December 3, 2024
SLT-MOBITEL වේගවත්ම 4G ජංගම දුරකථන ජාලය ලෙස Ookla® වෙතින් ඇගයීමට ලක් වේ
පුවත්

SLT-MOBITEL වේගවත්ම 4G ජංගම දුරකථන ජාලය ලෙස Ookla® වෙතින් ඇගයීමට ලක් වේ

Nov 19, 2024

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සේවා භාවිතා පාරිභෝගිකයන්ට වඩාත් වේගවත් සහ උසස් සන්නිවේදන අත්දැකීමක් පිරිනැමීම සඳහා දක්වන කැපවීම නැවත වරක් තහවුරු කරමින්, මෙරට වේගවත්ම 4G ජංගම දුරකථන ජාලය ලෙස Ookla® වෙතින් ඇගයීමට ලක්විය. Ookla® ලොව ස්ථාවර බ්‍රෝඩ්බෑන්ඩ් සහ ජංගම දුරකථන සේවා ජාල පරීක්ෂණ යෙදුම්, දත්ත සහ විශ්ලේෂණ සම්බන්ධ ප්‍රමුඛයා ලෙස සැලකේ.

Ookla® Speedtest Intelligence® දත්ත අනුව 2024 ප්‍රථම කාර්තුවේ ශ්‍රී ලංකාවේ වේගවත්ම 4G ජංගම දුරකථන ජාලය ලෙස SLT-MOBITEL Mobile ඇගයීමට ලක් විය. ඒ අනුව මෙරට ජංගම දුරකථන ජාලවල ක්‍රියාකාරීත්වය සහ විශිෂ්ට පරිශීලක අත්දැකීම සම්බන්ධ ප්‍රමුඛයා ලෙස තමන් සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරගැනීමට SLT-MOBITEL සමත් වී ඇත. විශ්වාසනීය ජංගම දුරකථන සේවා සඳහා ක්‍රමයෙන් ඉහළ යන ඉල්ලුම සපුරාලමින් සහ පාරිභෝගික සහ ආයතනික පාරිභෝගිකයන්ගේ දිනෙන් දින වෙනස්වන ඩිජිටල් අවශ්‍යතා ඉටුකරමින් රට තුළ ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා සමාගම දක්වන උනන්දුව හා කැපවීම මෙම ජයග්‍රහණය මගින් මැනැවින් පිළිඹිඹු වේ.

මෙරට දුරකථන සේවා වෙළඳපොළට ආදර්ශයක් සපයමින් මීට පෙරද 2019, 2020 සහ 2021 යන වසරවලදී  Ookla® Speedtest Intelligence® දත්ත අනුව මෙරට වේගවත්ම 4G ජංගම දුරකථන ජාලය ලෙස අඛණ්ඩව ඇගයීමට ලක්වීමට SLT-MOBITEL සමත් විය. පාරිභෝගිකයන්ට විශ්වාසනීය හා උසස් තත්ත්වයේ ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා හිමි විය යුතු බව විශ්වාස කරන SLT-MOBITEL, සේවා ප්‍රශස්තකරණය සහ නවෝත්පාදන ඔස්සේ සිය ප්‍රමිතීන් අඛණ්ඩව ඉහළ නැංවීමට කැපවී සිටින අතර, ඒ ඔස්සේ සැබෑම ඩිජිටල් ජීවන රටා අත්දැකීමකට අනුගත වීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසියන් සවිබල ගන්වමින් සිටී.

SLT-MOBITEL අත්කරගත් මෙම නවතම ජයග්‍රහණය තුළින් පිළිබිඹු වන්නේ, පාරිභෝගිකයන් සඳහා පුළුල්ම ආවරණයක් සහ විශිෂ්ටතම අත්දැකීමක් සහතික කරමින් මෙරට දුරකථන සන්නිවේදන යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජන කිරීම සඳහා සමාගම දක්වන අඛණ්ඩ කැපවීමයි. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය තුළ තමන් ඉටුකරමින් සිටින කේන්ද්‍රීය භූමිකාවේ කොටසක් වශයෙන් SLT-MOBITEL මේ වනවිට මෙරට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුව උදෙසා ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික ආයෝජන සිදුකර තිබේ.

එමෙන්ම මේ වනවිට 5G තාක්ෂණය සම්බන්ධයෙන්ද කැපීපෙනෙන ප්‍රගතියක් අත්කරගැනීමට SLT-MOBITEL සමත් වී ඇත. දකුණු ආසියානු කලාපයේ 5G තාක්ෂණය අත්හදා බැලු ප්‍රථම සමාගම වූ SLT-MOBITEL මේ වනවිට ශ්‍රී ලංකාවේ සම්බන්ධතා තාක්ෂණයේ අනාගතය වෙනුවෙන් නව මංමාවත් විවර කරමින්, රටේ ප්‍රධාන නගර කිහිපයක පූර්ව-වාණිජ 5G අත්හදා බැලීමේ කලාප ස්ථාපිතකර තිබේ. දිගින් දිගටම යටිතල පහසුකම් වෙනුවෙන් ආයෝජනය කරමින් සහ අතිනවීන තාක්ෂණ ගවේෂණය කරමින්, ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් යුගය තුළ සාර්ථකත්වය ළඟා කරගැනීමට මහෝපකාරීවන ජාත්‍යන්තර තලයේ සම්බන්ධතා පහසුකම් පිරිනැමීම සමාගමේ අරමුණ වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *