October 7, 2026
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
පුවත්

BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි

Oct 7, 2026

BYD හි ප්‍රථම කුඩා පරිමාණ විදුලි මෝටර් රථ මාදිලිය වන RACCO පසුගියදා ජපානයේදී නිල වශයෙන් වෙළෙඳපොළට හඳුන්වා දෙනු ලැබීය. ජපානයේ ඉතා තරඟකාරී මෝටර් රථ වෙළෙඳපොලට පිවිසීම අරමුණු කර ගනිමින් මෙම මාදිලිය ජපන් වෙළෙඳපොලට හඳුන්වා දීමට BYD කටයුතු කර තිබිණ.

ජපානය පුරා විශේෂ උත්සව මාලාවක් සමඟින් එරට අතිශය ජනප්‍රිය kei car මාදිලියේ RACCO විදුලි මෝටර් රථ හඳුන්වා දීමේ අවස්ථාව වෙනුවෙන් BYD සමූහයේ උප සභාපති Liu Xueliang මහතා සමඟින් ජපානයේ BYD හි මගී වාහන ප්‍රධානී Atsuki Tofukuji, RACCO ව්‍යාපෘති ප්‍රධානී Yang Buyi සහ ජපන් සැලසුම් ප්‍රධානී Hirohide Tagawa යන මහත්ම මහත්මීන් එක් වූහ.  

ජපන් පාරිභෝගිකයන්ගේ එදිනෙදා ගමන් බිමන් සහ සැබෑ ජීවන රටාවන් මනාව සැලකිල්ලට ගනිමින්, RACCO මෝටර් රථය සතු ඉහළ ආරක්ෂාව, පුළුල් ඉඩකඩ සහ පහසුව වැනි සුවිශේෂී නිෂ්පාදන වාසි පිළිබඳව පාරිභෝගිකයා දැනුවත් කිරීමට BYD මෙහිදී විශේෂයෙන්ම පියවර ගනු ලැබීය. එමඟින් මෙම රථය හුදෙක් වාහනයක් පමණක් නොව පාරිභෝගිකයාගේ සැබෑ අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් නිපදවා ඇති බව අවබෝධ කර දීමට සමාගමට හැකි වූ අතර, එය ජපානය තුළ BYD සන්නාමයේ ජනප්‍රියත්වය සහ ගෝලීය බලපෑම තවදුරටත් ඉහළ නැංවීමට සුවිසල් පිටුවහලක් විය.

RACCO යනු ජපානයේ සුවිශේෂී Kei car රෙගුලාසිවලට අනුකූලව වන විදේශීය මෝටර් රථ නිෂ්පාදකයෙකු විසින් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරන ලද ලොව ප්‍රථම පූර්ණ විද්‍යුත් මෝටර් රථයයි. එසේම විදේශීය වෙළෙඳපොළක පවතින ඉහළම ප්‍රමිතීන් ඉලක්ක කරගනිමින් BYD සමාගම විසින් විශේෂයෙන්ම සැලසුම් කළ ප්‍රථම වාහනය ලෙසද මෙය පෙන්වා දිය හැකිය. ජපානයේ සමස්ත නව වාහන අලෙවියෙන් ආසන්න වශයෙන් 40%ක්ම නියෝජනය කරන්නේ Kei car මාදිලියයි. මෙම සුවිසල් අවස්ථාව අත්පත් කරගැනීම සඳහා BYD සමාගම සිය ගෝලීය පර්යේෂණ හා සංවර්ධන ශක්තිය උපයෝගී කරගනිමින් වාහනයේ හැඩය, බැටරි පද්ධතිය, විද්‍යුත් ධාවන හැකියාව සහ ආරක්ෂක පද්ධති ඇතුළු සෑම අංගයක්ම පාරිභෝගික අපේක්ෂාවන්ට ගැළපෙන සූක්ෂ්ම ලෙස නිපදවීමට කටයුතු කරනු ලැබීය.

මෙම නිල වෙළෙඳපොළ දියත් කිරීම හරහා සමාගම ජපානයේ විශාලතම මෝටර් රථ ක්ෂේත්‍රයට ප්‍රවේශ වීමට සමත් වූ BYD සිය ගෝලීය කුඩා විද්‍යුත් වාහන මාදිලියේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමටද සමත් විය. එමෙන්ම, මෙමඟින් නිෂ්පාදන අපනයනය කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරව, අදාළ රටවලටම ගැළපෙන පරිදි දේශීය පර්යේෂණ, සංවර්ධන සහ නවෝත්පාදන සිදුකිරීම දක්වා BYD සතු හැකියාවද මනාව ප්‍රදර්ශනය වේ.

මෙම නවතම විද්‍යුත් රථය පිළිබඳව අදහස් දක්වමින් John Keells CG Auto හි ප්‍රධාන විධායක නිලධාරී චරිත් පණ්ඩිතරත්න මහතා සඳහන් කර සිටියේ “ජපානයේ ඉහළ ඉල්ලුමක් පවතින kei car ප්‍රමිතීන්ට ගැළපෙන අයුරින් නිර්මාණය කර ඇති ආකර්ෂණීය නිමාවකින් යුත් නවතම RACCO මාදිලිය ඉතාමත් සියුම් නිමාවකින්, ඉහළ කාර්යක්ෂමතාවයකින් සහ ඉඩකඩ උපරිමයෙන් භාවිත කළ හැකි වාහන මාදිලියක් ලෙස සඳහන් කළ හැකියි. පිටතින් කුඩා වුවද, ඇතුළතින් පුළුල් ඉඩකඩක් පැවතීම යන සුවිශේෂී සංකලනය ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලටද සෘජුවම ගැළපෙනවා. මෙම RACCO රථය හෝ අපේ දේශීය වෙළෙඳපොළට ගැළපෙන පරිදි සකස් කරන ලද වෙනත් සංස්කරණයක් ලංකාව තුළ වේගයෙන් වර්ධනය වන BYD වාහන එකතුවට ඇතුළත් කළ හැක්කේ කෙසේද යන්න පිළිබඳව අප මේ වන විට සොයා බලමින් සිටිනවා. එමෙන්ම, මෙම සුවිශේෂී රථය ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන් වෙත සමීප කිරීම සඳහා වඩාත්ම සුදුසු කාලසීමාව එළඹෙන තුරු අප බලා සිටිනවා” යනුවෙනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ශ්‍රී ලංකාව තුළ ජපන් වාහන සඳහා පවතින දිගුකාලීන ජනප්‍රියත්වය පිළිබඳව සැලකීමේදී BYD සමාගම මෙම kei car ක්ෂේත්‍රයට පිවිසීම ජපාන වාහන වෙළෙඳපොළට මෙන්ම අපේ රටේ වෙළෙඳපොළටද ඉතාමත් තීරණාත්මක බලපෑමක් සහ සුවිශේෂී වටිනාකමක් ගෙන එනු ඇති බවද පෙන්වා දෙන ලදී.

විදේශීය වෙළඳපොළවල් වෙනුවෙන්ම නිෂ්පාදන සැලසුම් කිරීමට, තාක්ෂණය සංවර්ධනය කිරීමට සහ දේශීයව නවෝත්පාදනයන් සිදු කිරීමට BYD සමාගමට ඇති හැකියාව RACCO මෝටර් රථයෙන් මනාව පෙන්නුම් කර තිබේ. ලොව පුරා එකම නිෂ්පාදනයක් පමණක් විකිණීමට සීමා නොවී, ඕනෑම රටකට ගැළපෙන ඕනෑම වාහනයක් සංවර්ධනය කිරීමට BYD සමාගමට හැකියාව ඇති බව මෙයින් සනාථ වේ. මෙම වැදගත් සන්ධිස්ථානය මඟින් BYD හි ගෝලීය පර්යේෂණ සහ සංවර්ධන (R&D) පද්ධතියේ අඛණ්ඩ ස්ථාවරත්වය පිළිඹිබු වන අතර, එය ඉදිරියේදී තවත් වෙළඳපොළවල් සඳහා දේශීය වශයෙන් සිදුකරන සංවර්ධන කටයුතු වෙනුවෙන්ද මෙය මහඟු අත්දැකීමක් වනු ඇත.

BYD මෙතෙක් මහා පරිමාණයෙන් නිපදවූ කුඩාම වාහනය වන RACCO, ඔවුන්ගේ ගෝලීය නව බලශක්ති වාහන පරාසය තවදුරටත් පුළුල් කරයි. එමෙන්ම කුඩා විදුලි වාහන කාණ්ඩය තුළ සමාගමේ නිෂ්පාදන ආවරණය කරමින්, සුවිශේෂී ගෝලීය වෙළඳපොළවල් කරා අඛණ්ඩව ව්‍යාප්ත වීම සඳහා මනා ශක්තියක් සපයයි.

RACCO සාර්ථක ලෙස එළිදැක්වීම BYD ජපාන සමාගම ලැබූ වැදගත් ජයග්‍රහණයක් පමණක් නොව, එය BYD සමූහයේ ගෝලීය ක්‍රමෝපාය සාර්ථකව ක්‍රියාත්මක වන ආකාරය පෙන්වන කදිම සාක්ෂියකි. අනාගතය දෙස බලන විට, BYD සමාගම ගෝලීයකරණය සහ දේශීයකරණය එකිනෙකා සමඟ අත්වැල් බැඳගැනීමේ ක්‍රමෝපාය අඛණ්ඩව අනුගමනය කරනු ඇත. සිය ගෝලීය පර්යේෂණ සහ සංවර්ධන (R&D) ජාලය මෙන්ම මූලික නව බලශක්ති තාක්ෂණයන් උපරිම ලෙස භාවිත කරමින්, කලාපීය වෙළඳපොළවල අවශ්‍යතාවලට වඩාත් ගැළපෙන නිෂ්පාදන අඛණ්ඩව හඳුන්වා දීමට BYD සමාගම කටයුතු කරනු ඇත. එමඟින් සමාගමේ ගෝලීය සන්නාම සහ ජාත්‍යන්තර තරගකාරීත්වය තවදුරටත් ශක්තිමත් වන අතර, ඔවුන්ගේ ගෝලීය වර්ධනය ද නවතම මට්ටමකට ඉහළ නැංවෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close