
සියැට් OHT ලංකා සමාගමේ සන්ධිස්ථානාත්මක ඇ.ඩො. මිලියන 171ක ආයෝජනයට BOI අනුමැතිය
ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා අපනයන අංශවලට නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සියැට් OHT ලංකා (පුද්ගලික) සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 171 ක ආයෝජනයක් සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති අතර එය මෑත ඉතිහාසයේ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සිදු කරන ලද විශාලතම ආයෝජනවලින් එකකි.
මෙම ආයෝජනය සිදුවූයේ සියැට් OHT ලංකා විසින් මිදිගම කර්මාන්තශාලාව සහ කටුගොඩ වාත්තු නිෂ්පාදන කර්මාන්තශාලාව ඇතුළු ශ්‍රී ලංකාව පදනම් කරගත් මිචෙලින් සමූහයේ ඉදිකිරීම් අංශයට අදාල නිෂ්පාදන අංශය අත්පත් කර ගැනීමෙන් පසුව ය. මෙම ගනුදෙනුව මගින් සියැට් සමාගමට කැම්සෝ සන්නාමයේ ගෝලීය හිමිකාරීත්වය ලැබෙන අතර, වසර තුනක බලපත්‍ර කාලයකින් පසු එය කාණ්ඩ වශයෙන් පවරනු ලැබේ. එම අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ අවසාන අදියර මේ වන විට සිදුවෙමින් පවතී.
මෙම ගිවිසුම හරහා මාර්ගවලට පිට ටයර් (off Highway – OHT) සඳහා ගෝලීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය තවත් ශක්තිමත් කරන අතර, අපනයනය මූලික කරගත් ආර්ථික සංවර්ධනය සඳහා තරඟකාරී මධ්‍යස්ථානයක් ලෙස මෙරට ස්ථානගත කරයි.
ශ්‍රී ලංකාව කෙරෙහි වන සියැට් හි දිගුකාලීන දැක්මට අනුව, සියැට් OHT ලංකා, මිචෙලින් ලංකා සහ අන්තර් සමාගම් සේවක සංගමය (ICEU) අතර ත්‍රෛපාර්ශවික අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇති අතර, ඒ හරහා සේවකයින් 1,483 දෙනෙකුගේ රැකියා සුරක්ෂිතභාවය සහතික කර ඇත. මෙම අවබෝධතා ගිවිසුම මගින් පෙර සේවය, ජ්‍යෙෂ්ඨත්වය, වැටුප් සහ ප්‍රතිලාභ අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කරන අතර ම, කිසිඳු අඩු කිරීමකින් තොරව රැකියා සුරක්ෂිත කරමින් මෙහෙයුම් සංක්‍රාන්තියේදී ස්ථාවරත්වය සහ අඛණ්ඩතාව ද සහතික කෙරේ.
ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් BOI සභාපති අර්ජුන හේරත් මහතා මෙසේ පැවසීය: “ශ්‍රී ලංකාව තුළ සියැට් විසින් සිදු කරන ලද සැලකිය යුතු මට්ටමේ මෙම ආයෝජනය අපි සාදරයෙන් පිළිගන්නෙමු. මෙය මෑත කාලයේ ඉන්දියාවෙන් සිදු කරන ලද විශාලතම ආයෝජන වලින් එකකි. මෙම අනුමැතිය ලැබීම සියැට් හි දැක්ම කෙරෙහි අප තුළ ඇති විශ්වාසය අවධාරණය කරන අතර ගෝලීය නිෂ්පාදන සහ අපනයන සඳහා වන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ තත්ත්වය තවදුරටත් ඉහළ නංවනු ඇත.”
“BOI ආයතනය මගින් සියැට් OHT ලංකා වෙත අනුමැතිය ලබා දීම, ශ්‍රී ලංකාව සමඟ අපගේ හවුල්කාරීත්වයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි. අපගේ ගෝලීය off Highway ටයර් ව්‍යාපාරය පුළුල් කිරීමේ සියැට් හි දැක්ම තුළ මේ රට වෙනුවෙන් අපට විශිෂ්ට සැලසුම් තිබේ. මෙම ආයෝජනය හරහා ශ්‍රී ලංකාවට ආකර්ෂණීය නව අවස්ථා ගෙන එනු ඇති අතර අපගේ අනාගත සංවර්ධනයේ ප්‍රධාන කාර්යභාරයක් ද ඉටු කරනු ඇත,” යනුවෙන් සියැට් Speciality අංශයේ හි ප්‍රධාන විධායක නිලධාරී අමිත් තොලානි මහතා පැවසීය.
“ශ්‍රී ලංකාවේ රැකියා සුරක්ෂිත කරමින් අපගේ මෙහෙයුම් බාධාවකින් තොරව ශක්තිමත් කිරීම මෙම සංක්‍රාන්තියෙහි ප්‍රමුඛතාවයයි. මෙම ආයෝජනය අපගේ සේවකයින් කෙරෙහි මෙන් ම OHT නිෂ්පාදන සහ අපනයන සඳහා වූ ගෝලීය මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් සියැට් හි දිගුකාලීන කැපවීම නැවත තහවුරු කරයි,” යනුවෙන් සියැට් සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී කුමාර් සුබයියා මහතා පැවසීය.
මෙම ගිවිසුමත් සමඟම, OHT සහ ට්‍රැක් අංශයේ ගෝලීය දැවැන්තයකු ලෙස සියැට් විසින් සිය ස්ථානය ශක්තිමත් කරගෙන ඇති අතර, එහි ජාත්‍යන්තර ව්‍යාප්තියේ උපාය මාර්ගික කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්කර ඇත. මෙම පියවර හරහා පිළිබිඹු වන්නේ කාර්මික වර්ධනය, අපනයන තරඟකාරීත්වය සහ සේවක රැකියා සුරක්ෂිතතාවයේ එකතුවකි. ඉහළ වටිනාකමක් ඇති විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට හා තිරසාර ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම සඳහා වන ආයෝජන මණ්ඩලයේ කාර්යභාරයටද මෙම ගිවිසුම අනුකූල වේ.