October 16, 2024
පාසල් විෂයක් ලෙස සමුද්‍ර විද්‍යාව හඳුන්වාදීමට CINEC Campus පූර්ණ සහාය දක්වයි
පුවත්

පාසල් විෂයක් ලෙස සමුද්‍ර විද්‍යාව හඳුන්වාදීමට CINEC Campus පූර්ණ සහාය දක්වයි

Jul 19, 2024

අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ 6 ශ්‍රේණියෙන් ඉහළ සිට පාසල් විෂයක් ලෙස වාණිජ නාවිකකරණය සහ සමුද්‍ර විද්‍යාව හඳුන්වා දීමේ වැඩසටහනට CINEC Campus සිය පූර්ණ සහයෝගය පළ කරයි. මෙරට අධ්‍යාපන සහ නාවික ක්ෂේත්‍රයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වාණිජ නැව්ගතකරණය සහ සමුද්‍ර විද්‍යාව පාසල් විෂය මාලාවට ඇතුළත් කරන බව ජාතික අධ්‍යාපන ආයතනය පසුගියදා නිවේදනය කළේය. දැනට 16,000ක් පමණ වන ශ්‍රී ලාංකික නාවිකයන් සංඛ්‍යාව 2030 වන විට 50,000 දක්වා ඉහළ නැංවීම මෙහි ප්‍රධාන ඉලක්කය වේ. මෙම විෂය හැදෑරීමෙන් නාවික ක්ෂේත්‍රයට අදාළ වාණිජ සහ විද්‍යාත්මක පැතිකඩ පිළිබඳව පුළුල් අවබෝධයක් ලැබීමට පාසල් සිසුන්ට අවස්ථාව ලැබේ.

වාණිජ නාවිකකරණය සහ සමුද්‍ර විද්‍යාව විෂය, නාවික, වාණිජ හා ආර්ථික සන්දර්භවල පරිණාමය, තාක්ෂණික දියුණුව, සමුද්‍රීය ප්‍රවාහනයේ වැදගත්කම, ප්‍රායෝගික කුසලතා සංවර්ධනය සහ අන්තර් විනය සම්බන්ධතා යනුවෙන් ප්‍රධාන කොටස් හයකින් සමන්විත වේ. මෙම සෑම ක්ෂේත්‍රයකට අදාළ දැනුමෙන් සිසුන් සන්නද්ධ කිරීමෙන් නාවික ක්ෂේත්‍රයට ආර්ථික වශයෙන් ඇති වැදගත්කම සහ ගෝලීය වශයෙන් එහි ඇති බලපෑම පිළිබඳව පුළුල් අවබෝධයක් ඔවුන්ට ලැබේ. මහාචාර්ය ලලිත් එදිරිසිංහ රචනා කළ මීට අදාළ නිල පෙළ පොත මුද්‍රණය කිරීම හරහා CINEC Campus මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට විශාල කාර්යභාරයක් ඉටු කළේය. ක්ෂේත්‍රයට අදාළ අභියෝග හඳුනා ගනිමින් ඒවාට මුහුණ දීම සඳහා පෙර සූදානමක් සහිත වෘත්තිකයන් පිරිසක් බිහි කිරීමේ අරමුණෙන් අදාළ විෂය නිර්දේශය සකසා ඇත. නාවික වෘත්තිකයන්ට ඉහළ වැටුප් හිමි වන බැවින් ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් විදේශ විනිමය ඉපැයීම සඳහාත් මෙම වැඩසටහන ප්‍රමුඛ දායකත්වයක් දක්වනු ඇත. රටේ පුහුණු ශ්‍රමික ප්‍රජාව ඉහළ නැංවීම සහ පවුල් සංස්ථාවල ආදායම් වර්ධනය කිරීම වැනි තවත් බොහෝ සෘජු සහ වක්‍ර වාසි මේ තුළින් සැළසෙනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *