
“වාහන පරීක්ෂාව, ගෙනදෙයි ආරක්ෂාව”
එක්සත් ජාතීන්ගේ මාර්ග සුරක්ෂිතතාවය සදහා දශකයේ ක්‍රියාමාර්ගයට සමගාමීව සෑම වසරකම ලංකා ඔටෝමොබයිල් සංගමය (AA Ceylon) සහ ජාත්‍යන්තර ඔටෝමොබයිල් සංගමය (Federation Internationale de I’Automobile – FIA) සමග දියත් කරන මාර්ග සුරක්‍ෂිතතා වැඩ සටහනේ මෙවර තේමාව ලෙස “වාහන පරීක්ෂාව ගෙනදෙයි ආරක්ෂාව” තෝරගන ඇත.
වාහන පරීක්ෂාව සහ ධාවනයට සුදුසු වාහන පමණක් ධාවනයට යෙදීම තුලින් ජීවිත ආරක්ෂාවත්, අනතුරු නිසා අත්වන දේපල අලාභත් අවම කරගත හැකිය. ශ්‍රී ලංකාවේ වසරකට මාර්ග අනතුරු නිසා ඇතිවන දේපල හානි සහ පුද්ගල මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහල යන අතර ශ්‍රී ලංකා රජය අනතුරු වලට පත්වන රෝගීන් සුවපත් කිරීමට සහ දේපල හානි වෙනුවෙන් වසරකට රුපියල් බිලියන ගණනක් වියදම් කරන බව ගණන් බලා ඇත.
දියුණු රටවල් වල සියලුම වාහන සෑම වසරකදීම පරීක්ෂාවට ලක් කර සහතිකයක් ලබාගතයුතු අතර එම සහතිකය නොමැතිව වාහනයක් පාරට ගැනීම දැඩි දඩුවම් ලැබියකි වරදකි. තවද කිසිදු රක්ෂණ සමාගමක් එම සහතිකය නොමැතිව වාහන හෝ පුද්ගල රක්ෂණ ලබා නොදෙයි. ශ්‍රී ලංකාවේ වාහන මිලියන 8කට වැඩි ප්‍රමාණයක්, එනම් වැඩිහිටි ජනගහනයෙන් 40%කට පමණ වාහනයක් හිමි බව වාහන ලියාපදිංචි දෙපාර්තුමේන්තුව අනාවරණය කරයි. එනමුදු බස්, ලොරි සහ බරවාහන පමණක් අනිවාර්‍ය පරීක්ෂාවට ලක්වන අතර එය මුළු වාහන ප්‍රමාණයෙන් 20%කට වඩා අඩු ප්‍රමාණයක් බව ගණන් බලා ඇත. මෝටර් සයිකල්, ත්‍රීවීල්, කාර්, වෑන් ඇතුළු අනෙකුත් වාහන භාජනය වන්නේ දුම් පරීක්ෂාවකට පමණි. මෙය කිසිදු ආකාරයකින් මාර්ග අනතුරු අවම කිරීමට රුකුලක් නොවේ. අවම වශයෙන් වාහනයේ ඉදිරිපස ලාම්පු, පිටුපස ලාම්පු, සංඥා ලාම්පු, වයිපර්, තිරිංග, ටයර් තත්වය, වාහන බද පටි, වින්ඩ්ස්ක්‍රීන් වීදුරුව හරහා පැහැදිලි දර්ශනය වැනි උපාංග පරීක්ෂාවට ලක්වන්නේ නම් මෙය මාර්ග අනතුරු වලක්වා ගැනීමට සුළු වශයෙන් හෝ ඉවහල් වනු ඇත.
ලංකා ඔටෝමොබයිල් සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, රජයේ අමාත්‍යාංශ, විශ්ව විද්‍යාල සිසුන්, වාහන පදවන්නන්, වාහන අයිතිකරුවන් සහ සියළුම මහජනතාවගේ උදව්වෙන් සහ සහභාගීත්වයෙන් වාහන පරීක්ෂා කිරීමේ වැදගත්කම සහ අමතර මුදලක් වැය නොකොට වාහන පරීක්ෂා කර සහතිකයක් ලබා ගත හැකි ක්‍රමවේදයක් හදුන්වාදීමට බලාපොරොත්තු වෙමු.
මාධ්‍ය සහෘදයන් වන ඔබත්, ඔබ ආයතනවල දායකත්වයත්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ දායකත්වයත් තුලින් මෙම අභිප්‍රාය සාක්‍ෂාත් කරගැනීම තුලින් ජීවිත ආරක්ෂාවත්, දේපල ආරක්ෂාවත් මෙය හරහා වන ලංකාවේ මුදල් නාස්තියත් අවම කරගැනීමට හැකිවේ යැයි අපි බලාපොරොත්තු වෙමු.