‘ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට්’ 2026 වාර්ෂික කාර්ය මණ්ඩල සම්මාන උළෙල උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් අලෙවිසැල් ජාලයක් වන ‘ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට්’ හි 2026 වාර්ෂික කාර්ය මණ්ඩල සම්මාන උළෙල පසුගියදා Monarch Imperial හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. රට පුරා විසිරුණු ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් අලෙවිසැල් ජාලයෙහි සේවය කරන සේවක සේවිකාවන් 1,000 කට අධික පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.
සමාගමේ ඉහළ නිලධාරීන් සහ සම්භාවනීය ආරාධිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. මෙහිදී සමාගමේ දියුණුව උදෙසා කැපීපෙනෙන දායකත්වයක් දැක්වූ සේවක සේවිකාවන් රැසකට සම්මාන හා ඇගයුම් පිරිනමන ලදි.
උත්සවයේ එක් සුවිශේෂී අංගයක් වූයේ සමාගමේ දීර්ඝ කාලයක් සේවය කළ සේවක සේවිකාවන්ට උපහාර පිදීමය. ඇතැම් සේවක සේවිකාවන් වසර 10, 15 සහ 20 ඉක්මවූ සේවා කාලයන් සම්පූර්ණ කර තිබීම, සමාගම තුළ වෘත්තීය දියුණුව සඳහා ඇති අවස්ථා මෙන්ම සමාගම කෙරෙහි ඔවුන් තුළ ඇති ළැදියාවට මනා සාක්ෂියකි. මීට අමතරව 2025 මැයි මාසයේ සිට 2026 අප්‍රේල් මාසය දක්වා සමාගම තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ සේවක සේවිකාවන් වෙත කාණ්ඩ රැසක් යටතේ සම්මාන පිරිනමන ලදි. පාරිභෝගික සේවාව, ඉලක්ක ළඟා කරගැනීම, මානව සම්පත් සහ තත්ත්ව සහතිකකරණය ඇතුළු ප්‍රධාන මෙහෙයුම් සහ කාර්යසාධන දර්ශක යටතේ මෙලෙස ඔවුන්ට සම්මාන හා ඇගයුම් හිමි විය.
1993 වසරේදී එක් වෙළඳසැලකින් ආරම්භ වූ ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ඇඟලුම් හා විලාසිතා ජාලයක් දක්වා වර්ධනය වී ඇති අතර, පාරිභෝගිකයින්ට ඉන් ඇඳුම් පැළඳුම්, ආභරණ, රූපලාවණ්‍ය නිෂ්පාදන සහ නිවසට අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළු බොහෝ දේ මිලදීගත හැකි වේ. වර්තමානයේදී ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් සමාගම කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මීගමුව සහ රත්නපුර යන නගරවල ප්‍රදර්ශනාගාර විවෘත කර ඇති අතර, මහනුවර නගරයේ ප්‍රධාන පෙළේ ප්‍රදර්ශනාගාර දෙකක් පවත්වාගෙන යයි. රටේ වැඩි පිරිසකට සාධාරණ මිලකට උසස් ප්‍රමිතියෙන් යුත් ඇඟලුම් මිලදී ගැනීමට අවස්ථාව උදාකර දීම සඳහා තවත් ප්‍රදේශ කිහිපයකම ශාඛා විවෘත කිරීමටද සමාගම සැලසුම් කර ඇත. මෙම වසරේ අගභාගයේදී කොළඹ ප්‍රදේශයේ තවත් නවතම ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීමටද සමාගම බලාපොරොත්තු වෙයි.
දැනටමත් 1,000 කට අධික පිරිසක් සේවය කරන ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් සමාගම මේ වන විට නව පරපුරේ නායකත්වයක් යටතේ ඉදිරියට යමින් සිටින අතර, මධුෂිකා සෙල්වරාජ්, දිනුෂිකා සෙල්වරාජ් සහ ෂබ්‍රජිත් සෙල්වරාජ් යන අධ්‍යක්ෂවරුන් හා අධ්‍යක්ෂවරියන් එහි ප්‍රධාන අංශ සහ ව්‍යාපාරය පුළුල් කිරීමේ කටයුතුවලට නායකත්වය ලබාදෙමින් සිටිති.
“මෙම වාර්ෂික සම්මාන උළෙල අපගේ ශාඛා ජාලය පුරා සේවය කරන සේවක සේවිකාවන්ගේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා ලැබෙන අනගි අවස්ථාවක්. ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් හි සාර්ථකත්වයට පදනම වී ඇත්තේ අපගේ කාර්ය මණ්ඩලයේ උනන්දුව හා කැපවීමයි. සමාගමක් දියුණු වන විට එම දියුණුවට දායක වන පුද්ගලයින්ගේ ජීවිතද වැඩිදියුණු විය යුතු බව අප තරයේ විශ්වාස කරනවා.” ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් සමාගමේ නිර්මාතෘ සහ සභාපති මාරියාපිල්ලෙයි සෙල්වරාජ් මහතා පැවසීය.
“අප මෙම ව්‍යාපාරය ආරම්භ කළ අවස්ථාවේදී එහි මෙහෙයුම් කටයුතු කළමනාකරණය කළේ අපගේ වර්තමාන සාමාන්‍යාධිකාරී නඩේසන් කනගරාජ් මහතා සහ මා පමණයි. අද වන විට කාර්ය මණ්ඩලයේ 1,000 කට අධික පිරිසක් සේවය කරන මහා පරිමාණ සමාගමක් ගොඩනැංවීමට අපට හැකි වී තිබෙනවා. ඉදිරියේදී නව ප්‍රදර්ශනාගාර විවෘත කිරීමට සැලසුම් කර ඇති බැවින්, අපගේ මීළඟ සේවක සම්මාන උළෙල පැවැත්වෙන දිනය වන විට සේවක සේවිකාවන් සංඛ්‍යාව තවත් 300 කින් පමණ ඉහළ යාවි. සමාගමේ දියුණුවට සමගාමීව අපගේ කාර්ය මණ්ඩලයද දියුණුව කරා පියනඟමින් සිටින ආකාරය දකින විට, සමාගමේ අනාගතය පිළිබඳව මෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අප දක්වන දායකත්වය පිළිබඳව අප තුළ මහත් ආඩම්බරයක් ඇති වෙනවා. ජනතාව සමෘද්ධිමත් වීම යනු රටද සමෘද්ධිමත් වීමක්.” සෙල්වරාජ් මහතා වැඩිදුරටත් පැවසීය.
තවද සේවක සේවිකාවන් ඇගයීමට ලක්කිරීම සමාගමේ ආයතනික සංස්කෘතියේ සහ දීර්ඝකාලීන දැක්මේ අනිවාර්ය අංගයක් බවද සභාපතිතුමන් අවධාරණය කළේය. එමඟින් කාර්ය මණ්ඩලයට නිසි පිළිගැනීම සහ වටිනාකම හිමි වන අතර, ඒ ඔස්සේ ආයතනය වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දීමට ඔවුහු නිතැතින්ම පෙළඹෙති.
ඉදිරියේදීත් ව්‍යාපාරකරණයේ සීමාවන්ගෙන් ඔබ්බට යමින් තම කාර්ය මණ්ඩලයේ මෙන්ම ප්‍රජාවන්ගේ යහපත වෙනුවෙන් කැපවීම ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් සමාගමේ අරමුණ වී තිබේ. ව්‍යාපාරික දියුණුව සහ සේවක යහපත අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින බව සමාගම දැඩි ලෙස විශ්වාස කරන අතර, එම විශ්වාසය ඔස්සේ කාර්ය මණ්ඩලයට සමාගම සමඟ එක්ව දියුණු වීමට අවස්ථා නිර්මාණය කරන අතරම, ශක්තිමත් ප්‍රජාවන් සහ වඩාත් සමෘද්ධිමත් දේශයක් ගොඩනැංවීමට දායක වීම සඳහා සමාගම සෑම විටම සූදානමින් සිටී.

