September 30, 2026
HNB සිඟිති 35 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය බැංකුවක් නිපදවූ ප්‍රථම සජීවීකරණ සිනමාමය අත්දැකීම “සුපිරි වීර ජම්බෝ” එළි දකී
පුවත්

HNB සිඟිති 35 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලාංකීය බැංකුවක් නිපදවූ ප්‍රථම සජීවීකරණ සිනමාමය අත්දැකීම “සුපිරි වීර ජම්බෝ” එළි දකී

Sep 30, 2026

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට ප්‍රථම සන්නාමගත ළමා ඉතුරුම් ගිණුම වන HNB සිඟිති හි 35 වැනි සංවත්සරය සනිටුහන් කරමින් ‘’සුපිරි වීර ජම්බෝ” නමින් නවතම කතා මාලාවක් එළි දැක්වීය. මෙය ශ්‍රී ලාංකීය බැංකුවක් විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රථම සජීවීකරණ වීර චරිතය සහිත කතා මාලාව වීම විශේෂත්වයකි. මෙම කතා මාලාවේ මංගල දර්ශනය 2026 සැප්තැම්බර් 29 වැනි දින කොළඹ 05, හැව්ලොක් සිටි මෝල් හි ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්විණි. මෙහි පළමු කතාංගය HNB හි නිල යූටියුබ් නාලිකාව ඔස්සේ ඔක්තෝම්බර් 1 වනදා නැරඹිය හැකි අතර, සෑම සතියකම නව කොටස් බැගින් මුදාහැරීමට කටයුතු යොදා ඇත.

මෙම සජීවීකරණ කතා මාලාවේ පළමු දිගහැරුම කොටස් 10කින් සමන්විත වේ. එහිදී කවුරුත් හොඳින් හඳුනන වැඩිහිටි කුඩා කා අතරත් ආදරය දිනාගත් ජම්බෝ කැටයේ අලි පැටවාගේ චරිතය මෙවර සුපිරි වීරයකු ලෙසින් දරුවන් හමුවට පැමිණේ. මෙහි විශේෂත්වය වන්නේ මෙහි මූලික සංකල්පය, නිර්මාණකරණය සහ කථා වස්තුව HNB බැංකු සාමාජිකයින්ගේ අතින්ම නිර්මාණය වීමයි. එසේම එහි එන විවිධ චරිත සහ තේමා ගීතය සඳහා ද HNB සාමාජිකයින් හය දෙනෙකු සිය හඬ දායකත්වය ලබා දී ඇත. මෙහි පුංචි දරුවන්ගේ සිත්ගත් ‘ජම්බෝ‘ගේ චරිතයට සුනෙත් චිත්‍රානන්ද (චූටි මල්ලි) ද, ප්‍රධාන දුෂ්ටයා වන ‘රුම්බෝ‘ගේ චරිතයට ප්‍රවීණ හඬ නළු අතුල ජයසිංහ ද, ‘දඩෝනිස්‘ නම් දුෂ්ට චරිතයට රූපවාහිනී ප්‍රේක්ෂකයින් අතර ජනාදරයට පත් ගාමින්ද ප්‍රියවිරාජ් (පොඩි මල්ලි) ද සිය හඬ දායකත්වය ලබා දී තිබේ. මෙහි සජීවීකරණ අධ්‍යක්ෂණය Visual X විසින් ද ශබ්ද පරිපාලනය සහ හඬකැවීම් අධ්‍යක්ෂණය DC Productions විසින් ද සිදුකර ඇත.

මෙම කතාන්දරය මඟින් මිත්‍රත්වය, විශ්වාසවන්තකම සහ නොපසුබට උත්සාහය වැනි වටිනා ගුණාංග දරුවන්ට කියා දීමට උත්සාහ කර ඇත. එහිදී, ‘ජම්බෝ‘ගේ සුපිරි වීර චරිතය හරහා, ඉවසීම සහ කැපවීම තුළින් ජීවිතයට යහපතක් ළඟා කර ගන්නා ආකාරය දරුවන්ට කියා දෙන අතරම, මුදල් ඉතිරි කිරීමේ පුරුද්ද ද ඒ හා සමාන බව මනාව පැහැදිලි කර දෙයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB උප සභාපති – අලෙවි සහ ආයතනික සන්නිවේදන උපුල් අධිකාරි මහතා පැවසුවේ “HNB සිඟිති ගිණුම වසර 35ක් පුරාවට ශ්‍රී ලාංකීය පවුල්වල ඉතුරුම් පුරුද්ද සමඟ සමීපව බැඳී පවතිනවා. සිඟිති සන්නාමය සැමවිටම දිරිමත් කළ ඉවසීම, විනය සහ අඛණ්ඩ කැපවීම වැනි වටිනාකම්, දරුවන්ගේ සිත්වලට පහසුවෙන් සමීප කරවිය හැකි ආකාරයකින් ඉදිරිපත් කිරීමට ‘සුපිරි වීර ජම්බෝ’ සමත්ව තිබෙනවා. මුදල් ඉතිරි කිරීමේ පුරුද්ද මෙන්ම, යහපත්කම සැමවිටම ජය ගන්නේ ඉවසීමෙන් සහ අසීමිත කැපවීමෙන් බව කියන පණිවිඩය දරුවන්ගේ සිත්වලට කාවැද්දීම අපේ අරමුණයි. අපේම බැංකු කාර්ය මණ්ඩලයේ දායකත්වයෙන් මේ කතා මාලාව නිර්මාණය කිරීමට අප තීරණය කළේ ඒ නිසාමයි. ඒ හරහා, බැංකු ශාඛාවෙන් හෝ පාසල් පන්ති කාමරයෙන් ඔබ්බට ගොස් අපගේ පුංචි දුවා දරුවන් සහ ඔවුන්ගේ පවුල් සමඟ දිගුකාලීනව සමීපව කටයුතු කිරීමට HNB වෙත මෙය කදිම අවස්ථාවක්.” යනුවෙනි.

දරුවෙකු උපන් දිනයේ සිටම ආරම්භ කළ හැකි HNB සිඟිති ඉතුරුම් ගිණුම, ගතවූ වසර 35ක් පුරා දිවයින පුරා පිහිටි පාසල්වල ශිෂ්‍ය ඉතුරුම් ඒකක 120කට වඩා පිහිටුවීමට කටයුතු කර ඇත. මෙම ඒකක හරහා HNB පාරිභෝගික ඒකකවල නිලධාරීන් සෘජුවම පාසල් වෙත ගොස් දරුවන් වෙනුවෙන් විවිධ ඉතුරුම් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

මෙම සුවිශේෂී සජීවීකරණ කතා මාලාව එළිදක්වනු ලබන්නේ ඔක්තෝබර් මාසයේ යෙදෙන ‘සිඟිති ඉතුරුම් මාසයට‘ සමගාමීවය. දරුවන්ට ඉතිරි කිරීමේ වටිනාකම කියා දීම වෙනුවෙන් ලෝක ළමා දිනය සහ ලෝක සකසුරුවම් දිනය අතර කාලසීමාව තුළ HNB මෙම විශේෂ ඉතුරුම් මාසය වාර්ෂිකව සංවිධානය කරනු ලබයි.

සුපිරි වීර ජම්බෝ කතා මාලාව ශ්‍රී ලාංකීය බැංකු ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මේ හරහා, වසර 35ක් පුරා පාසල් පන්ති කාමරයට පමණක් සීමා වී තිබූ HNB සිඟිති ඉතුරුම් පණිවිඩය, සෘජුවම ශ්‍රී ලාංකීය පවුල්වල නිවසටම රැගෙන යාමට HNB කටයුතු කර ඇත. මෙය මතු පරපුරේ පුංචි ඉතුරුම්කරුවන් හඳුනා ගැනීම සඳහා බැංකුවට ලැබුණු කදිම අවස්ථාවකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close