July 26, 2024
ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමන්ගේ මගපෙන්වීම තුළින් BCI සරසවිය නව මානයක් වෙත පියනගයි
පුවත්

ආචාර්ය කැමිලස් ප්‍රනාන්දු පියතුමන්ගේ මගපෙන්වීම තුළින් BCI සරසවිය නව මානයක් වෙත පියනගයි

Nov 29, 2023

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඉමහත් පිළිගැනීමකට පාත්‍ර වී තිබෙන BCI සරසවියෙහි හි පාලන අධිකාරියේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමන් එම ආයතනයේ දෙවන ප්‍රධානියා හා උපකුලපතිවරයා ලෙස නිල වශයෙන් පසුගියදා පත් වූහ.

කොළඹ අගරදගුරු හා BCI හි නිර්මාතෘ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කැමිලස් ප්‍රනාන්දු පියතුමන් මෙම තනතුරු පදවියෙහි පිහිටුවීම පසුගිය ඔක්තෝබර් මස 12 දින සිදු කෙරිණි.

සිය ආරම්භක දේශනයේදී ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමන් BCI සම්බන්ධයෙන් සිය කෘතඥතාවය සහ සිය අභිප්‍රාය සහිත වගකීම පිළිබඳව සඳහන් කළහ. අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් සකස් කරන ලද පදනම පිළිගනිමින් ස්ථාවරත්වයේ සහ ප්‍රගතියේ ඇති වැදගත්කම සම්බන්ධයෙන්ද අවධාරණය කරමින් ක්‍රිස්තුස් වහන්සේ කළ මෙහෙවර හා සමාන සේවයක් ලබා දීම සඳහා කැප වූ කතෝලික විශ්ව විද්‍යාලයක් ලෙස BCI හි අනන්‍යතාවය පියතුන්මන් විසින් සහතික කළහ.

නව උපකුලපති පියතුමන්ගේ ආදර්ශවත් නායකත්වය BCI හි හිටපු ප්‍රධානී ලෙස කටයුතු කළ ගරු ක්වින්ටස් ප්‍රනාන්දු පියතුමන් විසින් ද පිළිගනු ලැබීය. BCI හි සමාජ මෙහෙවර කෙරෙහි විශේෂ අවධානයක් ලබා දෙමින් සහ අනාගතයේ දී සමාජය වෙත BCI විසින් ලබා දෙන දායකත්වය පිළිබඳව එතුමන්ගේ සාධනීය අදහස් එක් කරමින්, විශ්වවිද්‍යාලයේ මේ වන විටත් ක්‍රියාත්මකව පවතින ශක්තිමත් සහ ස්ථාපිත පදනම අඛණ්ඩව ගොඩනැගීම සඳහා වන සිය දැක්ම සම්බන්ධයෙන් වැඩි දුරටත් උන්වහන්සේ විස්තර කළහ.

BCI Campus ඉහළ තලයකට ගෙනයාම සඳහා BCI හි සංවර්ධනය හා ප්‍රගතිය සඳහා පාලක සභාව, ආචාර්ය මණ්ඩලය, මහාචාර්යවරුන් සහ කාර්ය මණ්ඩලය අතර කණ්ඩායම් ක්‍රියාකාරීත්වය සහ සහයෝගීතාවය අපේක්ෂා කර සිටින බව ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමන් සිය කතාව අවසන් කරමින් ප්‍රකාශ කළහ. එක් එක් පුද්ගලයන් විසින් ලබා දෙනු ලබන දායකත්වයන් පිළිබඳව තමන්ට විශ්වාසයක් ඇති බව සඳහන් කරමින් පියතුමන් විසින් නව පවුල හෘදයාංගමව පිළිගනිමින් සිය කතාව අවසානයේ මෙසේද පැවසූහ.

”මගේ හදවත, ආත්මය සහ මගේ මුළු ශක්තියම BCI හි සේවය වෙනුවෙන් ලබා දීමට මම කටයුතු කරනවා. ඒ තුළින් අනාගතය දෙස සුබවාදීව බැලීමට මට හැකිවෙනවා. අධ්‍යාපන විශිෂ්ටත්වය තුළින් BCI දැනටමත් රට තුළත්, ගෝලීයව සහ කලාපීය වශයෙනුත් කොපමණ ප්‍රගතියක් අත්කරගෙන ඇත් දැයි කියා මම දන්නවා. සැබෑවට සහ අර්ථවත්ව සමාජයට දායක වීම සඳහා වඩාත් හොඳින් ශක්තිමත් වූ ආයතනයක් ගැන මට සිතාගත නොහැකි නිසා BCI හට මීටත් වඩා දෙයක් කළ හැකි බවට මම විශ්වාස කරනවා.” යැයි එතුමන් සඳහන් කළහ.

ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමන් 1992 වසරේ ජූලි මස 25 වැනි දින ශුද්ධ වූ පූජක දිවියට කැප විය. දශක ගණනාවක සේවා කාලය තුළ විවිධ තනතුරුවල සේවය කර ඇති එතුමන් ඉහළ මට්ටමේ සුදුසුකම් සහිත පළපුරුදු ප්‍රවීණ අධ්‍යාපනඥයෙකි. විවිධ මීසම් වල මීසම් පාළනාධිපති ධුරය හෙබවූ එතුමා කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයෙකු වශයෙන්ද, මහනුවර ජාතික දෙව්සත්හලේ දර්ශන පීඨයේ පීඨාධිපති ධූරයද, කළුතර සිරි කුරුස විද්‍යාලයේ අදියුරු පියතුමා ලෙසද, කොළඹ ශාන්ත ඇලෝසියස් දෙව්සත්හලේ අදියුරු පියතුමා ලෙසද තම දූත මෙහෙවර අප්‍රතිහත ධෛර්යකින් එතුමා ඉටු කර ඇත.

තවද කොළඹ කතෝලික මුද්‍රණාලයේ අධ්‍යක්ෂක ධූරය ද, මෙරට පැරණිතම පුවත්පත වන ඥානාර්ත ප්‍රදීපය මෙන්ම, එහි සමගාමී ඉංග්‍රීසි සහ දමිළ පුවත්පත් වල කර්තෘ ධූරයද හොබවා ඇති එතුමන්, කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන්ද කටයුතු කර තිබේ. ඔහු කොළඹ ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසලේ ප්‍රධානියා සහ තලංගම ශාන්ත ජෝන් ඩල් – බැස්ටෝන් දේවස්ථානයේ මීසම් පාළනාධිපතිතුමා ලෙසද කටයුතු කර ඇත.

ඊට අමතරව ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමන් රෝමයේ Urbania විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ද, කැළණිය විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් සහ බුද්ධාගම පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් ද හිමි කරගෙන තිබීම ද විශේෂත්වයකි. එසේම එතුමන් ආසියානු රදගුරු සම්මේලනයේ (Federation of Asian Bishops’ Conference – FABC) විධායක ලේකම්වරයා ලෙස ද කටයුතු කර ඇත.

BCI සරසවිය, 2015 වසරේ මීගමුව ප්‍රදේශයේ දී විවෘත කරන ලද අතර, ධනාත්මක වර්ධනය මත පදනම් වූ ප්‍රවේශයක් සහිත, උසස් තත්ත්වයෙන් යුත් තෘතීයික අධ්‍යාපනයක් ලබා දීමට නිරතුරුව ක්‍රියා කරයි. ආචාර්ය ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වය යටතේ BCI හි අරමුණ වන්නේ එහි වැඩසටහන් හරහා ප්‍රජාවට ලබා දෙන වටිනාකම් පුළුල් කරමින්, ක්‍රිස්තුස් වහන්සේ කළ මෙහෙවර හා සමාන සේවයක් ලබා දීම සඳහා කැපවෙමින් අධ්‍යාපන විශිෂ්ටත්වය හරහා නව යුගයක් ඇති කිරීමය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *