ශ්‍රී ලංකාවෙන් දක්ෂ කාර්මික ශිල්පීන් බඳවාගැනීමට එමිරේට්ස් විසින් කොළඹ සැසියක්
ලොව විශාලතම ජාත්‍යන්තර ගුවන් සේවය වන එමිරේට්ස් සිය ඩුබායි කේන්දා කරගත් ඉංජිනේරු ශ්‍රම බලකාය සඳහා දක්ෂ කාර්මික ශිල්පීන් බඳවා ගැනීමට සම්බන්ධ සැසියක් 2026 මාර්තු 10 වන දින කොළඹදී පවත්වන බව නිවේදනය කර ඇත.
මෙම සැසිය සඳහා සහභාගීවීමට උනන්දුවක් දක්වන අපේක්ෂකයින් www.emiratesgroupcareers.com/engineering/ ඔස්සේ පූර්ව ලියාපදිංචි වීම අවශ්‍ය වේ.
සමාගමේ තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර ගුවන් යානා ක්ෂේත්‍රය තුළ නඩත්තු ප්‍රමිතීන් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් වත්මන් මූල්‍ය වර්ෂය තුළ තනතුරු 350 ක් සඳහා වෘත්තිකයන් 17,300 ක් බඳවා ගැනීමට එමිරේට්ස් සැලසුම් කර ඇත.
මෙම සැසිය ඔස්සේ ඩුබායි හි රැකියා අවස්ථා, වේතන හා ප්‍රතිලාභ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා සහභාගිවන්නන් හට අවස්ථාව ලැබෙනු ඇත. එසේම ගුවන් සමාගමේ ඉංජිනේරුවන් සහ කළමනාකරුවන් සමඟ සෘජුවම සම්බන්ධ වී වෘත්තීය ජීවිතය හා එහි ප්‍රගතිය පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට ද හැකියාව ලැබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා එමිරේට්ස් හි දේශීය කළමනාකරු ජාබර් මොහොමඩ් මහතා, “අපගේ ඉංජිනේරුවන්ට ලොව විශාලතම ගුවන් යානා සමූහයේ රැකියාවන් හි නිරත වීමෙන් ඩුබායි හි දිගුකාලීනව වෘත්තීන් ගොඩනගා ගැනීමට අවස්ථාව හිමිවේ. ඇමරිකානු ඩොලර් මිලියන 950 ක ආයෝජනයකින් ඩුබායි වර්ල්ඩ් සෙන්ට්‍රල් හි ගොඩනැගීමට නියමිත අපගේ අති නවීන ඉංජිනේරු සංකීර්ණය සුවිශේෂි පරාසයක ගුවන් ඉංජිනේරු සේවා සියල්ල ආවරණය කරනු ඇත. එය අපගේ තාක්ෂණික වෘත්තිකයින්ට තම දක්ෂතා වර්ධනය කරගැනීමට සහ ඉහළම ගෝලීය ප්‍රමිතීන් පවත්වා ගනිමින් එමිරේට්ස් හි ගෝලීය මෙහෙයුම් සඳහා සහාය වීමට සුවිශේෂී අවස්ථාවන් වනු ඇත,” යැයි පැවසුවේය.
එමිරේට්ස් සමඟ එක්වන කාර්මික ශිල්පීන්ට බදු රහිත වැටුපක්, ලාභ බෙදාගැනීමේ අවස්ථා, වෛද්‍ය සහ ජීවිත රක්ෂණ, අධ්‍යාපන දීමනා සහ සේවකයාටත් පවුලේ හිතමිතුරන්ටත් වට්ටම් සහිත ගුවන් ටිකට්පත් ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත. Emirates Platinum කාඩ්පත මඟින් මෙම සේවකයින්හට සන්නාම දහස් ගණනක් සඳහා දේශීය හා විදේශීය වෙළඳසැල් සහ සේවා ස්ථානවල විශේෂ වට්ටම් ද හිමිවනු ඇත.

