July 8, 2025
ගිණුම්හිමියන්ගේ තැන්පතු ආරක්ෂා කරන අතරම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහය වන බව බැංකු අවධාරණය කරයි
පුවත් අලූත් යමක් ජීවිතය ධනය

ගිණුම්හිමියන්ගේ තැන්පතු ආරක්ෂා කරන අතරම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහය වන බව බැංකු අවධාරණය කරයි

Jul 4, 2025

පරාටේ නීති නැවත භාවිතා කිරීම පිළිබඳව අනතුරු ඇඟවීම් හා ඒ පිළිබඳව ව්‍යාකූලත්වයක් ඇති කිරීමට, කුඩා කණ්ඩායමක් විසින් සිදුකරන උත්සාහයන් තරයේ ප්‍රතික්ෂේප කරන බව දිවයිනේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය (SLBA) නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. තවද, මෙයට සම්බන්ධ සහන කාලය දැනට අවසන් වී ඇතත් පුළුල් ලෙස පරාටේ නීතියට අදාල ක්‍රියාමාර්ග ඉතා කඩිනමින් දියත් කිරීමට බැංකුවලට අදහසක් නොමැති බව ව්‍යාපාරික ප්‍රජාවට සහ මහජනතාවට සංගමය අවධාරණය කර තිබේ.

පරාටේ නීතිය අත්හිට වූ කාලය 2025 මාර්තු 31 වන දා අවසන් වූ නමුත්, ඉන් පසුවද බැංකු සමඟ සම්බන්ධ වීමට සහ තම ණය ප්‍රතිව්‍යුහගත කරගැනීමට අපහසුතා තිබූ ණයගැතියන්ට තවදුරටත් කාලය ලබා දෙමින්, බැංකු අංශය විසින් ස්වෙච්ඡාවෙන් ම තවත් මාස තුනකට එම සහනය දීර්ඝ කරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ ණයගැතියන් තම ණය ආපසු ගෙවීම සඳහා තවදුරටත් සහන ලබා ගැනීමට කටයුතු කළ අතර, සමහර අවස්ථාවලදී එම සහන කාලය 2025 දෙසැම්බර් දක්වා ද දීර්ඝ කර දී ඇති බව සංගමය අනාවරණය කළේය.

එම මූලික දීර්ඝ කිරීම දැන් අවසන් වීමත් සමඟ පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සහ උකස් කළ වත්කම් වෙන්දේසි කිරීමේ ප්‍රවාහයක් ළඟදීම ඇති වන බවට භීතියක් ඇති කිරීමේ අරමුණින් ණයගැතියන් අතලොස්සක් නැවතත් විරෝධතාවයන් ආරම්භ කර ඇත. බොහෝ ණයගැතියන් තම ව්‍යාපාර නැවත නඟාසිටුවීම සඳහා බැංකු සමඟ එක්ව ඵලදායී ලෙස කටයුතු කරන අවස්ථාවක, මෙම ප්‍රකාශ අතිශයෝක්තීන් වනවා පමණක් නොව, එමගින් නියත වශයෙන් ම අනිසි ප්‍රතිඵල ඇති විය හැකි බව SLBA පවසයි.

“පරාටේ ක්‍රියාමාර්ග සඳහා අනවශ්‍ය ලෙස ඉක්මන් වීමට බැංකුවලට කිසිදු අදහසක් නොමැති බව දැනට සිටින ණයගැතියන්ට මෙන්ම අනාගත ණයගැතියන්ට ද සහතික කිරීමට අපි කැමැත්තෙමු,” යනුවෙන් SLBA පැවසීය. “යථාර්ථය නම්, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසුකම් ලබන තරමට ම ණය ආපසු ගෙවීම පැහැර හරින්නේ ණයගැතියන්ගෙන් ඉතා සුළු කොටසක් පමණකි. එම පිරිසෙනුත්, අතිමහත් බහුතරයකට තවමත් ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමට සහ වත්කම් විකිණීමෙන් වළක්වා ගැනීමට ඔවුන්ගේ බැංකුවලින් සහය ලැබේ,”යැයි සංගමය පැවසුවේය.

වැඩි දුරටත් මෙම කරුණ පැහැදිලි කරමින් SLBA පෙන්වා දුන්නේ, පරාටේ නීති අත්හිටුවීමට පෙර, එනම් ශ්‍රී ලංකාවේ ණය සේවාකරණයේ වඩාත් ම අභියෝගාත්මක කාලය වූ 2019 හා 2023 වසර පහක කාලය තුළදී අක්‍රිය වූ ණය වලින් 1%ක ටත් වඩා අඩු ප්‍රමාණයක් අවසානයේ දී පරාටේ ක්‍රියාමාර්ගවලට භාජනය වූ බවයි. මෙම දත්ත මගින් අවධාරණය වන්නේ, පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම සිදුකෙරෙන්නේ, අනෙකුත් සියලු ම විසඳුම් හා උත්සාහයන් අසාර්ථක වූ විට දී කළ හැකි අවසාන විසඳුම ලෙස බවයි.

“බැංකුවල ආක්‍රමණශීලී පළමු ප්‍රතිචාරය ලෙස පරාටේ නීතිය නිරූපණය කිරීමට සමහර පාර්ශවයන් දරන්නේ නොමඟ යවන සුළු හා ප්‍රයෝජනවත් නොමැති උත්සාහයන් වේ,” යැයි SLBA පැවසීය. “ඇත්ත වශයෙන් ම, පරාටේ නීති පවතින්නේ තැන්පත්කරුවන්ගේ අරමුදල් ආරක්ෂා කිරීම සඳහා වන අතර, එම අරමුදල් වලින් පුද්ගලයින්ට, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහ විශාල ව්‍යාපාරවලට සහය වීම සඳහා සත්භාවයෙන් ණය ලබා දෙයි. බැංකු විසින් වැඩි කැමැත්තක් දක්වනු ලබන්නේ, තම ගනුදෙනුකරුවන් තම ව්‍යාපාර තුළ රඳවා තබා ගනිමින්, ඔවුන්ව ශක්තිමත් කර ණය අයකර ගැනීමේ ක්‍රියාවලිය වඩාත් සහයෝගීතාවයෙන් යුතුව සිදුකිරීමටයි.”

පාස්කු ඉරිදා ප්‍රහාර, COVID-19 වසංගතය සහ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වූ ව්‍යාපාර දහස් ගණනකට සහය දක්වමින් බැංකු අංශය විසින් සැලකිය යුතු ඉවසීමක් සහ නම්‍යශීලී බවක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා බැංකු සංගමය තවදුරටත් පෙන්වා දුන්නේ ය. දැනටත්, සියලුම බැංකු පීඩාවට පත් ණයගැතියන්හට ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ ශක්‍ය මෙහෙයුම් නැවත ස්ථාපිත කිරීමට උපකාර කිරීම සඳහා කැපවූ ව්‍යාපාර පුනර්ජීවන ඒකක පවත්වාගෙන යනු ලබයි. එමෙන් ම, 2020 සිට අහිතකර ආර්ථික සිදුවීම්වලින් බලපෑමට ලක්වූ ගනුදෙනුකරුවන්හට සහය වීම සඳහා ස්ථාපිත කර ඇති පරාමිතීන්ගෙන් බැහැරව සිටින ණයගැතියන් සමඟ පවා කටයුතු කරන බව ශ්‍රී ලංකා බැංකු සංගමය පවසයි.

“මෙම යාන්ත්‍රණයන් සමඟ සම්බන්ධ වීම වෙනුවට, ණයගැතියන් සුළු පිරිසක් විසින් අනවශ්‍ය බියක් ඇති කිරීමට හා මූල්‍ය පද්ධතිය කෙරෙහි ඇති මහජන විශ්වාසය බිඳ දැමීමට උත්සාහ කිරීම අතිශයින් කණගාටුදායකයි,” යනුවෙන් SLBA පැවසීය. “එවැනි ක්‍රියාමාර්ග වලින් බැංකු අංශයේ ස්ථාවරත්වය හා තම වගකීම් ඉටු කිරීමට කැපවී සිටින සැබෑ ණයගැතියන්ගේ අපේක්ෂාවන් යන දෙකම අඩපණ කිරීමේ අවදානමක් ඇත.”

“දුෂ්කරතාවලට මුහුණ දෙන සියලුම ණයගැතියන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ ප්‍රමාදයකින් තොරව තම බැංකු වෙත ගොස් විනිවිද පෙනෙන, ක්‍රියාශීලී ආකාරයකින් විසඳුම් සොයා ගන්නා ලෙසයි. තැන්පතුකරුවන්, ආයෝජයකින් සහ පුළුල් ආර්ථිකය යන සියල්ල ම බැංකු පද්ධතියේ ශක්තිය මත තම විශ්වාසය තබා ඇත. බැංකු පද්ධතියේ එම ශක්තිය සහ ස්ථාවරත්වය රඳා පවතින්නේ අස්ථානගත භීතිය මත නොව, වගකිවයුතු හැසිරීම සහ ඵලදායී සහභාගීත්වය මතයි,” යනුවෙන් SLBA ප්‍රකාශ කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close