February 5, 2025
බොහෝ නැගෙනහිර යුරෝපා රටවල තානාපති කාර්යාල මෙරටනොතිබීමෙන්රැකියා අයැදුම් කිරීමට අපහසුතා රැසක්
පුවත්

බොහෝ නැගෙනහිර යුරෝපා රටවල තානාපති කාර්යාල මෙරටනොතිබීමෙන්රැකියා අයැදුම් කිරීමට අපහසුතා රැසක්

Apr 7, 2024

වර්තමානයේදී මෝල්ටාව, රුමේනියාව, පෝලන්තය, ස්ලෝවැකියාව, ලිතුවේනියාව, සර්බියාව සහ ඇල්බේනියාව වැනි නැගෙනහිර යුරෝපා රටවල් රැසක රැකියා අවස්ථා රැසක් නිර්මාණය වී තිබෙන නමුත් ඒවාට අයැදුම් කිරීමේදී ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂිතයන්ට සහ විදේශ රැකියා නියෝජිතායතනවලට ගැටලු රැසකට මුහුණ  දීමට සිදු වී ඇත. බොහෝ නැගෙනහිර යුරෝපා රටවල තානාපති කාර්යාල මෙරට නොමැති වීම ඊට හේතුව වේ. බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතන සංගමයේ ලේකම් මොහොමඩ් ෆාරුක් මොහොමඩ් අර්ෂාඩ් පැවසුවේ නැගෙනහිර යුරෝපා රටවල කම්කරු වෘත්තියේ සිට ඉංජිනේරු වෘත්තිය දක්වා පුළුල් පරාසයක රැකියා රැසක් ඇති බවත් ඒවාට අයැදුම් කරන පුද්ගලයන්ට ඉන්දියාවට ගොස් අදාළ තානාපති කාර්යාලවල සේවා ලබා ගැනීමට සති දෙකකට ආසන්න කාලයක් එරට රැඳී සිටීමට සිදු වන බවත්ය.

“සති දෙකක් ඉන්දියාවේ ගත කරන්න සැළකිය යුතු මුදලක් වැය වෙනවා. එරට පිහිටි නැගෙනහිර යුරෝපා රටවල තානාපති කාර්යාලවල විශාල තදබදයක් තිබෙනවා. මේ  නිසා වීසා ගන්න විශාල කාලයක් සහ මුදලක් වැය වෙනවා. වීසා ගැනීමට නොහැකි වුණොත් වැය වූ මුදල්, රැකියා බලපත්‍ර සඳහා අදාළ රටවල නියෝජිතායතනවලට ගෙවූ මුදල් නැවත ගන්න හැකියාවක් නැහැ. අවසානයේ රැකියා අපේක්ෂිතයා වගේම රැකියා නියෝජිතායතනත් අසරණ වෙනවා. රැකියා අපේක්ෂිතයන්ගේ සහ විදේශ රැකියා නියෝජිතායතනවල යහපත මෙන්ම වර්තමාන ආර්ථික තත්ත්වය සළකා බලා නැගෙනහිර යුරෝපා රටවල තානාපති කාර්යාල හෝ වීසා සම්බන්ධ අතරමැදි ආයතන වන VFS මධ්‍යස්ථාන මෙරට පිහිටුවීමට පියවර ගන්නා ලෙස 2017 පටන් අවස්ථා ගණනාවකදී විදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලා තිබුණත් මෙතෙක් සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැහැ. වර්තමාන තත්ත්වය තුළ කාලය සහ මුදල් ඉතිරි කර ගැනීමට, අකැමැත්තෙන් වුණත් එවැනි රටවල රැකියාවලට යොමු වීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලීමට සිදු වී තිබෙනවා. මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර සුදුසු විසඳුමක් දීමට ජනාධිපතිවරයාගේ මැදිහත් වීම අපේක්ෂා කරනවා.” අර්ෂාඩ් මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close