October 18, 2024
Sunshine Healthcare Lanka වෙත IFC වෙතින් ඇ.ඩො.මි.10ක ආයෝජනයක්
පුවත්

Sunshine Healthcare Lanka වෙත IFC වෙතින් ඇ.ඩො.මි.10ක ආයෝජනයක්

Oct 17, 2024

කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත, විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සුව සේවා අංශය වන Sunshine Healthcare Lanka (SHL) වෙත ලෝක බැංකු සමූහයේ සාමාජිකත්වය දරන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් රුපියල් මිලියන 3,270 ක පමණ කොටස් ආයෝජනයක් සිදු කළ බව සමාගම නිවේදනය කළේය.

මෙම ආයෝජනය ආර්ථික අර්බුදයෙන් පසු සිදු කරනු ලැබූ විශාල විදේශ ආයෝජනයක් වන අතර එය ශ්‍රී ලංකාව නැවතත් ස්ථාවර සහ ශක්තිමත් තත්වයකට ගෙන ඒම සඳහා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනයට සහ නැවත යථා තත්වයට පත් වීම සඳහා මෙවැනි ආයෝජන ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත.

මෙම සාර්ථක ආයෝජන ගනුදෙනුවේ ප්‍රතිඵලයක් ලෙස IFC හට දැන් SHL හි 14.7%ක කොටස් හිමිකාරීත්වයක් ඇත. ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීම සහ වඩාත් දියුණු වෛද්‍ය උපකරණ හඳුන්වාදීම ඇතුළුව රටේ සෞඛ්‍ය සේවා බෙදා හැරීම ඉහළ නැංවීම අරමුණු කරගත් වැදගත් ආයෝජන ව්‍යාපෘති වේගවත් කිරීමට ද මෙම උපාය මාර්ගික හවුල්කාරීත්වය Sunshine Healthcare Lanka හට සුවිසල් ශක්තියක් වනු ඇතැයි සමාගම විශ්වාස කරයි.

විශේෂයෙන්ම ශ්වසනය ආශ්‍රිත නිෂ්පාදන නිෂ්පාදනය කිරීම දෙගුණ කිරීමෙන් ඖෂධ නිෂ්පාදනය කිරීමේ හැකියාව විශාල ලෙස වැඩි කිරීමට SHL සැලසුම් කර ඇත. තවද SHL විසින් උසස් තාක්ෂණයෙන් යුතු වෛද්‍ය උපකරණ සඳහා ආයෝජනය කිරීමෙන් එහි රෝග විනිශ්චය සේවා වැඩිදියුණු කරනු ඇති අතරම කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය ඉහළ නංවමින් අති නවීන සෞඛ්‍ය සේවා පද්ධතියක් සඳහා පහසු ප්‍රවේශයක් ද ලබා දෙනු ඇත.

මෙම ආයෝජනය පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ශ්‍යාම් සතාසිවම් මහතා පැවසුවේ “IFC සමඟ කරන ලද මෙම ආයෝජනය සෞඛ්‍ය සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීමට සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත්ව නගා සිටුවීමට සහාය වීම සඳහා සමාගමේ කැපවීම සහ වගකීම්සහගත බව පෙන්නුම් කරනවා. මෙම හවුල්කාරිත්වය මගින් දේශීය ඖෂධ නිෂ්පාදනය සහ සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ඉහළ නංවමින් තිරසාර සංවර්ධනයට සහ රටේ සුව සේවා ක්ෂේත්‍රය බාහිර මූලාශ්‍ර මත යැපෙන්නේ නැතිව ස්වාධීනව කටයුතු කිරීමට හැකි වනවා.” යනුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *