July 27, 2024
Ceylon Biscuits Limited සිය ඉදිරි පෙළ සහ නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීම සඳහා Microsoft Azure භාවිතයට ගනියි
පුවත්

Ceylon Biscuits Limited සිය ඉදිරි පෙළ සහ නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීම සඳහා Microsoft Azure භාවිතයට ගනියි

Nov 29, 2023

ශ්‍රී ලංකාවේ රසකැවිලි සහ ආහාරපාන නිෂ්පාදන සමූහ ව්‍යාපාරයක් වන Ceylon Biscuits Limited (CBL), නව්‍යකරණයන් ඔස්සේ වෙළෙඳපොළ තුළ ශක්තිමත් අඩිතාලමක් ගොඩනැගීම සඳහා Microsoft සමග අත්වැල් බැඳගනිමින් නව තාක්ෂණික සහ සංවර්ධන ක්‍රමවේද භාවිතා කිරීමට පියවර ගෙන තිබේ.

මෙහෙයුම් කටයුතුවලට බාධාවක් නොවන පරිද්දෙන් කාර්යක්ෂම අන්දමින් නව තාක්ෂණය වෙත මාරුවීම සඳහා තම තොරතුරු තාක්ෂණ කණ්ඩායම වෙත ඊට අවශ්‍ය දැනුම, කුසලතා සහ විශේෂඥ දැනුම ලබාදීමට CBL සමාගම, Microsoft Azure විශේෂඥයන් සමග සමීපව කටයුතු කිරීමට පියවර ගත්තේ ය.

මෙම සහයෝගීතාව සම්බන්ධයෙන් Ceylon Biscuits Limited සමාගමේ සමූහ අධ්‍යක්ෂ රසිත් වික්‍රමසිංහ මහතා මෙලෙස සිය අදහස් පළ කළේ ය. “Microsoft Azure සමග අපගේ ගමන සැබැවින්ම පරිවර්තනීය ගමනක්. මෙම බලගතු Cloud සේවාව වෙත මාරුවීම අපගේ නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩිදියුණු කරනවා පමණක් නොව නවෝත්පාදනය සහ වර්ධනය සඳහා නව හැකියාවන් විවෘත කර දෙනවා. මෙය හුදෙක් මුල්‍යමය වාසි පමණක් ලැබෙන පියවරක් නොවෙයි. මෙමගින් අපගේ වෙළෙඳපොළ පැවැත්ම ශක්තිමත් වන අතර, පාරිභෝගිකයන් වෙත වැඩි වටිනාකම් රැගෙන ඒමට අපට හැකියාව ලැබෙනවා. Microsoft සහ එහි හවුල්කරුවන් සමග සහයෝගයෙන් කටයුතු කිරීම මේ ගමනේදී අපට අතිශයින් වැදගත් වුණා. ඉදිරියටත් ශ්‍රී ලංකාව තුළ සහ ඉන් ඔබ්බට අපගේ නිෂ්පාදන විශිෂ්ටත්වය ගෙනයාමට අප බලාපොරොත්තු වෙනවා.”

Microsoft Azure සමග ලාභදායීත්වය සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කරගැනීම

CBL සමාගම, Microsoft Azure Cloud පදනම මත සම්පූර්ණ පාලනය සහිත Open Source Software Database (OSS DB) සහ Application Services වෙත මෑතක දී මාරු වීමට කටයුතු කළේ පිරිවැය අතින් වඩාත් පිරිමැසුම්දායක, ප්‍රතිඵල පරීක්ෂා කළ හැකි, නම්‍යශීලී ක්‍රමවේදයක් වෙත යොමු වීමේ අරමුණෙනි..  DevOps පරිසරයකට, පද්ධති යෙදුම් හා නිෂ්පාදන (SAP)  ඒකාබද්ධ කර වැඩිදියුණු කළ ආරක්ෂිතව හා ප්‍රතිසාධන හැකියාව සහිතව ව්‍යාපාර පද්ධති ක්‍රියාකාරීත්වය ස්ථායී කිරීමත්, ජාල අක්‍රියවීම් අවම කිරීම සහතික කිරීමත් මෙමගින් සිදුවේ.මෙම නව ක්‍රමවේද මගින් විකිණුම් හා තොග සජීවීව නිරීක්ෂණය කිරීමට හැකිවන අතර එමගින් CBL අලෙවි අංශයේ බෙදා හැරීම හා විකුණුම් ක්‍රියාවලිය ද වැඩිදියුණු වනු ඇත. ඒ අනුව බෙදාහැරීම සඳහා අඛණ්ඩව තොග පවත්වාගෙන යාමට හැකි වන අතර, හිඟයකින් තොරව පාරිභෝගිකයන් වෙත භාණ්ඩ ලබාදීමටද හැකියාව ලැබේ. මීට අමතරව, සජීවී දත්ත විශ්ලේෂණ මගින් පාරිභෝගිකයන්ගේ මිලදීගැනීමේ හැකියාවන්ට වඩාත් හොඳින් ගැළපෙන ආකාරයට මිලගණන් නියම කිරීමට ද සමාගමට හැකි වේ. එමෙන්ම Azure භාවිතයට ගැනීම සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියට ද යහපත් ලෙස බලපා ඇත. ‘Smart Factories’ සතියේ සෑම දිනකම පැය 24 පුරා ක්‍රියාත්මක වන බැවින් ඒවා අක්‍රීය කර තැබිය නොහැකි නිසා, කාර්යක්ෂමතාව සහ නිෂ්පාදනය වැඩිදියුණු කිරීමට තාක්ෂණික නවෝත්පාදන භාවිත කිරීම වැදගත් ය.

Microsoft Azure සමග ලැබෙන නවීන Cloud ආරක්ෂණ තාක්ෂණික ක්‍රමවේද හේතුවෙන් CBL සමාගමට වඩාත් ආරක්‍ෂිත ලෙස දත්තවලට පිවිසීමටත්, දත්ත ආරක්ෂා කරගැනීමටත් හැකියාව ලැබී තිබේ. මෙහෙයුම්වල විවිධ තල කෙරෙහි මෙම නවීන තාක්ෂණ‍යේ ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වීම හේතුවෙන් CBL හි සමස්ත පිරිවැය කැපීපෙනෙන ලෙස පහත වැටී තිබීම ද සුවිශේෂී කාරණයකි. මෙම ප්‍රතිලාභ, පර්යේෂණ හා සංවර්ධනයට මෙන්ම අදාළ තාක්ෂණය භාවිතය වෙනුවෙන් නැවත ආයෝජනය කෙරෙන අතර, එමගින් පාරිභෝගිකයන්ට ලැබෙන නිෂ්පාදනවලට වැඩි වටිනාකම් එක්කිරීමට හැකි වනු ඇතැයි  CBL අපේක්ෂා කරයි.

පරිවර්තනය වේගවත් කිරීමට Microsoft හවුල්කරුවන් දායක කරගැනීම

CBL සහ Microsoft, පරිවර්තන ක්‍රියාවලිය පවත්වාගෙන යාමට හා එම පරිවර්තන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමට සුදුසු සම්පත් භාවිත කිරීමේ වැදගත්කම, නිවැරදි මෙවලම් ගෙන ඒමේ අවශ්‍යතාව සහ කේත නැවත ලිවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා හවුල්කරුවන් හරහා සහයෝගීතා සහාය ලබා ගැනීමේ වැදගත්කම මෙහිදී හඳුනාගත් හ.

එහිදී විශේෂ විසඳුම් අත්හදා බැලීමේ හා ක්‍රියාවට නැංවීමේ විශේෂඥ දැනුම සහ ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ක්‍රමවේද පිළිබඳව පුළුල් අවබෝධයක් සමගින් දත්ත ගබඩාව Cloud මත ස්ථාපිත කරවීම Quadrant Resource හි Qmigrator විසින් සිදුකරන ලදී.

Azure environment තුළ DevOps practices ක්‍රියාවට නැංවීමට කණ්ඩායමට උපකාරී වීම සඳහා Azure Skills for Organizations (ASO) වැඩසටහන හරහා DevOps වැඩමුළුවක් Canarys Automations  ආයතනය මඟින් CBL සමාගමට ලබා දුන්නේ ය.

මේ අතර CBL වෙත Azure services සපයන Licensing Solution Provider (LSP) සහ Cloud Solution Provider (CSP) ලෙස කටයුතු කළ H One, වඩාත් කාර්යක්ෂම භාවිතයක් සඳහා Microsoft Azure මගින් පූර්ණ වශයෙන් ප්‍රතිඵල ලැබීමට CBL වෙත සහය දැක්වීය.

මේ අනුව Microsoft හවුල්කරුවන් සමග එක්ව කටයුතු කිරීම නිසා වඩාත් දැනුවත් ලෙස තීරණ ගැනීමටත්, නව හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලැබීමටත්, තම පරිවර්තනීය ගමන වේගවත් කිරීමටත් CBL සමාගමට හැකියාව ලැබිණි.

Microsoft සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා ප්‍රධාන දේශීය කළමනාකරු හර්ෂ රන්දෙණි මහතා මෙම සහයෝගීතාව සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වී ය. “CBL සමාගමේ මෙහෙයුම් වර්ධනය වීම, සංකීර්ණ පරිසරයක් සහ තොරතුරු තාක්ෂණ යටිතල ව්‍යුහයක් උපදවනවා. Microsoft Azure තාක්ෂණය සමගින් අප මේ සිදුකරන්නේ තම තොරතුරු තාක්ෂණ සම්පත් කළමනාකරණය කරගැනීමට CBL බලගන්වන අතරම යෙදුම් සංවර්ධනය සහ ක්‍රියාවට නැංවීම වේගවත් කිරීමට අවශ්‍ය මෙවලම් ලබාදීමයි. Microsoft Azure තුළ ඇතුළත් DevOps හැකියාවන් නිසා නව නිෂ්පාදන හා සේවාවන් වඩාත් ඉක්මණින් වෙළඳපොළට රැගෙන ඒමට සමාගම්වලට හැකි වෙනවා. එමගින් ඔවුන්ට අද දවසේ ව්‍යාපාරික ලෝකය තුළ පවත්නා තරගකාරීත්වය තුළ ඉදිරියෙන්ම සිටීමට පුළුවන්.”

Microsoft Azure වෙත සංක්‍රමණය වීම,CBL සමාගමේ වර්ධනය විධිමත් කරමින්  කාර්යක්ෂමතාව වැඩි කරන අතරම, නම්‍යශීලී පරිසරයක් පවත්වා ගැනීම තුළින් සමාගමට ස්ථාවර සහ ආරක්ෂිත වේදිකාවක් සහතික කරන පියවරක් ලෙස පෙන්වා දිය හැක.  නවෝත්පාදනයට කැප වී සිටින ආයතනයක් වන CBL, වර්තමාන අධිවේගී ව්‍යාපාරික ලෝකය තුළ සිදුවන වෙනස්කම්වලට නොපමාව හැඩගැසෙමින් ඉදිරියට යාමේ වැදගත්කම හොඳින් හඳුනන ආයතනයකි. Microsoft තාක්ෂණයන් සමගින් බලගැන්වෙමින් රටේ සීමාවන් තුළ සහ ඉන් ඔබ්බට සීඝ්‍රයෙන් වර්ධනය වීමේ තම දැක්ම ඉදිරියට ගෙන යාමට CBL සමාගමට හැකියාව ලැබෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *