ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානය අඛණ්ඩව 6 වන වරටත් ‘Share A Meal’සමාජ සත්කාරය වෙනුවෙන් Barista සමග අත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානය අඛණ්ඩව 6 වන වරටත් ‘Share A Meal’ සමාජ සත්කාරය වෙනුවෙන් Barista සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. මේ සඳහා වන ගිවිසුමට 2025 නොවැම්බර් 24 දින නුගේගොඩ Barista අවන්හලේදී අත්සන් තබන ලදි. මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන තුළ ජීවත් වන දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායී ආහාර සමඟ ආදරය, සතුට හා රැකවරණය තිළිණ කිරීම අරමුණු කරගත් සුවිශේෂී මෙහෙවරකි. මෙවර ‘Share A Meal’ සමාජ සත්කාරය 2025 දෙසැම්බර් 01 දින සිට 2025 දෙසැම්බර් 31 දින දක්වා ක්‍රියාත්මක වනු ඇත.
මෙම වැඩසටහන යටතේ මේ වන විට වසර 6 ක කාලයක් තුළ ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන 6 හි වෙසෙන දරුවන් 750 කට අධික සංඛ්‍යාවකට පෝෂ්‍යදායී ආහාරපාන ලබා දීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදී තිබේ. නත්තලෙහි සැබෑ අරුත සංකේතවත් කරමින්, මෙම වැඩසටහන මඟින් දිවයින පුරා ඕනෑම Barista අලෙවිසැලකට පැමිණෙන පාරිභෝගිකයන්ට ‘Share A Meal’ කූපන්පත් හරහා නාමික ගාස්තුවක් යටතේ එක් දරුවෙකුට පෝෂ්‍යදායී ආහාර වේල් තුනක් ලබා දීමට අවස්ථාව සලසා දෙනු ලබයි. එමෙන්ම මුදල් පරිත්‍යාග කිරීමට කැමති පුද්ගලයන් හට සෑම Barista අවන්හලකදීම තම පරිත්‍යාගයන් සිදුකිරීමට පහසුකම් සලසා ඇත. ඊට අමතරව Barista හි නත්තල් මෙනුව යටතේ ඇණවුම් කරන ලද විශේෂ ආහාරපාන මඟින් ලැබෙන ආදායමෙන් 10% ක් තම රැකවරණය යටතේ වෙසෙන දරුවන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන ඉටුකරන මෙහෙවර ශක්තිමත් කිරීම සඳහා බැර කෙරේ. එපමණක් නොව, සිය තරුණ සීමාවාසික වැඩසටහන හරහා SOS ළමා ගම්මානවල ජීවත් වන නව යොවුන් තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුව ලබාදීමටද Barista පියවර ගෙන ඇත.
මෙම වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානයේ නියෝජ්‍ය ජාතික අධ්‍යක්ෂ ධනංජය පෙරේරා මහතා මෙසේ පැවසීය: “අපගේ දරුවන්ට සතුට හා නිරෝගී සුවය ගෙන දෙන වැඩසටහන් ක්‍රියාවට නැංවීම සඳහා අප සෑම විටම උත්සාහ කරනවා. Barista සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය, අපගේ ළමා ගම්මාන තුළ ජීවන් වන දරුවන්ට තම ජීවිතය පුරාම ආදරයෙන් සිහිපත් කළ හැකි නත්තල් මතක තිළිණ කිරීම අරමුණු කරගත් මෙහෙවරක්. එමෙන්ම මෙය පොදු යහපත වෙනුවෙන් විවිධ පාර්ශ්ව එක් වූ විට එමඟින් ඉතා හොඳ ප්‍රතිඵල ළඟා කරගත හැකි බව අපට නැවත නැවතත් පෙන්වා දෙනවා.”
මෙම මෙහෙවර සම්බන්ධයෙන් Barista Coffee Lanka (පුද්) සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දිලූප පතිරණ මහතා මෙසේ පැවසීය: “Share A Meal වැඩසටහන මේ වන විට අපගේ සමාජ මෙහෙවරෙහි වැදගත් අංගයක් බවට පත්ව තිබෙනවා. මෙය අඛණ්ඩව වසර හයක් පුරා ක්‍රියාත්මක කිරීම, අප සේවය කරන ප්‍රජාවන්ගේ යහපත උදෙසා අප දක්වන නොසැලෙන උනන්දුව හා කැපවීම තහවුරු කරන සාධකයක් ලෙස හැඳින්වීමට පුළුවන්. ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන සංවිධානය සමඟ මෙලෙස අත්වැල් බැඳගැනීම මඟින්, රට පුරා විසිරී සිටින දරුවන්ගේ සහ පවුල්වල යහපැවැත්ම සහ සංවර්ධනය සඳහා අර්ථවත් ලෙස දායක වීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා. මෙම වසරේදී මෙම වැඩසටහනේ ආවරණ පරාසය සහ එමඟින් සිදුවන යහපත් බලපෑම තවදුරටත් පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 5 ක ඉලක්කයක් වෙනුවෙන් අරමුදල් රැස් කිරීමට අප බලාපොරොත්තු වනවා. එමෙන්ම සෑම වසරකම මෙම මෙහෙවර සාර්ථක කරගැනීමට අපට නොමඳ සහයෝගයක් ලබාදෙන සියලුම දෙනාට අපගේ හෘදයාංගම ස්තූතිය පළකිරීමට මෙය අවස්ථාවක් කරගැනීමට මා කැමතියි.”
1981 වසරේදී ආරම්භ වූ ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහනට මේ වන විට දශක 4 කට අධික ඉතිහාසයක් ඇත. පිළියන්දල, නුවරඑළිය, ගාල්ල, අනුරාධපුර, මොණරාගල සහ යාපනය යන ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන පිහිටුවා ඇති අතර, එම ගම්මානවල පිහිටි පවුල්-නිවාස 72 ක් හරහා, දෙමාපිය රැකවරණය අහිමි හෝ අහිමි වීමේ අවදානම සහිත දරුවන්ට පවුලකට සමාන ආදරයක් සහ රැකවරණයක් අඛණ්ඩව ලබා දෙනු ලබයි.

