November 19, 2025
නිවාස සඳහා පූර්ණ මූල්‍ය පහසුකම් ලබාදීමට කොමර්ෂල් බැංකුව සහ ප්‍රයිම් ලෑන්ඩ්ස් අත්වැල් බැඳගනියි
පුවත්

නිවාස සඳහා පූර්ණ මූල්‍ය පහසුකම් ලබාදීමට කොමර්ෂල් බැංකුව සහ ප්‍රයිම් ලෑන්ඩ්ස් අත්වැල් බැඳගනියි

Oct 29, 2025

ශ්‍රී ලාංකිකයන්ට තම නිවාස සිහින සැබෑ කිරීමට තවත් අවස්ථාවක් සලසමින් කොමර්ෂල් බැංකුව ප්‍රයිම් ලෑන්ඩ්ස් සහ ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. මෙහිදී ප්‍රයිම් සමූහය විසින් සංවර්ධනය කරන ලද නිවාස සංකීර්ණ ඒකක හෝ තනි නිවාස මිලදී ගැනීමට බලාපොරොත්තු වන ගනුදෙණුකරුවන් හට 100% දක්වා වූ මූල්‍ය පහසුකම් ලබා දීමට බැංකුව එකඟ වී ඇත.

නිවාස ණය ක්ෂේත්‍රයේ වෙළඳපොළ ප්‍රමුඛයා ලෙස කොමර්ෂල් බැංකුව, ප්‍රයිම් ලෑන්ඩ්ස් විසින් සංවර්ධනය කරන ලද දේපළවල ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයින්ට සංවර්ධකයා, ගැනුම්කරු සහ බැංකුව අතර ඇති කරගනු ලබන ත්‍රෛපාර්ශවිය ගිවිසුම් හරහා බාධාවකින් තොරව කොමර්ෂල් බැංකුවේ නිවාස ණය ලබා ගැනීමට අවකාශය ලබා දී ඇත.

“ප්‍රයිම් ලෑන්ඩ්ස් සහ ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමඟ ඇතිකරගත් මෙම ගිවිසුම හරහා අපගේ නිවාස ණය සේවාව පුළුල් කිරීමට අවස්ථාවක් හිමි වන අතර බැංකුවේ මූල්‍ය ශක්තියෙන් සහ ප්‍රයිම් සමූහයේ ඉදිකිරීම්වල ගුණාත්මකභාවයෙන් ශ්‍රී ලාංකිකයින්ගේ නිවාස සිහින සැබෑ කරනවා.” යනුවෙන් මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස ප්‍රයිම් සමූහය වසර 30 කට අධික විශ්වාසය සහ විශිෂ්ටත්වය ගොඩනගමින් 300,000 කට අධික ගනුදෙණුකරුවන් සමඟ ඉදිරියට පැමිණ ඇත. ඉඩම්, නිවාස, මූල්‍ය සහ නිවාස සංකීර්ණ ආශ්‍රිත අනුබද්ධිත සමාගම් වලින් සමන්විත ප්‍රයිම් සමූහය තම සදාහරිත දැක්ම ‘Committed to Creating a Better Place on Earth’ මූලිකත්වයක් දී කටයුතු කරයි.

ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close