October 24, 2025
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබලගැන්වීමට කොමර්ෂල් බැංකුව හා CBA වෙතින් PAX E700 ස්මාර්ට් POS යන්ත්‍ර
පුවත්

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සවිබලගැන්වීමට කොමර්ෂල් බැංකුව හා CBA වෙතින් PAX E700 ස්මාර්ට් POS යන්ත්‍ර

Oct 23, 2025

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය සවිබල ගැන්වීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව දක්වන කැපවීමෙහි තවත් පියවරක් ලෙස, බැංකුව Ceylon Business Appliances (CBA) සමාගම එක්ව තම ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට උසස් ගෙවීම් තාක්ෂණය ලබා දෙන ස්මාර්ට් ඉලෙක්ට්‍රොනික POS උපාංගය ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත.

දෛනික මෙහෙයුම් විධිමත් කිරීමෙන්, ගනුදෙනු ඩිජිටල්කරණය කිරීමෙන් මෙන් ම පාරිභොගිකයාගේ තෘප්තිමත්භාවය තවත් වැඩි කිරීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) වලට සහාය වීම අරමුණු කරගනිමින් නිර්මාණය කර ඇති මෙම ස්මාර්ට් POS උපාංගය ඇන්ඩ්‍රොයිඩ් තාක්ෂණය මත ගෙඩනැඟී ඇති අතර, එය සාම්ප්‍රදායික කැෂියර් යන්ත්‍රයක ඇති විශ්වාසනීයත්වයේ සහ තාක්ෂණික නවෝත්පාදනයේ ඵලදායී සම්මිශ්‍රණයකි.

මෙම උපාංග පද්ධතිය මගින් කිසිදු බාධාවකින් තොරව ගනුදෙනු සැකසීමට පරිශිලකයාට හිතකාමී අතුරු මුහුණතක්, වැඩිදියුණු කළ ආරක්ෂක විශේෂාංග සහ විකුණුම් මෙහෙයුම් අඛණ්ඩව කරගෙන යාම සහතික කරමින් විශ්වාසනීය සම්බන්ධතාවයක් සපයයි. එමගින් සවිස්තරාත්මක බිල්පත් ලබා දීම, කාර්යක්ෂම තොග කළමණාකරණය මෙන් ම ඉතාම පහසුවෙන් මුදල් ගෙවීම් කිරීමට හැකියාව පවතී.

PAX E700 ස්මාර්ට් POS හි සංයුක්ත සැලසුම මගින් ඕනෑම කවුන්ටරයක් මත බාධාවකින් තොරව සවි කිරීමේ හැකියාව ලබා දෙන අතර එය Wi-Fi, 4G  සහ LAN ජාලවලට සම්බන්ධ කල හැක. VISA, MasterCard, UnionPay සහ LankaPay JCB වැනි ගෙවීම් ක්‍රම පිළිගන්නා මෙම උපාංගය තුළ ආරක්ෂිත හා කාර්යක්ෂම ගනුදෙනු සඳහා උසස් තාක්ෂණය සහිත ආරක්ෂණ උපක්‍රම ද ඇතුලත් වේ.

මෙම අති නවීන උපාංගය හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – පුද්ගලික බැංකුකරණය එස්. ගනේෂන් මහතා මෙසේ පැවසීය: “කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය බලගැන්වීම කොමර්ෂල් බැංකුවේ මූලික කැපවීමකි. PAX E700 ස්මාර්ට් POS මෙරටට හඳුන්වා දීම හරහා අපි ඔවුන්ට ලබා දෙන්නේ වර්තමාන ඩිජිටල් වෙළඳපල තුළ ව්‍යාපාර වර්ධනය වීමට සහ සමෘද්ධිමත් කිරීමේ දී වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි අති නවීන ඩිජිටල් මෙවලමකි. PAX E700  ස්මාර්ට් POS නිර්මාණය කර ඇත්තේ විකුණුම් ආදායම වැඩිකර ගන්නා අතරම මෙහෙයුම් පිරිවැය අඩු කරමින්, සමස්ත කාර්යක්ෂමතාවය වැඩි දියුණු කරමින්, ගනුදෙනුකරුවන්ට සවිස්තරාත්මක බිල්පත් ලබා දීමට හා නිවැරදිව තොග කළමනාකරණ වාර්තා පවත්වාගෙන යාමට හැකි වන ලෙස යි.”

CBA හි ප්‍රධාන විධායක නිලධාරී රුවත් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය: “CBA සැම විටම ශ්‍රී ලංකාවේ අති නවීන ගෙවීම් විසඳුම් සැපයීමේ පුරෝගාමියා ලෙස කටයුතු කරයි. PAX E700  ස්මාර්ට් POS හඳුන්වා දීම සඳහා කොමර්ෂල් බැංකුව සමඟ ඇතිකර ගත් මෙම හවුල්කාරීත්වය අපගේ ගෙවීම් ලබාගැනීමේ උපාංග පරාසය පුළුල් කිරීමේ තවත් එක් පියවරක් වේ. මෙම නව නිපැයුම හරහා ව්‍යාපාර තම ගනුදෙනුකරුවන්ට ආරක්ෂිතව, කාර්යක්ෂමව සහ පහසු ගෙවීම් සේවා ලබා දෙන අයුරු දැකීමට ලැබීම අපිට ඉමහත් සතුටකි.”

ඇමරිකානු ඩොලර් බිලියන 1 කට අධික වෙළඳපල ප්‍රාග්ධනීකරණයක් සහිත ශ්‍රී ලංකාවේ පළමු බැංකුව වන කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව මෙන්ම කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.

බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක්, මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සහ ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. මීට අමතරව බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් සහ කොමර්ෂල් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම තම ශාඛා ජාල හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close