July 27, 2024
කොමර්ෂල් බැංකුවෙන් CKDu අවදානමට මුහුණදෙන පවුල් 50කට ලීටර් 5000ක ජල ටැංකි පරිත්‍යාගයක්
පුවත්

කොමර්ෂල් බැංකුවෙන් CKDu අවදානමට මුහුණදෙන පවුල් 50කට ලීටර් 5000ක ජල ටැංකි පරිත්‍යාගයක්

Feb 9, 2024

කොමර්ෂල් බැංකුව විසින් ලීටර් 5000ක ධාරිතාවයෙන් යුත් ජල ටැංකි ගිරාඳුරුකෝට්ටේ හි ගින්නොරුව ප්‍රදේශයේ පවුල් 50කට පරිත්‍යාග කර ඇත. ප්‍රභවය නොදන්නා නිදන්ගත වකුගඩු රෝගය (CKDu) පැතිරීයාමට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය සහය ලබා දීම වෙනුවෙන් බැංකුව ලබා දෙන අඛණ්ඩ සහයෝගයේ කොටසක් ලෙස මෙම පරිත්‍යාගයන් සිදු කරන ලදී.

මෙම ටැංකි වැසි ජලය රඳවා තබා ගැනීමට නිර්මාණය කර ඇති අතර, මෙමගින් සෑම පවුලකටම එම ප්‍රදේශයේ භූගත ජලයේ ඇති අහිතකර ද්‍රව්‍ය ශරීරගත වීමෙන් වැළකෙමින් මාස හයක් දක්වා පානීය ජලය හා ආහාර පිසීමේ ජල අවශ්‍යතා සැපයා ගැනීමට හැකි බව බැංකුව පවසයි.

මෙම පරිත්‍යාගය, 2016 වසරේ සිට කොමර්ෂල් බැංකුවේ සහායෙන් පවත්වන ‘Raindrops’ ව්‍යාපෘතියේ නවතම අදියර වේ. ජලයේ ගුණාත්මකභාවය අඩුවීම නිසා ඇතිවන වකුගඩු රෝග බහුලව පවතින ප්‍රදේශ වල භූගත ජලයට විකල්පයක් ලෙස වැසි ජලයේ සඵලතාවය පිළිබඳ සිදු කරන පර්යේෂණ මෙම ව්‍යාපෘතියට අඩංගු විය.  

ව්‍යාපෘතියේ පළමු අදියරේදී කොමර්ෂල් බැංකුවේ මෙම ජල ටැංකි ලබාගත් පවුල් 25ක් වසරකට අධික කාලයක් මෙසේ රැස් කරන ලද වැසි ජලය පරිභෝජනය කළ අතර, ඉන් පසුව ඔවුන්ව CKDu සඳහා පරීක්ෂා කරන ලදී. එම අධ්‍යයන දත්ත එම වසරක කාලය තුළදී ම එම ප්‍රදේශයේ ළිං ජලය පරිභෝජනය කළ පවුල් 25ක දත්ත සමඟ සංසන්දනය කරන ලදී. මෙම පරීක්ෂණයේ දී අනෙකුත් විචල්‍යයන් වන පවුල් 50 ම ජීවන තත්ත්වයන්, එනම් ආහාර පුරුදු හා ආහාර රටාවන් නියතව පවතින බව සහතික කිරීමට ද ප්‍රයත්නයක් දැරීමට සිදු විය.

අධ්‍යයනයේ දත්ත මගින් පෙන්වා දුන් පරිදි ළිං ජලය පානය කළ කණ්ඩායමේ කීප දෙනෙකුට අදියර 1 CKDu වැළඳී තිබුණු අතර, වැසි ජලය පානය කළ කිසිවෙකුටත් රෝග ලක්ෂණ නොතිබුණි. සැබැවින් ම, වැසි ජලය භාවිතා කළ වකුගඩු රෝගීන් කීප දෙනෙකුගේ GFR මට්ටම වැඩි දියුණු වී තිබුණි.

දෙවන අදියරේදී කොමර්ෂල් බැංකුව විසින් වයඹ විශ්වවිද්‍යාලයේ පෝෂණ අංශය මගින් මෙහෙයවන ලද, භයානක රෝග වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ වල ජනතාවට වැසි ජලය පානය කිරීම යෝග්‍ය බවට සිදුකළ විද්‍යාත්මක විශ්ලේෂණයකට දායකත්වය දක්වන ලදී. වැසි ජල මූලාශ්‍රය මහා පරිමාණයෙන් ප්‍රවර්ධනය කිරීමට ඇති ශක්‍යතාව නිර්ණය කිරීමේ අරමුණින් එම පර්යේෂණය සිදුකර ඇති අතර, එම විශ්ලේෂණයේ දී ජලයේ ගුණාත්මකභාවය, pH අගය, විද්‍යුත් සන්නායකතාවය හා රඳවා ගන්නා ලද වැසි ජලයේ ඇති අනෙකුත් ගුණාංග පිළිබඳව ගැඹුරු පර්යේෂණයන් සිදු කර ඇත.

‘Raindrops’ ව්‍යාපෘතියේ මෙම සාර්ථකත්වය නිරීක්ෂණය කරමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වකුගඩු රෝග පිළිබඳ අධ්‍යාපන, පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය (CERTKiD) විසින් ගින්නෝරුව ප්‍රදේශයේ සියළුම පවුල් සඳහා ලීටර් 5000 ජල ටැංකි ලබා දීමේ වැදගත්කම ද ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කොමර්ෂල් බැංකුව තවත් ලීටර් 5000ක ධාරිතාවයෙන් යුත් ජල ටැංකි 50ක් පරිත්‍යාග කළේය.

කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන අතර ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ඇතුළත් වූ පළමු ශ්‍රී ලාංකේය බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා ජාලයක් සහ ස්වයංක්‍රීය යන්ත්‍ර 964 ක් ක්‍රියාත්මක කරයි. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *