June 13, 2026
Ceylon Green Life Plantation ජාත්‍යන්තර ගොවිපළ ව්‍යාපෘතියක් අරඹයි
පුවත්

Ceylon Green Life Plantation ජාත්‍යන්තර ගොවිපළ ව්‍යාපෘතියක් අරඹයි

Jun 13, 2026

ශ්‍රී ලංකාවේ නවීන කෘෂිකර්මාන්තය ජාත්‍යන්තර තලයට රැගෙන යමින් Ceylon Green Life Plantation (CGLP) ආයතනය සිය ප්‍රථම විදේශීය කෘෂිකාර්මික ව්‍යාපෘතිය මැලේසියාවේදී ආරම්භ කර තිබේ. මැලේසියානු රජයේ සහයෝගය යටතේ ක්‍රියාත්මක වන මෙම දැවැන්ත හරිතාගාර (Greenhouse) වගා ව්‍යාපෘතිය ශ්‍රී ලාංකේය කෘෂිකාර්මික දැනුම හා අත්දැකීම් ජාත්‍යන්තරයට රැගෙන යාමේ වැදගත් පියවරක් ලෙස සැළැකේ. ව්‍යාපෘතියේ පළමු අදියර සඳහා අක්කර පනහක භූමි ප්‍රමාණයක් වෙන් කර ඇති අතර නවීන හරිතාගාර තාක්ෂණය, උසස් තත්ත්වයේ බීජ වර්ග සහ විද්‍යාත්මක වගා ක්‍රමවේද භාවිත කරමින් මැලේසියානු වෙළෙඳපොළේ අවශ්‍යතාවලට ගැළැපෙන එළවළු වර්ග වගා කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් Ceylon Green Life Plantation නිර්මාතෘ සහ සභාපති ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික හැකියා ජාත්‍යන්තරයට රැගෙන යාමේ සුවිශේෂ අවස්ථාවක් මෙමගින් නිර්මාණය වන බවයි. “මෙම ව්‍යාපෘතිය මගින් නවීන කෘෂිකාර්මික තාක්ෂණයට ප්‍රවේශය ලැබෙනවා වගේම ශ්‍රී ලාංකේය ගොවීන්ට සහ කෘෂිකාර්මික වෘත්තිකයන්ට ජාත්‍යන්තර අත්දැකීම් හා දැනුම ලැබීමටත් අවස්ථාව හිමි වනවා. එමෙන්ම නව වෙළෙඳපොළ වෙත පිවිසීමේ මාර්ගද විවෘත වෙනවා.” ඔහු පැවැසීය.

ව්‍යාපෘතිය හරහා තිරසාර ආදායම් උත්පාදනය, ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීම සහ කෘෂිකාර්මික නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කරන බවද සමාගම සඳහන් කරයි. ඉදිරියේදී ආසියානු කළාපයේ අනෙකුත් රටවල් වෙතද ව්‍යාප්ත වීම සඳහා මෙම ව්‍යාපෘතිය මූලික පදනමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මැලේසියාවේ පැවති නිල සංචාරයට CGLP සමූහයේ මානව සම්පත් අධ්‍යක්ෂ නිමන්තිකා වික්‍රමසිංහ, නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී උදාර කොතලාවල, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී කපිල කුමාර ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයෝ සහ මාධ්‍ය නියෝජිතයෝ පිරිසක් එක් වී සිටියහ. Ceylon Green Life Plantation ආයතනය පෙන්වා දෙන්නේ මෙවැනි ජාත්‍යන්තර කෘෂිකාර්මික සහයෝගිතා මගින් විදේශ විනිමය උපයා ගැනීම, නව තාක්ෂණික දැනුම මෙරටට හඳුන්වා දීම සහ අපනයන කේන්ද්‍රගත කෘෂිකාර්මික ව්‍යාපාර සංවර්ධනය සඳහා වැදගත් දායකත්වයක් දිය හැකි බවයි. මැලේසියාවේ මෙම හරිතාගාර ව්‍යාපෘතිය සමඟ Ceylon Green Life Plantation ආයතනය ශ්‍රී ලාංකේය කෘෂිකර්මාන්තය ලෝකයට රැගෙන යමින් තාක්ෂණය මත පදනම් වූ තිරසාර හා වාණිජමය වශයෙන් සාර්ථක කෘෂිකාර්මික අනාගතයක් ගොඩ නැගීමේ සිය දැක්ම තව දුරටත් තහවුරු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close