March 5, 2026
ශ්‍රී ලාංකික ආ කැපේලා කලාකරු hachajah, ඇමරිකා එක්සත් ජනපදයේ ආ කැපේලා සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි
පුවත්

ශ්‍රී ලාංකික ආ කැපේලා කලාකරු hachajah, ඇමරිකා එක්සත් ජනපදයේ ආ කැපේලා සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලබයි

Mar 5, 2026

ශ්‍රී ලංකාවේ උපත ලද ආ කැපේලා කලාකරු hachajah, ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ පැවති ආ කැපේලා වීඩියෝ සම්මාන උළෙලේදී (AVAs), සිය Mind Gog ආ කැපේලා සංගීත වීඩියෝව සඳහා සම්මාන දෙකකින් පිදුම් ලැබුවේය. Best Electronic/Experimental Video සහ Best Indie Video යන කාණ්ඩ දෙක යටතේ ඔහුට එම සම්මාන ද්විත්වය හිමි විය.

නූතන ආ කැපේලා සමාජය (CASA) විසින් වාර්ෂිකව පිරිනමනු ලබන ආ කැපේලා වීඩියෝ සම්මාන මගින් ගෝලීය ආ කැපේලා ප්‍රජාව තුළ වීඩියෝ නිෂ්පාදන විශිෂ්ටත්වය ඇගයුමට ලක් කෙරේ. එම මාධ්‍යය තුළ ඇති නවෝත්පාදනය, නිර්මාණශීලිත්වය සහ කලාකරුවාගේ අඛණ්ඩ ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම එහි ප්‍රධාන අරමුණයි. එම සම්මාන ද්විත්වයට අමතරව, Mind Gog වීඩියෝව සඳහා ඔහු තවත් සම්මාන හයකට නිර්දේශ වූ අතර, ඉතා තරගකාරී ක්ෂේත්‍රයක එය ඉතා සුවිශේෂී ජයග්‍රහණයකි. තවද ඔහු, Outstanding Special/Visual Effects, Outstanding Video Editing, Best Video by a Non-Scholastic Group සහ Best Alternative Video යන කාණ්ඩ තුළ ද දෙවන ස්ථානය හිමිකර ගැනීමට ද සමත් වූයේය.

hachajah යන නමින් නිර්මාණ කාර්යයෙහි නිරතවන චරිත් පීරිස්, කොළඹ හැදී වැඩී මේවන විට මැසචූසෙට්ස් ප්‍රාන්තයේ බොස්ටන් නගරයේ ජීවත්වන අතර, ශ්‍රී ලාංකේය රිද්මය, හඬ සහ සංගීතමය හුරුව සම්මිශ්‍ර කරමින් ආ කැපේලා සංගීත ඛණ්ඩ නිර්මාණය කිරීම වෙනුවෙන් ප්‍රසිද්ධියට පත්ව සිටී. සංස්කෘතික අනන්‍යතාව සහ නූතන ගෝලීය ශබ්දය අතර ඇති හිඩැස පුරවාලන ඔහුගේ නිර්මාණ, ජාත්‍යන්තරව ප්‍රවේශවිය හැකි ආකාරයට ශ්‍රී ලාංකේය සංගීත අංග ස්ථානගත කරයි.

පසුගිය වසරේ නිකුත් කෙරුණු EP ඇල්බමය පිළිබඳ අදහස් පළ කරමින් hachajah සඳහන් කළේ, What Lies Within ලෙස නම්කෙරුණු EP ඇල්බමය, බොහෝ අවකාශ තුළ ප්‍රකාශ නොවන හැඟීම් ප්‍රකාශ කරන, මුළුමනින්ම නැවුම් ගැඹුරක් විවෘත කෙරෙන නිර්මාණ එකතුවක් බවය. “එම ඇල්බමයේ ‘Mind Gog’ සහ ‘Tan Q’ නිර්මාණ මගින්, මානසික සෞඛ්‍යය සහ විසංවේදී චිත්ත කම්පනය ආදී ලැබිය යුතු අවධානය නොලැබෙන මාතෘකා පිළිබඳ ගවේෂණය කරනවා. මා මින් පෙර නිකුත්කර ඇති ගීත මෙන් මෙම ගීත ද ශ්‍රී ලංකාවේ මා ලද අත්දැකීම් පාදකකර ගනිමින් නිර්මාණයකර තිබෙනවා. කෙසේනමුත්, ඒවායින් මාගේ පුද්ගලික කතාන්දරය ඉක්මවා ගිය ඉතා පුළුල් අදහස් මතු කරනවා.”

AVA සම්මාන ද්විත්වයට අමතරව, Mind Gog සංගීත වීඩියෝව සඳහා 2025 ඔක්තෝබර් මසදී ජාත්‍යන්තර සංගීත වීඩියෝ සම්මාන උළෙලේදී (IMVAs) ‘Best Drama Music Video’ සම්මානය හිමි වූ අතර, 2025 දෙසැම්බර් මසදී පැවති යුරෝපීය සංගීත වීඩියෝ සම්මාන උළෙලේදී ඒ සඳහා ‘Best Pop Music Video’ සම්මානය ද හිමි විය.

hachajah මේවන විට ද තවත් නිර්මාණ කිහිපයක් මෙම වසර පුරා නිකුත් කිරීමට සැලසුම්කර ඇති අතර තුන්වැනි EP සංග්‍රහය 2026 අවසාන භාගයේදී නිකුත් කිරීමේ අපේක්ෂාවෙන් පසුවෙයි. පුළුල් ලෙස ෆුල්සෙටෝ හඬ ක්‍රමය, පර්යේෂණාත්මක කටහඬ තාක්ෂණික ක්‍රමවේද සහ විවිධ තාල සහ ආදර්ශ යොදා ගන්නා අතරම hachajah ගේ අනන්‍යතාව ආරක්ෂාකර ගනිමින් මෙම නිර්මාණ සංගීත ලොවට පිවිසෙනු ඇත. ලොව ප්‍රධානතම සංගීත වීඩියෝ සම්මාන උළෙලවල ඇගයුමට ලක්වීමෙන් අනතුරුව hachajah නිකුත් කිරීමට සැලසුම්කර ඇති නිර්මාණ මගින් ඔහු ජාත්‍යන්තර ඇගයුමට ලක්වන ශ්‍රී ලාංකිකයෙකු ලෙස සිය නාමය සනිටුහන් කිරීමට සමත්වන අතර, ගෝලීය ආ කැපේලා සහ සංගීත වීඩියෝ වේදිකාවේ නැගීඑන නාමයක් බවට පත් වීමට ද නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close