December 25, 2024
සෙලාන් බැංකුව අඛණ්ඩව 12 වැනි වරටත් ‘කැදැල්ල Art of Living’ ප්‍රදර්ශනයේ ‘Title Partner’ බවට පත් වෙයි
පුවත්

සෙලාන් බැංකුව අඛණ්ඩව 12 වැනි වරටත් ‘කැදැල්ල Art of Living’ ප්‍රදර්ශනයේ ‘Title Partner’ බවට පත් වෙයි

Nov 26, 2024

සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, අඛණ්ඩව 12 වැනි වරටත් කැදැල්ල Art of Living 2024 ප්‍රදර්ශනයේ ‘නාම හවුල්කරු’ (Title Partner) ලෙස කටයුතු කරයි. Asia Exhibition and Conventions (පුද්.) සමාගම විසින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජීවන රටා ප්‍රදර්ශනය ලෙස සැලකෙන අතර, එය අඛණ්ඩව වසර 18 ක් පුරා පවත්වා තිබේ. මෙවර ප්‍රදර්ශනය 2024 නොවැම්බර් 29 දින සිට 2024 දෙසැම්බර් 01 දින දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වීමට නියමිත ය. මෙහිදී නරඹන්නන්ට පුළුල් පරාසයක පැතිරුණු ජීවන රටා නිෂ්පාදන හා සේවාවන් මෙන්ම සියලුම ආකාරයේ ඉදිකිරීම්, නිවාස වැඩිදියුණු කිරීම් සහ අභ්‍යන්තර අලංකරණ කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු බොහෝ දේ දැකගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

උපදේශක මට්ටමින් ප්‍රදර්ශනයට දායක වෙමින්, නරඹන්නන්ට බැංකු සේවාවන් පිළිබඳව පැහැදිලි මගපෙන්වීමක් ලබාදීමට සෙලාන් බැංකුව අපේක්ෂා කරයි. නිවාස හා පෞද්ගලික ණය, ලීසිං, ක්‍රෙඩිට් කාඩ්පත්, ජංගම හා ඉතුරුම් ගිණුම්, සූර්ය බලශක්ති ණය (Solar Loans) සහ ඩිජිටල් බැංකු සේවා ඇතුළු සේවාවන් රාශියක් ගනුදෙනුකරුවන්ට සෙලාන් බැංකුව වෙතින් ලබාගත හැකි වේ. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් මනාව සැලසුම් කළ මෙම සරල මූල්‍යමය විසඳුම්, විශිෂ්ට සේවාවක්ද සමගින් ලබාගැනීමට නරඹන්නන්ට මෙහිදී අවස්ථාව ලැබෙනු ඇත.

තරගකාරී පොලී අනුපාත යටතේ නිවාස ණය ලබාගත හැකි ආකාරය සම්බන්ධයෙන් නරඹන්නන්ට විශේෂඥ මගපෙන්වීමක් සහ අත්වැලක් ලබාදීම සඳහා සෙලාන් බැංකුව විසින් නිවාස ණය විශේෂඥයන් කණ්ඩායමක් යෙදවීමට නියමිත ය. එම කණ්ඩායම ගනුදෙනුකරුවන් සමග සක්‍රීය ලෙස සම්බන්ධ වෙමින්, ඔවුන්ගේ අවශ්‍යතාවන් මැනැවින් හඳුනාගෙන, ණය අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි හා සවිස්තර මගපෙන්වීමක් ලබාදීමට කටයුතු කරනු ඇත. එමෙන්ම ප්‍රදර්ශනය පැවැත්වෙන කාලසීමාව තුළ, වෙළඳපොළේ සාමාන්‍ය අනුපාතවලට වඩා අඩු විශේෂ පොලී අනුපාත යටතේ ණය පහසුකම් ලබාගැනීමට නරඹන්නන්ට අවස්ථාව හිමි වේ. 

නිවාස හා දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ වෘත්තිකයන් රැසක් ‘කැදැල්ල Art of Living 2024’ ප්‍රදර්ශනයට සහභාගී වීමට නියමිත ය. වෙළඳ කුටි 200 කට අධික සංඛ්‍යාවකින් සමන්විත මෙම ප්‍රදර්ශනයේදී ගෘහෝපකරණ සහ ගෘහ අලංකරණ භාණ්ඩ ඇතුළු භාණ්ඩ හා සේවා වර්ග රාශියක් දැකගැනීමට නරඹන්නන්ට අවස්ථාව හිමි වේ. උද්‍යාන අලංකරණ භාණ්ඩ, ගෘහභාණ්ඩ, මුළුතැන්ගෙයි උපකරණ, ටයිල් වර්ග, ග්‍රැනයිට් සහ නානකාමර උපාංග ඇතුළු භාණ්ඩ වර්ග රාශියක් මෙම වෙළඳ කුටි තුළ ප්‍රදර්ශනය කෙරේ. තවද විදුලි උපකරණ, තීන්ත, වෝල්පේපර්, සිවිලිම් සහ ආලෝකකරණ නිෂ්පාදන ඇතුළු තවත් බොහෝ දේ ඇතුළත් වෙළඳ කුටි රැසක් මීට ඇතුළත් වන අතර, රක්ෂණ සමාගම් කිහිපයක්ද මෙම ප්‍රදර්ශනයට සහභාගී වීමට නියමිත ය. මේ සියල්ල හේතුවෙන් ‘කැදැල්ල Art of Living 2024’ ප්‍රදර්ශනය මෙරට නිවාස හිමියන් සහභාගී විය යුතුම ප්‍රදර්ශනයක් ලෙස සැලකෙන අතර, නැවත වරක් එයට අනුග්‍රාහකත්වය ලබාදීමට හැකි වීම පිළිබඳව සෙලාන් බැංකුව බෙහෙවින් සතුටු වෙයි.  

“කැදැල්ල ප්‍රදර්ශනය සහ අප අතර පවතින හවුල්කාරීත්වයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කිරීමට හැකි වීම අපට මහත් සතුටක්. එය දේපළ හිමියන්ට තිරසාර විකල්ප තෝරාගැනීමට අත්වැලක් වීම සඳහා දෙපාර්ශ්වය දක්වන උනන්දුව හා කැපවීම එක්තැන් කිරීමට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස අප දකිනවා. එම කැපවීම ඔස්සේ අප සෑම විටම උත්සාහ කරන්නේ, අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන්ට හොඳින්ම ගැළපෙන සරල මූල්‍ය විසඳුම් පිරිනැමීමටයි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (විකුණුම් හා අලෙවි) ආසිරි අභයරත්න මහතා පැවසී ය.

සෙලාන් බැංකුව සහ Asia Exhibition and Conventions (පුද්.) සමාගම විසින් ‘කැදැල්ල Art of Living 2024’ ප්‍රදර්ශනයේ අනුග්‍රාහකත්ව ගිවිසුමට අත්සන් තැබීම පසුගියදා සිදුකෙරිණි. නිවසක් හෝ ඉඩමක් මිලදී ගැනීම, නිවසක් ඉදිකිරීම හෝ අලුත්වැඩියා කිරීම සඳහා මුල්‍ය පහසුකම් ලබාගැනීමට බලාපොරොත්තු වන පාරිභෝගිකයින්ට, ඒ සඳහා සෙලාන් බැංකුව වෙතින් ලබාගත හැකි සේවාවන් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට මෙම ප්‍රදර්ශනයේදී අවස්ථාව සැලසෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *