෝගික අත්දැකීමක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින් සාම්ප්‍රදායික බැංකු ශාඛා වලට ළඟා විය නොහැකි ප්‍රජාවන්ට බැංකු සේවා වඩාත් පහසුවෙන් ඉටුකර ගැනීමේ අවස්ථාව ලබා දීම දියත් කරන ලද ‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකු සේවය තවත් නියෝජිතායතන 22 ක් සමඟින් ජාලය පුළුල් කර තිබෙන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

මෙම ව්‍යාප්ත වීමත් සමඟම බැංකුවේ නියෝජිත බැංකු සේවය දැන් දිවයින පුරා ස්ථාන 26 ක විහිදී ඇති අතර, මීට පෙර ස්ථාපිත කරන ලද ශාඛා හතර ද ඊට ඇතුලත් වේ. භූගෝලීය හා ජනවිකාශන සීමාවන් අභිභවා ජනතාවට අත්‍යවශ්‍ය වන බැංකු සේවාවන් ලැබෙන බව සහතික කිරීම හරහා මෙම මුලපිරීම මගින් කොමර්ෂල් බැංකුවේ අන්තර්ගත කිරීම  හා පාරිභෝගික පහසුව යන අංශ කෙරෙහි ඇති අඛණ්ඩ අවධානය පිළිබිඹු වේ.

‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකුකරණ ආකෘතිය මගින් බැංකුවට, තෝරාගත් තෙවන පාර්ශවීය නියෝජිතයින්, එනම් බොහෝ විට බැංකුවට විශ්වාසදායක වූ දේශීය ව්‍යාපාර හෝ පුද්ගලයින් සමඟ හවුල්කාරීත්වයන් ගොඩනගා ගැනීමට හැකියාව ලැබෙන අතර ඔවුන් එහිදී බැංකුව හා ගනුදෙනුකරුවන් අතර අතරමැදියන් ලෙස ක්‍රියා කරයි. මෙම බලයලත් නියෝජිතයින් හරහා ගනුදෙනුකරුවන්ට මුදල් තැන්පතු, මුදල් ආපසු ගැනීම, අරමුදල් මාරු කිරීම, ගිණුම් ශේෂය විමසීම සහ බිල්පත් ගෙවීම වැනි අත්‍යවශ්‍ය බැංකු ගනුදෙනු ඔවුන්ට වඩාත් සමීප හා පහසු ස්ථානවලදී ඉටුකර ගැනීමට හැකියාව ලැබේ.

ග්‍රාමීය ප්‍රදේශවල කෘෂිකාර්මික හා ක්ෂුද්‍ර මූල්‍ය ඒකක (AMFU) වල කාර්ය මණ්ඩලය විසින් ගොඩනගාගෙන ඇති ශක්තිමත් සබඳතා සහ ප්‍රජා සම්බන්ධතා මත පදනම්ව බැංකුවේ මෙම නියෝජිතායතන බැංකුකරණ මෙහෙයුම් මෙන් ම AMFU ඒකකයේ ක්‍රියාකාරකම් සමඟ සමීපව ඒකාබද්ධ වී ඇත. මෙම මුලපිරීම මගින් ප්‍රාදේශීය ප්‍රජාවන් තුළ ස්ථාපිත වී ඇති විශ්වාසය මත ගොඩනැඟෙමින් බැංකුවට තම ගනුදෙනුකරුවන් කරා ප්‍රවේශ වීමේ මාර්ග පුළුල් කර ගැනීමට හැකියාව ලබා දෙයි.

අලුතින් විවෘත කරන ලද ‘කොම්බෑන්ක් ශක්ති’ නියෝජිත බැංකු සේවා ස්ථාන කටුපොත, හේන්ගමුව, බුදුමුත්තාව, මල්වතුහිරිපිටිය, උඩුගම්පල, කොස්වත්ත, කොටියාකුඹුර, අක්කරායන්කුලම, ඔඩ්ඩුසුඩාන්, බදුරලිය, බෝඹුවල, යත්තපාත, කඩිහින්ගල, බටුකොටුව, වනාතවිල්ලුව, වන්කලෙයි, පේසාලෙයි, අක්කරෙයිපත්තු, තිරුකෝවිල්, සිත්තන්ඩි, පුදුකුඩිරිප්පු හා ලාහුගල යන ප්‍රදේශවල පිහිටා ඇත. තිස්සමහාරාමය, හම්බන්තොට, සියඹලාණ්ඩුව සහ බුත්තල යන ප්‍රදේශවල මීට පෙර මෙම සේවා ස්ථාන ස්ථාපිත කරන ලදී.

ඇමරිකානු ඩොලර් බිලියන 1 ඉක්මවන වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත පළමු ශ්‍රී ලාංකික බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර, ලොව හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු බැංකුව ද වේ. ශ්‍රී ලංකාවේ සියලුම බැංකු අතරින් ඉහළම ප්‍රාග්ධන පදනමක් ඇති කොමර්ෂල් බැංකුව, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම ණය දෙන්නා සහ රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට විශාලතම ණය දෙන්නා වේ. බිස්නස් ටුඩේ සඟරාවේ හි ඉහළම ආයතන 40 අතර අංක 1 ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය සහ වඩාත්ම සම්මානලාභී බැංකුව ලෙස පිළිගැනේ. ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා 272ක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් පීඑල්සී සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close