VFS Global ලොව ප්‍රථම දෘශ්‍යාබාධිත කාන්තා T20 තරගාවලියසමඟ සාඩම්බරයෙන් අත්වැල් බැඳගනී
VFS Global සමාගම ලොව ප්‍රථම දෘශ්‍යාබාධිත කාන්තා T20 ක්‍රිකට් තරගාවලිය සාර්ථක කරගැනීමට ඉමහත් සතුටින් හා ගෞරවයෙන් යුතුව දායක විය. ලොව පුරා විසිරී සිටින දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා, ඔරොත්තු දීමේ හැකියාව සහ ක්‍රීඩාශීලීත්වය එකම කරළියකට රැගෙන ආ මෙබඳු ජාත්‍යන්තර තරගාවලියක් ලොව පැවැත්වුණේ පළමු වරටය.
Samarthanam Trust for the Disabled හි ක්‍රිකට් ක්‍රීඩා අංශය වන Cricket Association for the Blind in India (CABI) විසින් මෙම තරගාවලිය සංවිධානය කරන ලද අතර, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එහි සම සත්කාරක රටවල් ලෙස කටයුතු කළේය. මෙය කාන්තා ක්‍රීඩා ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙන්ම ආබාධ සහිත පුද්ගලයන්ට ක්‍රීඩාවන්ට සහභාගී වීමට අවස්ථාව උදාකර දීම සම්බන්ධයෙන් තබන ලද සුවිශේෂී ඉදිරි පියවරක් ලෙසද හැඳින්විය හැකි වේ. දෘශ්‍යාබාධිත කාන්තාවන් සඳහා සමාන අවස්ථා මෙන්ම ඔවුන්ගේ ක්‍රීඩාවන්ට වැඩි ප්‍රචාරයක් සහ ඉහළ පිළිගැනීමක් ලබාදීමේ අරමුණ මුල් කරගත් මෙම තරගාවලියට රටවල් 6 ක් එක් විය.
කාන්තාවන් සවිබල ගැන්වීමේ සහ ප්‍රජාවන් තුළ සැමට සමාන අවස්ථා උදා කර දීමේ අඛණ්ඩ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම තරගාවලිය සමඟ සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව VFS Global සමාගම බෙහෙවින් සතුටු වේ. සමාගම තුළ මෙන්ම ඉන් පිටතද කාන්තාවන්ට සාර්ථකත්වය ළඟා කරගැනීමට, නායකත්වය ගැනීමට සහ ආදර්ශමත්ව කටයුතු කිරීමට අවස්ථාව ලබාදිය යුතු බව සමාගම දැඩි ලෙස විශ්වාස කරන අතර, මෙම හවුල්කාරීත්වය එම විශ්වාසය මැනැවින් පිළිබිඹු කරන්නකි.
“ලෝක දෘශ්‍යාබාධිත කාන්තා T20 ක්‍රිකට් ලෝක කුසලානය යනු ධෛර්යය, අධිෂ්ඨානය සහ අවස්ථාවල බලය මැනැවින් පෙන්වා දුන් තරගාවලියක්. ජාත්‍යන්තර තලයේ මෙහෙවරක් ලෙස සැලකිය හැකි මෙබඳු තරගාවලියක් සමග එක්ව කටයුතු කිරීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායමට වගේම තරගාවලිය පුරාම විශිෂ්ට දක්ෂතා පෙන්නුම් කළ සියලුම කණ්ඩායම්වලට උණුසුම් සුබපැතුම් එක්කිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා. මෙම තරගාවලිය අපට සිහිපත් කර දෙන්නේ, ධෛර්යය සමඟ නිසි අවස්ථා එක්තැන් වූ විට කෙතරම් දේවල් ළඟා කරගත හැකිද යන්නයි. අප කවදත් කාන්තාවන් සවිබල ගැන්වීමට සහ ඔවුන්ට සමාන අවස්ථා උදාකර දීමට කැප වී සිටින සමාගමක්. ඒ මෙහෙවර අපගේ ආයතනය තුළ වගේම අපගේ ප්‍රජා හවුල්කාරීත්වයන් හරහාත් ක්‍රියාත්මකයි.” VFS Global හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (දකුණු ආසියාව) යුමි තල්වාර් පැවසීය.
“මෙම ඓතිහාසික තරගාවලිය වෙනුවෙන් අප සමඟ එක්ව කටයුතු කිරීම පිළිබඳව අප VFS Global ආයතනයට අවංකවම කෘතඥ වෙනවා. දෘශ්‍යාබාධිත ක්‍රිකට් ක්‍රීඩා ක්ෂේත්‍රය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම සඳහා මේ සහයෝගය තුළින් ලැබෙන ශක්තිය සුවිශාලයි. මෙය දෘශ්‍යාබාධිත කාන්තාවන්ට අර්ථවත් අවස්ථා, පුළුල් ප්‍රචාරණයක් සමග ක්‍රීඩාව තුළ සමාන අවස්ථා හිමිවන අනාගතයක් නිර්මාණය කිරීම සඳහා කැපවුණු දීර්ඝකාලීන ගෝලීය හවුල්කාරීත්වයක් බවට පත්කිරීම අපගේ අරමුණ වී තිබෙනවා.” Cricket Association for the Blind in India (CABI) හි සභාපති සහ Samarthanam Trust for the Disabled හි නිර්මාතෘ කළමනාකාර භාරකරු මහන්තේෂ් ජී. කේ. මහතා පැවසීය.
VFS Global විසින් ලොව පුරා විවිධ ආකාරයේ ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති ක්‍රියාවට නංවා ඇති අතර, එම ව්‍යාපෘති මඟින් ප්‍රජාවන් සවිබල ගැන්වීම, කාටත් සමාන අවස්ථා උදාකර දීම සහ සැමට තම හැකියාවන් තුළින් උපරිම ප්‍රයෝජන ලබාගත හැකි පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර තිබේ.
ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් සහ අනාගත ක්‍රීඩිකාවන්ට සුවිශේෂී ආදර්ශයක් ලබාදෙමින් ලොව ප්‍රථම දෘශ්‍යාබාධිත කාන්තා T20 තරගාවලියේ ජය හිමිකර ගත් සහ එම තරගාවලියට සහභාගී වූ ක්‍රීඩිකාවන් සියලුම දෙනාට VFS Global සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.

