යුරෝපීය වෙළෙඳපොලෙහි දිගුකාලීනව රැඳීසිටීම වෙනුවෙන් රජය දක්වන කැපවීම පිළිබඳව ශ්‍රී ලංකා ඇඟලුම් සංගම් සංසදය ප්‍රසාදය පලකර සිටියි
නව වසර 10 ක වෙළෙඳ සැලසුම යටතේ, යුරෝපා සංගමයේ GSP+බදු සහනය සඳහා අයදුම් කිරීමට රජය ගෙන ඇති තීරණය පිළිබඳ ශ්‍රී ලංකා ඇඟලුම් සංගම් සංසදය (JAAF) ප්‍රශංසාව පල කර සිටියි.
GSP+ යනු මෙරට ඇඟලුම් කර්මාන්තය සඳහා ලබා දෙන සුවිශේෂී බදු සහනයක් පමණක් නොවේ. අපගේ විශාලතම වෙළෙඳපොළ තුළ අපනයනකරුවන්ගේ තරඟකාරීත්වය රැකදෙන එය ලක්ෂ සංඛ්‍යාත සේවකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල ජීවනෝපාය ශක්තිමත් කරනු ලබයි. එබැවින් මෙම සහනය අඛණ්ඩව හිමිවීම ඇඟලුම් කර්මාන්තයට මෙන්ම රටේ සමස්ත ආර්ථිකයටම ඉතා වැදගත් වනු ඇති බවද එම සංසදය පෙන්වා දෙයි.
මෙහිදී රජය ක්‍රියාත්මක කරන දෙවැදෑරුම් ප්‍රවේශයද අගය කරන JAAF, සංශෝධිත රාමුව යටතේ දැනට පවතින GSP+ සහනය තවදුරටත් ආරක්ෂා කර ගන්නා අතරම, යුරෝපා වෙළෙඳපොළට වඩාත් ස්ථාවර සහ දිගුකාලීන ප්‍රවේශයක් ලබාගත හැකි විකල්ප ක්‍රමවේදයන් පිළිබඳවද සොයා බැලීමට හැකි වේ. වත්මන් සහන ආරක්ෂා කරගනිමින් අනාගතය සැලසුම් කිරීමේ මෙම සමබරතාවය ඇඟලුම් ක්ෂේත්රයට අත්‍යවශ්‍ය වන අතර, එමඟින් අපනයනකරුවන්ට සහ ආයෝජකයන්ට විශ්වාසයෙන් යුතුව තම අනාගත කටයුතු සැලසුම් කිරීමට අවස්ථාව උදා වනු ඇත.
ශ්‍රී ලංකාවට හිමි මෙම බදු සහන ප්රතිලාභ ඉදිරි වසරවලදීත් එලෙසම පවත්වාගෙන යාම සඳහා, නැවත අයදුම් කිරීමේ ක්‍රියාවලිය සාර්ථකව නිම කිරීම සහ යාවත්කාලීන කරන ලද සුදුසුකම් මෙන්ම අනුකූලතා අවශ්‍යතා සපිරීම අතිශය තීරණාත්මක වන බව පිළිගන්නා JAAF ඒ වෙනුවෙන් තම දායකත්වය උපරිමයෙන් ලබා දීමට සූදානමින් සිටියි.
මෙය ගෝලීය ගැනුම්කරුවන් ඉදිරියේ අපගේ කර්මාන්තයට අත්කරගෙන ඇති කීර්තිය සහ මෙම බදු සහන ක්‍රමවේදයට පදනම වී ඇති ඉහළ ශ්‍රම ප්රමිතීන්, පාරිසරික වගකීම් සහ යහපාලන අගයන් අඛණ්ඩව ආරක්ෂා කිරීමට අවස්ථාවක් වනු ඇති බවද එම සංගමය පෙන්වා දෙයි.
ඇඟලුම් ක්ෂේත්රය තවදුරටත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන ආදායම් මාර්ගයක් ලෙස පෙන්වා දිය හැකි අතර 2025 වසරේදී මෙම ක්ෂේත්රයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 සීමාව ඉක්මවා යන ලදී. එමෙන්ම එය රටේ සමස්ත අපනයන ආදායම වූ ඩොලර් බිලියන 17.25 න් 32% කට සහ කාර්මික අපනයනවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයකට දායක වී ඇත. ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනයෙන් 24% ක් ලබාගන්නා යුරෝපා සංගමය මෙම සාර්ථකත්වයට ප්‍රධාන හේතුවකි. එබැවින් GSP+ සහනය දිගටම ලැබීම ඇඟලුම් කර්මාන්තයට, එහි සේවක මණ්ඩලයට සහ ජාතික ආර්ථිකයට බෙහෙවින් වැදගත් වේ.
නියමිත වේලාවට සහ නිවැරදිව මෙම අයදුම්පත් ක්‍රියාවලිය නිම කිරීමටත්, යුරෝපා සංගමය සමඟ ශ්‍රී ලංකාවේ දිගුකාලීන හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමටත් රජය සහ සියලුම පාර්ශවකරුවන් සමඟ සමීපව කටයුතු කිරීමට JAAF බලාපොරොත්තු වෙයි.

