July 27, 2024
වැට් බද්දෙන් නිදහස් කරන මෙන් පොත් කර්මාන්තයෙන් දැඩි ඉල්ලීමක්
පුවත්

වැට් බද්දෙන් නිදහස් කරන මෙන් පොත් කර්මාන්තයෙන් දැඩි ඉල්ලීමක්

Feb 2, 2024

පොදු ජනතාවට පොත්පත් ලබා ගැනීම මිල අධික කාර්යයක් බවට පත් කිරීමේ දිගුකාලීන ප්‍රතිවිපාක පිළිබඳව පොත් ප්‍රකාශන සංගමය, විද්වතුන් හා ලේඛකයින් අනතුරු අඟවයි

2024 පෙබරවාරි 2 වන සිකුරාදා: මේ දක්වා බදුවලින් නිදහස් කර තිබූ පොත් සඳහා රජය විසින් එකතු කළ අගය මත (VAT) බද්ද පැනවීම අයෝග්‍ය බවට ශ්‍රී ලංකාවේ පොත් ආශ්‍රිත සියලුම අංශවලින් හඬ නැඟෙන්නේද ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටින්නේද එමඟින් සිදුවන පොදු අනර්ථය දැඩි ලෙස සැලකිල්ලට ගැනීමෙනි.

වැට් බදු පැනවීමේ ප්‍රතිඵලයක් ලෙස නොවැළැක්විය හැකි ලෙස පොත් මිල තව දුරටත් ඉහළ යාමේ ප්‍රවණතාව පොත් වෙතින් පාඨකයා ඉවත් කිරීමක් වන බව හොඳින්ම දන්නා දේශීය ප්‍රකාශකයින්, මුද්‍රණකරුවන්, පොත් අලෙවිකරුවන්, ආනයනකරුවන්, ලේඛකයින් හා අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරන්නවුන් මෙන්ම විද්වතුන් නියෝජනය කරන විවිධ සංගම් සහ පුද්ගලයින් එකරාශී වී සිටිති. සමාජයේ බොහෝ දෙනෙකුට දැනුම ලබා ගැනීමට ඇති ඉඩකඩ අහිමි වීම නිසා සමාජ හා ආර්ථික සංවර්ධනයට ඇති වන දිගුකාලීන විනාශකාරී බලපෑම් ඔවුන් විසින් පෙන්වා දේ.

“විවිධ රජයන් විසින් පාලනය කළ පසුගිය කාල වල පැන නැගුණු ආර්ථික අභියෝග හේතුවෙන් පුළුල් ජනගහනයකට මෙරට ජාතික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ මූල්‍යමය බර උර දීමට සිදුව ඇති බව අපි පිළිගන්නවා,” යනුවෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ (SLBPA) ප්‍රධාන ලේකම් දිනේෂ් කුලතුංග මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

“නමුත් රජයේ ආදායම් ඉහළ නැංවීමේ කෙටිකාලීන අවශ්‍යතාවය නිසා ශ්‍රී ලංකාවේ පරම්පරා ගණනාවකට බලපෑ හැකි ආකාරයෙන් අධ්‍යාපනය, සංස්කෘතිය, බුද්ධිමය ප්‍රගතිය හා පුද්ගල සංවර්ධනය පසුබෑමට ලක් කර, විනාශකාරී දීර්ඝ කාලීන ප්‍රතිවිපාක ඇති වීම, හා දැනුම මත ගොඩනැඟෙන ආර්ථිකයේ වර්ධනයට එයින් සිදුවන අහිතකර බලපෑම සාධාරණ වේද?” යනුවෙන් ඔහු ඇසුවේ ය.

පොත් කර්මාන්තයේ විවිධ පාර්ශව කණ්ඩායම් නියෝජනය කරන කථිකයින් ද චෝදනා කළේ පොත් වැනි ඉතා සංවේදී සහ අවදානමට ලක් ව ඇති අංශයකට කිසිඳු වගවිභාගයක් නොමැතිව වැට් බදු වැඩි කිරීම මගින් ශ්‍රී ලංකාව 1950 වසරේ යුනෙස්කෝ සංවිධානයේ ෆ්ලෝරන්ස් ගිවිසුම ද උල්ලංඝනය කරමින් සිටින බවයි. ශ්‍රී ලංකාව මෙම ගිවිසුමේ මුල් අත්සන්කරුවෙකු ද වන අතර මේ වන විටත් එහි අඛණ්ඩ ගිවිසුම්කාර පාර්ශවයක් ව පවතී.

ෆ්ලෝරන්ස් ගිවිසුමට අනුව ආනයනය කරනු ලබන යම් අධ්‍යාපනික, විද්‍යාත්මක, සහ සංස්කෘතික ද්‍රව්‍ය මත රේගු බදු හා අනෙකුත් බදු පැනවීමෙන් වැළකී සිටීමට එහි ගිවිසුම්කාර පාර්ශවයන් බැඳී සිටියි.

“දැනුම හා තොරතුරු සඳහා අත්‍යවශ්‍ය ම මූලාශ්‍රයක් වන පොත් මත බදු පැනවූ රටවල් ස්වල්පය අතරින් එකක් බවට ශ්‍රී ලංකාව දැන් පත් වී තිබෙනවා,” යැයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර මහතා පැවසීය. “ලෝකයේ සෙසු රටවල් තම ජනතාවගේ දැනුම් ප්‍රවේශය පහසු කිරීමට උත්සාහ කරමින් සිටින විට, ශ්‍රී ලංකාව රජයේ ආදායම් වැඩි කර ගැනීමට මෙම කර්මාන්තයට බදු පනවමින් එහි බරපතල ප්‍රතිවිපාක නොසලකා හරින බව මෙයින් සනාථ වනවා.”

“එය පෙළ පොතේ ලෙසට නම් රන් බිත්තර දමන කිකිළිය මරා දැමීමකි.”

“ජාත්‍යන්තර පොත් ප්‍රකාශකයින්ගේ සංගමයට අනුව, පොත් හුදෙක් අනෙකුත් වෙළඳ භාණ්ඩ මෙන් නොව, දැනුම ආර්ථිකය ශක්තිමත් කරන, ඉහළට ගමන් කරන සමාජ සංචලනය මෙන්ම පුද්ගල සංවර්ධනය හා පුළුල් මධ්‍ය කාලීන හා දිගුකාලීන සමාජ, සංස්කෘතික හා ආර්ථික ප්‍රතිලාභ ගෙන දෙන උපාය මාර්ගික වත්කම් ලෙස සැලකෙනවා.”

මෙහිදී තවදුරටත් පෙන්වා දුන්නේ මෙම කර්මාන්තය දැනටමත් බදු ආදායම ලෙස රජයට රුපියල් බිලියන 1 කට වැඩි දායකත්වයක් ලබා දෙන බවයි. ඒ පාසල් පෙළපොත් සහ අනෙකුත් පොත් නිෂ්පාදනය කිරීමේ දී යොදා ගන්නා අමුද්‍රව්‍යවලින් 90%ක් ම සපයන ආනයනකරුවන් විසින් ගෙවනු ලබන වැට් බද්ද හරහා යි. එබැවින් පොත් සඳහා වැට් බදු පැනවීම මගින් පොත් ප්‍රකාශකයන්ගෙන් ද්විත්ව බදු අයකිරීමේ අක්‍රමිකතාවයක් ඇතිවන අතර එමගින් දුෂ්කර තත්ත්වය තවත් උග්‍ර අතට හරවයි.

පොත් සඳහා 18%ක වැට් බදු පැනවීමට රජය ගත් තීරණයට දැනටමත් ජාත්‍යන්තරයේ අවධානය යොමු වී ඇත. ජාත්‍යන්තර පොත් ප්‍රකාශකයින්ගේ සංගමය (IPA) සහ එක්සත් යුරෝපීය හා ජාත්‍යන්තර පොත් අලෙවිකරුවන්ගේ සංගමය (EIBF) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය විරෝධය මෑතකදී ලිඛිතව දැනුම් දුන්හ.

“එවැනි බද්දක් මෙරට පොත් ප්‍රකාශන අංශයට ඇති කරන විනාශකාරී ප්‍රතිවිපාක පැහැදිලි කිරීමට අපගේ සාමාජික සංගම් එකතු වී ඔබේ කාර්යාලය සමඟ සම්බන්ධ වීමට උත්සාහ දරා ඇත,” යනුවෙන් එම සංවිධාන දෙක 2023 දෙසැම්බර් 15 වැනි දින ප්‍රකාශ කළහ. “අපි ශ්‍රී ලංකාවේ පොත් ප්‍රකාශකයින් හා අලෙවිකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන අතර ශ්‍රී ලංකේය සාක්ෂරතාවයේ අභිවෘද්ධිය තකා මෙම පියවර නැවත සලකා බලන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමු.”

වැට් බද්දෙන් පොත් කර්මාන්තය නැවත පෙර පරිදි නිදහස් කරන ලෙස ඉල්ලීම් කරමින් පැවැත්වූ මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ සංවිධාන හා පුද්ගලයින් අතරට ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය (SLBPA), ශ්‍රී ලංකා පොත් ආනයනකරුවන් හා අපනයනකරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා ලේඛක සංගමය, සමඟින් ප්‍රමුඛ පෙළේ ලේඛකයින්, විද්වතුන්, අධ්‍යාපනඥයින් හා කතෘ ප්‍රකාශකයින් ද ඇතුලත් විය.

1 Comment

  • Someone essentially assisted me in producing substantial posts. I must say that this is the very first time I have visited your website, and thus far I am impressed with the amount of effort you have put into producing this specific post. Well done.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *