බලශක්ති පෙරළියෙන් ඇඟලුම් ක්ෂේත්‍රයට නව තරගකාරී වාසියක් ලබා දෙන ටීජේ ලංකා ගමනක ඇරඹුම
ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා ඇඟලුම් කර්මාන්තය ගෝලීය සැපයුම් දාමයේ සිය ස්ථානය රැකගැනීම සඳහා ගුණාත්මකභාවය, විශ්වසනීයත්වය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වීම යන සාධක කෙරෙහි ප්‍රධාන වශයෙන් විශ්වාසය තබන ලදි. අඩු පිරිවැය වෙනුවට උසස් තත්ත්වය සහ වගකීම් සහගත නිෂ්පාදනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන තරගකාරී වාසිය විය. එහෙත් එම පැරණි සූත්‍රය අද ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී. වියට්නාමය, බංග්ලාදේශය සහ ඉන්දුනීසියාව වැනි රටවල් ගුණාත්මකභාවය හා අනුකූලතාව අතින් පැවැති පරතරය සැලකිය යුතු ලෙස අඩුකරගෙන ඇති අතර, ශ්‍රී ලංකාවේ පළපුරුදු කර්මාන්ත වෘත්තිකයන් කලාපයේ සෙසු කර්මාන්තශාලා සහ මෙහෙයුම් වෙත සංක්‍රමණය වීමද එම තරගකරුවන්ගේ ශක්තිය වැඩි කර තිබේ. කලක් ශ්‍රී ලංකාව සෙසු රටවලින් වෙන්කර දැක්වූ විශේෂත්වය තවදුරටත් සුවිශේෂී නොවන විට, නව තරගකාරී වාසිය සොයාගැනීම කර්මාන්තය ඉදිරියේ ඇති අත්‍යවශ්‍ය අභියෝගය බවට පත්ව ඇත.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෙදිපිළි නිෂ්පාදන සමාගමක් වන ටීජේ ලංකා පීඑල්සී නව තරගකාරී වාසියක් සොයා යන ගමනේදී සිය අවධානය සෘජුවම යොමු කර ඇත්තේ බලශක්තිය වෙතය. සමාගමේ බලශක්ති පරිවර්තනය, එහි ‘අභිවාර 2030’ පාරිසරික තිරසරභාවය පිළිබඳ උපායමාර්ගයේ ප්‍රධාන කුලුනක් වන අතර, හරිතාගාර වායු විමෝචනය අඩු කරමින් දිගුකාලීන ව්‍යාපාරික තරගකාරීත්වය ශක්තිමත් කිරීම සඳහා විද්‍යාත්මක ඉලක්ක පිළිබඳ වැඩසටහන හෙවත් SBTi මඟින් තහවුරු කළ සමාගමේ කැපවීමටද එය සහාය වේ. මේ වන විට ටීජේ සමාගම තුළ බලශක්ති පිරිවැය අඩු කිරීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පාරිසරික තිරසරභාවයට පමණක් සීමා වූ ප්‍රමුඛතා ලෙස නොව, ව්‍යාපාරයේ අනාගතය තීරණය කරන උපායමාර්ගික සාධක ලෙස සැලකෙමින් තිබේ. සමාගම සිදුකර ඇති ආයෝජනවල පරිමාණය අනුවද මෙය හුදු අභිලාෂයක් නොව, දිගුකාලීන ව්‍යාපාරික උපායමාර්ගයක් බව පැහැදිලි වන්නේය.
මෙම හදිසි අවශ්‍යතාවට හේතු වූ ඇතැම් සාධක ශ්‍රී ලංකාවට කිසිදු ලෙසකින් හෝ පාලනය කළ නොහැකි තරම් දුරකින් පවතී. මැදපෙරදිග යළි උද්ගත වී ඇති අස්ථාවරත්වය හේතුවෙන් පොසිල ඉන්ධන වෙළෙඳපොළ නැවතත් අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇති අතර, එය බලශක්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කොතරම් බාහිර කම්පනවලට නිරාවරණය වී ඇත්ද යන්න සිහිපත් කරයි. මෙරට බලශක්ති අවශ්‍යතාවල විශාල කොටසක් ආනයනය මත රඳා පවතින බැවින් ලෝකයේ අනෙක් කෙළවරක හටගන්නා අර්බුදයක් සති කිහිපයක් ඇතුළත මෙරට කර්මාන්තශාලාවක විදුලි බිල ඉහළ යාමක් ලෙස ප්‍රකාශ විය හැකිය. පැය විසිහතර පුරා ඉහළ බලශක්ති පරිභෝජනයක් සහිත මෙහෙයුම් පවත්වාගෙන යන නිෂ්පාදකයකුට එය අනාගතයේදී සලකා බැලිය යුතු න්‍යායාත්මක අවදානමක් නොවේ. එම අවදානම අද වන විටම ව්‍යාපාරික තීරණ හැඩගස්වමින් පවතින අතර, ඇතැම් විට මූල්‍යමය වාසිය කඩදාසි මත සම්පූර්ණයෙන් පැහැදිලි නොවුණද දිගුකාලීන බලශක්ති ආරක්ෂාව වෙනුවෙන් ආයෝජන කිරීමට සමාගම් පෙළඹෙන්නේද ඒ නිසාය.
ටීජේ සමාගමේ වහල මත ඉදිකෙරෙන සූර්ය බලශක්ති ව්‍යාපෘතිය තුළින් පාරිසරික අරමුණු සහ ආයෝජන ප්‍රතිලාභ අතර පවතින මෙම අභියෝගය පැහැදිලිව දැකගත හැකිය. කර්මාන්තශාලා වහලයේ වර්ග මීටර් 45,000ත් 50,000ත් අතර භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි මෙගාවොට් 7.2ක සූර්ය බලශක්ති පද්ධතියක් ස්ථාපනය කිරීම සඳහා සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 2.57ක් ආයෝජනය කර ඇත. කර්මාන්තශාලා පරිශ්‍රය පුරා ස්ථාපන කටයුතු වේගවත් කිරීම සඳහා ව්‍යාපෘතිය කොටස් පහකට බෙදා ක්‍රියාත්මක කෙරේ. මේ වන විට වහලයේ ආධාරක සහ සවිකිරීම් ව්‍යුහයන් සම්පූර්ණයෙන් නිම කර ඇති අතර, සූර්ය පැනලවලින් 40%ක් පමණ සවිකර අවසන්ය. කෙසේ වුවද, ට්‍රාන්ස්ෆෝමර් සහ ඉන්වර්ටර් තවමත් ලැබීමට නියමිත අතර, 2026 සැප්තැම්බර් මාසය වන විට පද්ධතිය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට අපේක්ෂා කෙරේ.
එහෙත් මෙවැනි ව්‍යාපෘති පිළිබඳ ප්‍රචාරක කතා තුළ බොහෝවිට නොකියැවෙන කරුණක්ද තිබේ. ශ්‍රී ලංකාවේ මෙම ප්‍රදේශය තුළ සූර්ය බලශක්ති ආයෝජනයේ ආර්ථික ප්‍රතිලාභ එතරම් ආකර්ෂණීය නොවේ. දිවයිනේ වැඩි හිරු එළියක් ලැබෙන ප්‍රදේශවල දිනකට පැය හයත් හතත් අතර ප්‍රයෝජනවත් හිරු එළියක් ලැබුණද, නිරන්තර වලාකුළු සහ වර්ෂාව හේතුවෙන් මෙම ප්‍රදේශයට ලැබෙන්නේ දිනකට පැය හතරත් හතරහමාරත් අතර හිරු එළියක් පමණි. එම නිසා සූර්ය බලශක්ති ඵලදායීතාව 17%ක පමණ මට්ටමකට සීමා වන අතර, වෙනත් ප්‍රදේශවල න්‍යායාත්මකව ලබාගත හැකි 25% ක ඵලදායීතාවට වඩා එය සැලකිය යුතු ලෙස පහළය.
මෙම තත්ත්වය හේතුවෙන් ආයෝජනයේ මුදල් ආපසු ලබාගැනීමේ කාලය වසර 10ක් හෝ 11ක් දක්වා දිගු වෙයි. සාමාන්‍ය ආයෝජන ප්‍රමිතීන් අනුව එය ප්‍රතිලාභයක් සඳහා බලා සිටීමට සිදුවන දිගු කාලයකි. එසේ වුවද ටීජේ සමාගම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යමින් සිටී. සමාගම මෙය කෙටි කාලයකින් ලාභ ලබාදෙන ආයෝජනයක් ලෙස නොව, අනාගතයේ ඉන්ධන මිල සහ බලශක්ති සැපයුම කුමන දිශාවකට ගමන් කළද ඒ සඳහා සූදානම් වීමේ ආරක්ෂණ ක්‍රමවේදයක් ලෙස සලකයි. පද්ධතිය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ පසු සමාගමේ සමස්ත කාබන් විමෝචනය 13%කින් අඩු කිරීමටත්, කර්මාන්තශාලාවේ පුනර්ජනනීය බලශක්ති දායකත්වය 17%කින් ඉහළ නැංවීමටත් අපේක්ෂා කෙරේ.
සූර්ය බලශක්ති ව්‍යාපෘතිය මඟින් පුනර්ජනනීය විදුලි නිෂ්පාදනය ශක්තිමත් කෙරුණද, ටීජේ සමාගමේ කාබන් විමෝචනයේ විශාලතම අඩුවීම අපේක්ෂා කෙරෙන්නේ ගල් අඟුරු භාවිතයෙන් තිරසරභාවය තහවුරු කළ ජෛව ඉන්ධන වෙත මාරුවීමෙනි. සමාගමේ ‘අභිවාර 2030’ පාරිසරික තිරසරභාවය පිළිබඳ උපායමාර්ගය යටතේ ක්‍රියාත්මක වන මෙම පරිවර්තනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.65ක් ආයෝජනය කෙරේ.
මෙම ව්‍යාපෘතිය මඟින් කර්මාන්තශාලා මට්ටමේ හරිතාගාර වායු විමෝචනය 49%කින් අඩු කිරීමටත්, පුනර්ජනනීය බලශක්ති භාවිතය 42%කින් ඉහළ නැංවීමටත් අපේක්ෂිතය. දේශීයව සපයාගන්නා ජෛව ඉන්ධන භාවිත කිරීමෙන් ආනයනික ගල් අඟුරු මත පවතින රඳාපැවැත්ම අඩු වන බැවින් ඉන්ධන පිරිවැයද 25%ත් 30%ත් අතර ප්‍රමාණයකින් පහළ යනු ඇතැයි ගණන් බලා තිබේ.
ගල් අඟුරු කැණීම, නෞකා මඟින් ප්‍රවාහනය කිරීම සහ දිගු දුර ගොඩබිම් ප්‍රවාහනය වැනි පොසිල ඉන්ධන සැපයුම් දාමයට සම්බන්ධ අතිරේක පිරිවැය හා පාරිසරික බලපෑම් මඟහැරීමට හැකිවීමද මෙහි තවත් වැදගත් වාසියකි. ඒ අනුව ජෛව ඉන්ධන වෙත මාරුවීම කාබන් විමෝචනය අඩු කිරීමේ පියවරක් පමණක් නොව, විදේශ විනිමය සහ ඉන්ධන මිල අවදානම් පාලනය කරන ව්‍යාපාරික තීරණයක්ද වේ.
ජෛව ඉන්ධන සපයාගැනීමේ ක්‍රියාවලියද දැඩි පාලනයකට යටත් කර ඇත. භාවිතයට ගැනෙන ජෛව ඉන්ධන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය සහිත වන අතර, ඒවා එකතු කළ ස්ථානය දක්වා මූලාශ්‍රය සොයා බැලිය හැකි ආකාරයෙන් සැපයුම් දාමය පවත්වාගෙන යයි. රබර් දැව, ස්වාභාවික වනාන්තරවලින් ලබාගත් දැව හෝ මූලාශ්‍රය තහවුරු කළ නොහැකි මිශ්‍ර දැව වර්ග මෙම සැපයුමෙන් හිතාමතාම ඉවත් කර තිබේ. එම ප්‍රමිතිය දිගුකාලීනව පවත්වාගෙන යාම සඳහා සැපයුම්කරුවන් සමඟ දිගුකාලීන ගිවිසුම්වලටද එළැඹ ඇත.
කර්මාන්තශාලා පරිශ්‍රයේ නව බොයිලේරු ගොඩනැගිල්ලේ අත්තිවාරම, ව්‍යුහය සහ බාහිර ආවරණ කටයුතු මේ වන විට අවසන් කර තිබේ. ජූලි මස මුල් භාගයේදී වහල තහඩු සවිකිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් අනතුරුව දූවිලි එකතු කිරීමේ පද්ධති සහ ජෛව ඉන්ධන හැසිරවීමේ යන්ත්‍රෝපකරණ ස්ථාපනය කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘති දෙක එක්ව ක්‍රියාත්මක වීමත් සමඟ, විද්‍යාත්මක ඉලක්ක පිළිබඳ වැඩසටහන හෙවත් SBTi යටතේ ටීජේ සමාගම ලබාදී ඇති පළමු හා දෙවැනි විෂය පථවල කාබන් විමෝචන අඩු කිරීමේ ඉලක්කය නියමිත කාලයට වසර කිහිපයකට පෙර සපුරාගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2022 මූලික වර්ෂය සමඟ සසඳන විට 2030 වන විට විමෝචනය 42%කින් අඩු කිරීම එම ඉලක්කය වන අතර, සූර්ය බලශක්ති සහ ජෛව ඉන්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුවහොත් 2026 සැප්තැම්බර් මාසය වන විටම එම මට්ටමට ළඟාවීමට හැකිවනු ඇතැයි සමාගම විශ්වාස කරයි.
මේ වන විට 2022 මූලික වර්ෂයට සාපේක්ෂව ලබාගෙන ඇති ප්‍රගතිය 4.5%ක් පමණ වේ. එහෙත් විමෝචන අඩුවීමේ විශාලතම ප්‍රතිඵලය ලැබීමට නියමිතව ඇත්තේ මෙම ව්‍යාපෘති දෙක පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීමෙන් පසුවය. අදාළ දත්ත ISO 14064 ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව තහවුරු කර ඇති අතර, ඒවා ටීජේ සමාගමේ වාර්ෂික වාර්තාවේද ප්‍රකාශයට පත් කර තිබේ. එමෙන්ම සමාගම මෙම වසරේදී ප්‍රථම වරට IFRS S1 සහ S2 තිරසරභාවය හා දේශගුණික අනාවරණද ඉදිරිපත් කර ඇත.
කෙසේ වුවද, මෙම ආයෝජන හේතුවෙන් කාබන් විමෝචනය පිළිබඳ සියලු අභියෝග විසඳී ඇති බව එයින් අදහස් නොවේ. සමාගමේ සෘජු මෙහෙයුම්වලින් සහ මිලදී ගන්නා බලශක්තියෙන් ඇතිවන පළමු හා දෙවැනි විෂය පථවල විමෝචනය අඩු කිරීමේ ගමන සැලකිය යුතු ලෙස ඉදිරියට ගියද, තෙවැනි විෂය පථයේ හෙවත් Scope 3 විමෝචනය මීළඟ ප්‍රධාන අභියෝගය බවට පත්ව තිබේ.
මෙම විමෝචන සමාගමේ සෘජු පාලනයෙන් ඔබ්බට ගිය පුළුල් වටිනාකම් දාමය සමග පැතිර පවතී. අමුද්‍රව්‍ය සැපයීම, ප්‍රවාහනය, බාහිර නිෂ්පාදන ක්‍රියාවලි, භාණ්ඩ භාවිතය සහ ඉවතලීම වැනි සැපයුම් දාම ක්‍රියාකාරකම් ඒ සඳහා බලපායි. ඒ නිසා සමාගමට තනිවම එම විමෝචන පාලනය කිරීම පහසු නොවන අතර, සැපයුම්කරුවන්, ගනුදෙනුකරුවන් සහ අනෙකුත් ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.
‘අභිවාර 2030’ උපායමාර්ගය යටතේ ටීජේ සමාගම සැපයුම්කරුවන් සමඟ ඇති සබඳතා ශක්තිමත් කිරීම, වගකීම් සහගත අමුද්‍රව්‍ය සපයාගැනීම සහ චක්‍රීය ආර්ථික ක්‍රියාමාර්ග පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටී. එමඟින් ගනුදෙනුකරුවන් සහ සැපයුම් දාම හවුල්කරුවන් සමඟ එක්ව, දිගුකාලීනව තෙවැනි විෂය පථයේ කාබන් විමෝචනයද අඩු කිරීම සමාගමේ අරමුණ වී තිබේ.
ටීජේ සමාගමට තිරසරභාවය සහ පිරිවැය තරගකාරීත්වය තවදුරටත් එකිනෙකට වෙන් වූ කරුණු දෙකක් නොවන මේ අනුව පැහැදිලි වේ. සූර්ය බලශක්තිය සහ ජෛව ඉන්ධන ව්‍යාපෘති සඳහා සමාගම සිදුකරන ආයෝජන කාබන් විමෝචනය අඩු කිරීමේ පරිසර හිතකාමී පියවරකට පමණක් සීමා නොවේ. ඒවා බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම, නිෂ්පාදන ක්‍රියාවලියේ බාධා අවම කිරීම සහ දිගුකාලීන තරගකාරීත්වය ශක්තිමත් කිරීම සඳහා ගෙන ඇති උපායමාර්ගික ආයෝජන වේ. ලෝක රෙදිපිළි කර්මාන්තයේ තරගය දිනෙන් දින තීව්‍ර වන පසුබිමක, බලශක්ති පරිවර්තනය පරිසර වගකීමක් පමණක් නොව ව්‍යාපාරික වාසියක් බවටද පත්වෙමින් තිබේ.

