September 12, 2025
කොමර්ෂල් බැංකුව යාපනය විශ්වවිද්‍යාලය සමඟ දේශගුණික-සුහුරු කෘෂිකර්මාන්තය සඳහා ගොවීන් සහ තරුණයන් සවිබලගන්වයි
පුවත්

කොමර්ෂල් බැංකුව යාපනය විශ්වවිද්‍යාලය සමඟ දේශගුණික-සුහුරු කෘෂිකර්මාන්තය සඳහා ගොවීන් සහ තරුණයන් සවිබලගන්වයි

Aug 23, 2025

කොමර්ෂල් බැංකුව සහ යාපනය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පීඨය ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නවීකරණය සහ දේශගුණික විපර්යාස හමුවේ ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කිරීමට කිලිනොච්චියේ ගොවීන් 100 දෙනෙකුට සුහුරු ගොවිතැන් තාක්ෂණ ක්‍රම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ඇත.

බැංකුවේ ‘කෘෂිකාර්මික නවීකරණ ගම්මාන’ වැඩසටහන යටතේ සංවිධානය කළ මෙම එක් දින වැඩමුළුව විශ්ව විද්‍යාලයේ හරිතාගාර සහ නිරූපණ යායේහි පැවැත්විණි. ගොවීන්, තරුණයින්, කෘෂිකර්ම සිසුන් සහ උපදේශකයින් ඒකරාශී කර ගනිමින් අක්‍රමවත් කාලගුණික රටාවන්, පළිබෝධ පැතිරීම් සහ බෝග අස්වැන්න අඩු වීම නිසා නිර්මාණය වන අභියෝගයන්ට මුහුණ දීමට ප්‍රායෝගික, පාරිසරික තිරසර ක්‍රම ගවේෂණය කරන ලදී.

සහභාගී වූ පිරිස කොම්පෝස්ට් යන්ත්‍ර (චොපර්), නියඟයට ඔරොත්තු දෙන භෝග ප්‍රභේද, කාර්යක්ෂම වාරිමාර්ග පද්ධති සහ පුනර්ජනනීය බලශක්තියෙන් ක්‍රියාත්මක වන මෙවලම් ඇතුළු දේශගුණික-සුහුරු නවෝත්පාදනයන් සමඟ සෘජුවම සම්බන්ධ විය. මෙම වැඩමුළුව තරුණ පිරිස බලගැන්වීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ අතර එහි අරමුණ වූයේ  ගොවිතැන නවීන තාක්ෂණය මත පදනම් වූ ලාභදායී ව්‍යවසායක් බවට පරිවර්තනය කිරීමට මනසක් සහ මාධ්‍යයක් යන ද්විත්වයෙන් ම සන්නද්ධ වූ නව පරම්පරාවේ කෘෂිකාර්මික ව්‍යවසායකයින් බිහි කිරීමයි.

විශ්වවිද්‍යාලයේ ප්‍රජා සත්කාර කමිටුව සම්බන්ධීකරණය කරනු ලැබු මෙම පුහුණු වැඩසටහන කිලිනොච්චියේ ස්වයංක්‍රීය හරිතාගාර, ගොවිපල ඒකක සහ ගොවීන් විසින් නඩත්තු කරන ලද ප්‍රදර්ශන යායයන් භාවිතයෙන් සිදු කරන ලදී. කොමර්ෂල් බැංකුව මූල්‍යමය වශයෙන් මීට සහාය දැක්වූ අතර බැංකුවේ කෘෂිකාර්මික ණය ගනුදෙනුකරුවන්ගේ සහභාගීත්වය සඳහා පහසුකම් සපයමින් බැංකුව හරහා ලබා දෙන මූල්‍ය විසඳුම් ආධාරයෙන් ගොවීන්ට අනුගමනය කළ හැකි තාක්ෂණික ක්‍රම පිළිබඳ දැනුම ලබා දෙන ලදි.

මෙම නවතම මැදිහත්වීම ඔස්සේ කෘෂිකාර්මික නවීකරණය තුළ බැංකුවේ වර්ධනය වන පියසටහන සහ තිරසාර සංවර්ධනය, ග්‍රාමීය ආර්ථිකය නඟා සිටුවීම සහ පාරිසරික කළමනාකරණය සඳහා බැංකුව විසින් කරනු ලබන පුළුල් කැපවීම පිළිබිඹු කරයි. බැංකුව පවසන ආකාරයට මෙවැනි මුලපිරීම් ඔස්සේ තම ගොවි සේවාදායකයින්ගේ ඵලදායිතාව සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කිරීම පමණක් නොව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රජාවගේ ණය අවදානම අඩු කිරීම සහ දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම ද අරමුණු කරයි.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව දිවයින පුරා උපායමාර්ගිකව පිහිටා ඇති ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර, බංග්ලාදේශයේ ශාඛා 20 ක්, මාලදිවයිනේ බහුතර කොටස් හිමිකාරිත්වයක් සහිත පූර්ණ මට්ටමේ පළමු පෙළ බැංකුවක් සහ මියන්මාරයේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් සමඟින් ශ්‍රී ලාංකික බැංකු අතර පුළුල්ම ජාත්‍යන්තර පියසටහනක් තබා ඇත. ඩුබායි ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය (DIFC) තුළ නියෝජිත කාර්යාලයක් මෑතකදී විවෘත කළ කොමර්ෂල් බැංකුව, ඒ සමඟ බැංකුවේ ගෝලීය පියසටහන පුළුල් කිරීම සඳහා සැලකිය යුතු පියවරක් ගෙන තිබේ. බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය දරන CBC ෆිනෑන්ස් ලිමිටඩ් ද එහි ශාඛා ජාලය හරහා පුළුල් පරාසයක මූල්‍ය සේවා සපයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close