October 8, 2024
ගොවින්ට පමණක් නොව ඕනෑම කෙනෙකුටවිශ්‍රාම වැටුපක් අපෙන්
අලූත් යමක් ධනය නායකයෝ

ගොවින්ට පමණක් නොව ඕනෑම කෙනෙකුටවිශ්‍රාම වැටුපක් අපෙන්

Sep 2, 2023

කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර

වර්තමානයේ ශ්‍රි ලංකාවේ කෘෂිකර්මාන්තයට හිමි වන්නේ ප්‍රධාන තැනකි. පසුගිය කාලයේ ආනයන සීමා පැවැති කාල වකවානුවෙහි ලංකාවට ආහාර ආනයනය ප්‍රමාද විය. එහිදී ලාංකීය මිනිසුන්ගේ ජීවන අවශ්‍යතා සපයාගනු ලැබුවේ රටෙහි කෘෂිකර්මාන්තය මඟිනි. එහෙත් වර්තමානයේ ගොවියාගෙන් සේවයක් ලබාගන්නවා මිසක ගොවියාට රජයෙන් සලසන සේවාවන් පිළිබඳ බොහෝ දෙනෙකු දැනුවත් නැත. රජය විසින් ගොවියාගේ අවධානම කළමනාකරණය කිරීම පිණිස කෘෂි රක්ෂණයක් ආරම්භ කර ඇති අතර ඒ පිළිබඳ ඔබව දැනුම්වත් කරන්නේ කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතායි.

අපි මුළින්ම කතා කරමු කෘෂි රක්‍ෂණය කියන්නේ මොකක්ද කියලා?
ලංකාව කෘෂි කාර්මික රටක්. අපේ රටේ සියයට හැත්තෑවක් පමණ ගොවිතැන් කරනවා. ඇතැම් අය පූර්ණ කාලීන ගොවියන්. ඇතැම් අය අර්ධ කාලීන ගොවියන්. ගොවියගේ මුළු ජීවිත කාලයම කැප කරන්නේ වගාවට. වගාව කියන්නේ ජලය, පොළව, වන සත්තු, දීලිර, වෛරස්, බැක්ටීරියා, නියගය, ගංවතුර හැම දෙයකම එකතුවක්. ඉතින් මේ කෘෂි රක්ෂණය කියන්නේ ගොවින්ගේ අවධානම කළමනාකරණය කරන්න නිර්මාණය කළ ආයතනයක්. මෙය ආරම්භ කළේ 1973. දැනට වසර 50.

මෙයින් සිදු කරන කාර්යය පිළිබඳ මතක් කළොත්?
මෙයින් සිදු කරන්නේ ගොවීන්ගේ සියලුම වගා කටයුතු රක්ෂණය කරන එක. ඒ සඳහා ඉතා සුළු මුදලක් අප අය කරනවා. ඒ කියන්නේ වගාවේ වියදමින් 7%ක් තමයි අප අය කරන්නේ. ඊට අමතරව රජය විසින් බෝග හයක් නොමිලේ රක්ෂණය කර තිබෙනවා. ඒ සඳහා ගොවීන්ට කිසිවක් ගෙවන්න අවශ්‍ය නැහැ. ඒ බෝග නම් වශයෙන් සඳහන් කළොත් වී, බඩ ඉරිඟු‍, සෝයා බෝංචි, ලොකුලූණු, අර්තාපල් සහ ලීක්ස් යන බෝග රුපියල් ලක්ෂයක මුදලකට ආණ්ඩුව විසින් ලබා දී තිබෙනවා. ඒ බෝගවලට යම්කිසි හානියක් සිදුවුණොත් ආණ්ඩුව විසින් ගොවියාට වන්දි ගෙවනවා.

කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය පිළිබඳ යමක් පැවසුවොත්?
කෘෂිකර්ම හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලය පිහිටුවා ඇත්තේ ගොවින්ගේ අවධානම් කළමනාකරණය කිරීමටයි. මෙහිදී ගොවින්ගේ සියලුම භෝගයන් රක්ෂණය කිරීම අප විසින් සිදුකරනවා. එහි ඔවුන්ට සිදුවන අවධානමෙන් ගලවා ගැනීම හා නැවතත් කෘෂිකර්මාන්තයේ නියළිමට අවශ්‍ය ශක්තිය අප විසින් ලබාදීම තමයි අපේ අරමුණ වන්නේ.
ඒ වගේම ගොවියාගේ ගතේ සවිය නැති දාට ඔවුන්ව රැකබලාගැනීම තමයි අපේ ඊළඟ අරමුණ වන්නේ. එහිදී අපේ ගොවි විශ්‍රාම වැටුප මගින් ඔවුන්ට අප ශක්තියක් වනවා. 1987 අංක 12 දරණ ගොවි විශ්‍රාම පනත යටතේ මෙය ලියාපදිංචි වී ඇති නිසා ගොවියන්ගේ විශ්‍රාම දිවිය සරුකරගන්න මෙය විශාල පිටුවහලක් වනවා. උදාහරණයක් විදිහට අවුරුදු 18 වැඩි කෙනෙක් රුපියල් 2700/-අවුරුද්දකට, රුපියල් 270/- මාසයකට ගෙවිමක් සිදු කළ හොත් ඔහුට අවුරුදු 61 දී විශ්‍රාමය රුපියල් 11,000/- දක්වා වර්ධනය වෙනවා. අවුරුදු 63 දී 12500/- අවුරුදු 70 දී 20,000/- 78 දී එය 100,000 දක්වා වැඩි වෙනවා. මේවගේ විශාල ප්‍රතිලාභයක් තියෙන ආයෝජන ක්‍රමයක් තමයි මෙම ගොවි විශ්‍රාම වැටුප් යොජනා ක්‍රමය.
මෙම සමාජ ආරක්ෂණ ක්‍රමයට අමතරව අපගෙන් ලබාගතහැකි ජිවිත රක්‍ෂණය ක්‍රම, සෞඛ්‍ය රක්‍ෂණ ක්‍රම, ගබඩා රක්‍ෂණ ක්‍රම, බිම්මල් වගා රක්‍ෂණ, සත්ව පාලන රක්‍ෂණ, තුන්වන පන්තියේ සියලුම වාහන රක්‍ෂණ වැනි දේවල් මගින් අප හැම විටම බලන්නේ ගොවියාගේ වර්තමාන දිවියේ හා විශ්‍රාම දිවියේ යහපැවැත්මයි.
1990 අංක 26 දරණ ධිවර විශ්‍රාම පනත 1987 අංක 3 දරණ සමාජ ආරක්ෂණ හා ගොවිජන විශ්‍රාම පනත 1999 අංක 20 දරණ කෘෂිකාර්මික සහ ගොවිජන පනත යන අනපනත් යටතේ මෙය ක්‍රියාත්මක වේ.
මෙලෙසම ධීවර ජනතාවටත් විශ්‍රාම වැටුපක් ක්‍රියාත්මකයි. ධීවර ප්‍රජාවගේ සියලු කටයුතුත් අප දෙපාර්තමේන්තුව විසින් සිදු කරනවා. වර්තමාන කෘෂිකර්ම ඇමතිතුමාගේ දැක්ම නිසා මෙම කටයුතු සාර්ථක කරගැනීමට හැකි වුණා. කෘෂි කර්මාන්තයට සඳහා ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩ කටයුතු දැනට සංවිධානය කරගෙන යනවා. ඒ වගේම නිළධාරීන්ගේ පුහුණුව සඳහා මධ්‍යස්ථානයක් පිහිටුවලා තිබෙනවා.
මෙය ලාබ ලැබීමේ අරමුණින් ආරම්භ කළ ආයතනයක් නෙමෙයි වුවත් මෙය ලාබ ලබන ආයතනයක් බව පැවසිය යුතුයි. මෙ සඳහා ලංකාවේ දිස්ත්‍රික්ක විසි පහ තුළ අපගේ කාර්යාල විසිපහක් වගේම මහවැලි කලාප තුළ තව කාර්යාල පහක් තිබෙනවා. මෙම කාර්යාල තිහ තුළ දිස්ත්‍රික් අධ්‍යක්ෂකවරුන්, ක්‍ෂේත්‍ර නිලධාරීන්, කාර්යය මණ්ඩලයක් සිටිනවා. ඒ හරහා සම්පුර්ණයෙන්ම රක්ෂණ කටයුතු ප්‍රාදේශිය මට්ටමින් සිදු වෙනවා. ගොවින්ගේ උන්නතිය උදෙසා මණ්ඩලය විශාල කාර්යයභාරයක් සිදු කරනවා. ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම ගොවි රක්ෂණ කටයුතු හා විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව පුළුල් ප්‍රචාරණයක් ලබාදීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කරමින් පවතිනවා.

මෙම ආයතනයේ වැදගත්කම පිළිබඳ කතා කළොත්?
අපි වැඩ කරන්නේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සමඟ. ගොවිජන සේවා මධ්‍යස්ථාන 562ක් තිබෙනවා. මේ 562 තුළ නිළධාරීන් තමයි බිම් මට්ටමින් ගොවියන් සමඟ සම්බන්ධ වෙන්නේ.

ගොවිජන රක්ෂණයේ වැදගත්කම මතක් කළොත්?
මෙහි තිබෙන පළමුවෙනි වැදගත්කම තමයි ගොවියාගේ අවධානම කළමනාකරණය කිරීම වගේම ගොවීන් සතු අනෙකුත් නිශ්චල හා චංචල දේපල සඳහා වන අවදානම් කළමනාකරණය පෙන්වාදෙන්න පුළුවන්. ඒ වගේම ගොවීන් සතු පශු සම්පත්වලට අදාළ අවදානම් කළමණාකරණය මෙන්ම සමාජ ආරක්‍ෂණ හා ජිවිත රක්‍ෂණ ක්‍රමවේද තුළින් ගොවීන් හා ධීවර ප්‍රජාව සුරක්ෂිත කිරීමත් මෙහි ප්‍රධාන අරමුණක්.
පසුගිය වසරේ මිලියන 1557ක රක්ෂණ මුදලක් ගෙවා තිබෙන අතර මේ වසරේ මිලියන 90 ගෙවීමට තිබෙනවා. ඒ වගේම 2022 වර්ෂයේ යල කන්නය වෙනතුරු වගා හානි වන්දි අප ගෙවා අවසන්. ඒ වගේම අපේ පශු සම්පත් රක්ෂණය, ගොවි විශ්‍රාම වැටුප, බෝග රක්ෂණය වගේම වාහන රක්ෂණය කියලා කොටස් හතරක් තිබෙනවා.

ගොවි විශ්‍රාම වැටුපෙහි ප්‍රයෝජනය පිළිබඳ කතා කළොත්?
ගොවි විශ්‍රාම වැටුප දැනටමත් ජනතාව වැළදගෙන අවසන්. ඇගේ හයිය තිබෙනකම් වගාවක් කරන්න පුළුවන්. උදාහරණයක් විධියට අවුරුදු 65 වෙනකම් වැඩ කරන්න පුළුවන්. නමුත් එතනින් එහාට ගොවියාට මොකද වෙන්නේ. අප සිතිය යුත්තේ එයයි. එයට විසදුමක් ලෙස තමයි ගොවි විශ්‍රාම වැටුප ක්‍රියාත්මක කළේ. අවුරුදු 18 සිට අවුරුදු 55 දක්වා මේ සඳහා බැදෙන්න පුළුවන්. තමන්ගේ සියලුම වගාවන් රක්ෂණය කරගෙන, තමාගේ අතේ තිබෙන පොඩි මුදලත් ආරක්ෂා කොටගෙන වැඩකටයුතු කරගෙන යන්න පුළුවන් මෙම ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමයට සම්බන්ධ වුණොත්. මෙයින් දැනට ප්‍රථිලාභ ලබන බොහෝ පිරිස් සිටිනවා. ගිය කන්නයේ මඩකලපුවේ ගොවියන් පන්දහස් හත්සීයක් වාර්තා වුණා. අනුරාධපුරයෙන් ගොවියන් අක්කර එකොළොස්දාහක් වගා හානියක් සිදුවුණා. මේවට අපි රජයෙන් ගෙවීම් සිදුකරනවා. ගොවියාව සම්පුර්ණයෙන් රැකගැනීම අපේ වගකීමක්.

මෙම ආයතනය පිළිබඳ යම් පැහැදිලි කිරීමක් සිදු කළොත්?
ආයතනයේ මට අමතරව අමාත්‍යාංශ අධ්‍යක්‍ෂතුමා, ලේකම්වරයකු සිටිනවා. ඊට අමතරව ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන අංශ කිහිපයක් තිබෙනවා. රක්ෂණ අංශය, විශ්‍රාම වැටුප් අංශය, මානව සම්පත් අංශය, සැලසුම් අංශය, සංවර්ධන සහ මෙහෙයුම් අංශය, නීති අංශය සහ අභ්‍යන්තර විගණන අංශය ආදි අංශ කිහිපයක් තිබෙනවා. මෙම අංශ හරහා විශාල කාර්ය භාරයක් සිදු කරනවා. අපට තිබෙන ලොකුම ගැටලුව තමයි ගොවින් පිළිබඳ සොයා බැලීමේ යාමේ අපහසුතාවය.

ගෙවතු වගා කරන පුද්ගලයන්ටත් මේ රක්ෂණය සඳහා සම්බන්ධ විය හැකි ද?
ඔව් පුළුවන්. සාමාන්‍යයෙන් අක්කර කාලක් වගේ තිබෙනවානම් සම්බන්ධ වෙන්න පුළුවන්. උක් වගාව, බඩ ඉරිගු වගාව අපට පුළුවන් රක්ෂණය කරන්න.

මේ සඳහා නවීන තාක්ෂණය සම්බන්ධ කරගන්නේ කොහොම ද?
අපගේ විමර්ෂණ කණ්ඩායම් 7ක් මගින් සියලු මෙහෙයුම් කටයුතු සිදු වන අතර ඊට අමතරව යුධ හමුදාව සම්බන්ධ කරගෙන ඔවුන්ගේ ඩ්‍රෝන තාක්ෂණයෙන් වගාවට කොපමණ හානි සිදුවෙලාද කියලා නිරීක්ෂණය සිදු කරනවා. එයින් වන්දි ලබාදෙන පිරිසගේ නියම වන්දි මුදල ඇස්තමේන්තු කිරීමට පහසුවක් වුණා. ඒ නිසා රජයේ මුදල් අවභාවිතය අවම වුණා.

සාමාන්‍යයෙන් හානි පූර්ණය සිදු කරන්නේ කුමන ආකාරයේ දේවල් සඳහා ද?
කෘමි රෝගයක් නියගයක් ගං වතුරක් නම් අප වෙනම ගෙවීමක් සිදු කරනවා. කෘමි හානි සඳහා නොමිලයේ දෙන රක්ෂණ ක්‍රමයක් නැහැ. ගොවිතැන් කරන ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන වකුගඩු රෝග සඳහාත් සෞඛ්‍ය රක්ෂණයක් ලබාදෙන්න අප කටයුතු කරනවා. වගාවට හානියක් සිදු වුවත් ලියාපදිංචි නොවුණත් රජයෙන් නොමිලේ ලබාදෙන රක්ෂණය අප ලබාදෙනවා. මේ පිළිබඳ දැන ගැනීමට ගොවිජන සේවා මධ්‍යස්ථානයට හෝ 1918 අංකයට කතා කරන්න පුළුවන්. දිස්ත්‍රික් කාර්යාල හරහා සම්බන්ධ වෙන්නත් පුළුවන්. බය නැතිව වවන්න කාෂි කර්මාන්තයේ අවධානම අපට ලබාදී අපත් සමඟ අත්වැල් බැඳගෙන විශ්‍රාම දිවිය සවිමත් කරගන්න.

සංවාද හා සටහන : සචිනි බස්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *