August 15, 2025
SLIM, ‘ගමට මාකටින්’ වැඩමුළු හරහා කොළඹ දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබලගැන්වීමට SED හා අත්වැල් බැඳගනියි
පුවත්

SLIM, ‘ගමට මාකටින්’ වැඩමුළු හරහා කොළඹ දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබලගැන්වීමට SED හා අත්වැල් බැඳගනියි

Jul 30, 2025

මෙරට අලෙවිකරණය පිළිබඳ ජාතික ආයතනය වන ශ්‍රී ලංකා අලෙවි අලෙවිකරණ ආයතනය (SLIM), කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ (Ministry of Industry and Entrepreneurship Development) සුළු ව්‍යවසාය සංවර්ධන (Small Enterprises Development – SED) අංශය හා අත්වැල් බැඳ ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (MSMEs) ව්‍යාපාරික දැනුමෙන් සවිබලගන්වන වැඩමුළුවක් සාර්ථකව පවත්වනු ලැබිණි.  2025 ජුනි 18 වන දින කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවති මෙම වැඩමුළුව, ග්‍රාමීය ව්‍යවසායකයින්ගේ අලෙවිකරණ හා ව්‍යාපාරික කුසලතා ඉහළ නැංවීමේ අරමුණෙන්  SLIM ආයතනය අඛණ්ඩව දියත් කරන, ‘ගමට මාකටින්’  වැඩසටහනේ එක් පියවරකි. 

තම ව්‍යාපාරවල දියුණුව අත්කරගැනීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික අලෙවිකරණ ක්‍රම පිළිබඳ හැදෑරීමට උනන්දු විශාල පිරිසක් එම වැඩමුළුවට එක්ව සිටියහ. එහිදී, ජැනට් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් හි අලෙවි කළමනාකරු සහ වසර 15ක් තිස්සේ,  අලෙවිකරණ ක්ෂේත්‍රයේ විශේෂඥයකු වන අසංක උදයකුමාර මහතා, සහභාගී වූ පිරිස ඵලදායී අලෙවිකරණ ක්‍රමවේද ඔස්සේ දැනුවත් කරන ලදී. වේගයෙන් වෙනස් වන තරගකාරී වෙළෙඳ පොළක් තුළ ක්‍රියාත්මක වීම සඳහා, පාරිභෝගික සහභාගීත්වය ලබාගැනීම, ශක්තිමත් සන්නාම ගොඩනැගීම සහ වෙළෙද පොළ ප්‍රවණතාවන්ට අනුගත වීම වැනි කුඩා ව්‍යාපාර හිමියන්ගේ විශේෂිත අවශ්‍යතා ඇතුළත් ප්‍රධාන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ඔහු විසින් එම සැසිය ඉදිරිපත් කර තිබිණි. 

මෑතකදී SLIM ආයතනය විසින් පිහිටුවන  ලද, ආසියානු කුඩා ව්‍යාපාර සම්මේලනයේ (Asia Small Business Federation – ASBF) – ශ්‍රී ලංකා ශාඛාව යටතේ දියත් කෙරෙන  ප්‍රධානතම වැඩසටහන් වලින් එකක් නම්, මෙම ‘ගමට මාකටින්’ ව්‍යාපෘතියයි. එහි වැඩමුළු සකස් කර ඇත්තේ, ව්‍යවසායකයන්ට ව්‍යාපාර සම්බන්ධ න්‍යායාත්මක දැනුම ලබාදීම සඳහා පමණක් නොවේ. ඔවුන්ගේ දෛනික ව්‍යාපාරික කටයුතු සඳහා ප්‍රායෝගිකව භාවිතා කළ හැකි ඩිජිටල් මෙවලම්ද ලබාදීම සඳහාය. SED සමඟ සමීපව අත්වැල් බැඳගැනීම තුළින්, අලෙවි කරන ක්ෂේත්‍රයේ විශේෂඥ මගපෙන්වීම් ලබාදෙන  මෙම වැඩමුළුවලට, සෑම දිස්ත්‍රික්කයකින්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට එක්විය හැකි බවට SLIM ආයතනය සහතික වෙයි. 

‘ගමට මාකටින්’ වැඩසටහනේ පුළුල් දැක්ම පිළිබඳව අදහස් දක්වමින්, SLIM හි සභාපති මහාචාර්ය දේවසිරි එන්. ජයන්ත අදහස් දැක්වූයේ මෙලෙසයි. ‘ගමට මාකටින්’ දියත් කිරීමේ අපගේ ඉලක්කය වන්නේ, ශ්‍රී ලංකාව පුරා සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගාසිටුවමින් ඔවුන් සවිබලගැන්වීමයි. තිරසාර ආර්ථික ප්‍රගතියක් ළඟාකරගැනීම සඳහා ග්‍රාමීය ව්‍යාපාර හිමියන් අලෙවිකරණ කුසලතාවලින් සන්නද්ධ කිරීම අත්‍යවශ්‍ය බව, අප තදින්ම විශ්වාස කරනවා. SED සමඟ ඇති කරගත් සහයෝගිතාවය තුළින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ව්‍යවසායකයන්ට අපගේ සහයෝගය ලබාදීමට හැකියාව සැලසෙනවා.”

SLIM හි අධ්‍යාපන හා පර්යේෂණ අංශයේ උප සභාපති, ආචාර්ය දිල්හාන් සම්පත් ජයතිලක මහතා අදහස් දැක්වූයේ මෙසේයි.  “සැමවිටම SLIM ආයතනයේ අරමුණු කේන්ද්‍රගත වී තිබෙන්නේ, අධ්‍යාපනය වටායි. ‘ගමට මාකටින්’ වැඩසටහන අපේ රටේ කුඩා පරිමාණ බොහෝ ව්‍යාපාර මුහුණදෙන ව්‍යාපාරික දැනුම් පරතරය පියවීමට උපකාරී වන වැඩසටහනක්. අපේ අරමුණ වන්නේ, එම වැඩමුළුවලට සහභාගි වන පිරිසට වර්තමාන තරඟකාරී වෙළෙඳ පොළේ සාර්ථක වීමට යෙදවිය හැකි දැනුම සමග ප්‍රායෝගික හා ක්‍රියාකාරී අලෙවිකරණ මෙවලම් ලබාදීමයි. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩමුළුවලට ව්‍යවසායකයන්ගෙන් ලැබුණු උද්යෝගිමත් සහභාගිත්වය මගින් පිළිබිඹු වන්නේ, එම ව්‍යවසායකයන් අලෙවිකරණ දැනුමෙන් හා ව්‍යාපාරික සාර්ථකත්වය අත්කර ගැනීමට කැපවී කටයුතු කරන බවයි. අපට අවශ්‍ය, රටේ අනෙකුත් ප්‍රදේශවලින් ද එවැනි උද්යෝගයක් දැකීමටයි.”

SLIM හි වැඩසටහන් හා තිරසාරත්වය පිළිබඳ උප සභාපති එනොක් පෙරේරා මහතාද ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ඔහු සදහන් කරන්නේ “ශ්‍රී ලංකාව පුරාම අන්තර්කරණය හා තිරසාර සංවර්ධනයක් සඳහා උනන්දු කිරීමේ අපගේ දිගුකාලීන දැක්ම සඳහා මෙම වැඩමුළු අත්‍යවශ්‍ය බවයි.

‘ගමට මාකටින්’ වැඩසටහන, මේ වනවිටත් වඩාත් ප්‍රායෝගික එළඹුමක් සමගින් කුඩා ව්‍යාපාරවලට ලබාදෙන වටිනාකම හේතුවෙන්, ඊට සහභාගිවන ව්‍යවසායකයන් අතරෙහි ප්‍රශංසාවට පාත්‍ර වී තිබේ. එම වැඩමුළු තුළින් අත්පත් කරගත් ප්‍රගතියත් සමග වසර පුරාම අනෙකුත් දිස්ත්‍රික්කවල ද වැඩමුළු ක්‍රියාත්මක කිරීමට SLIM ආයතනයත්, ඒ හා අත්වැල් බැඳගත් අනෙකුත් ආයතනත් දිරිගැන්වේ. එපමණක් නොව, ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ව්‍යාපාර සම්බන්ධ විශේෂඥයන්ගේ මගපෙන්වීම්වලින් ඉහළම  ප්‍රතිලාභ ලබා ගැනීමටද එම වැඩමුළු මගින්අවස්ථාව සැලසේ. 

ASBF ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති ගයාන් පෙරේරා මහතා, ASBF හි සාමාජිකයෙකු වීමෙන් හිමිවන අමතර වටිනාකම අවධාරණය කළේය: “කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ASBF හා සම්බන්ධ වන ලෙසට මම ඔවුන් දිරිගන්වනවා.  විශේෂයෙන්ම ‘ගමට මාකටින්’ වැනි වැඩමුළු වලට අමතරව, ASBF හා සම්බන්ධතා ගොඩනඟාගැනීමටත්, අලුත් වෙළෙඳ පොළවල් වෙත පිවිසීමටත් මේ හරහා හැකියාව ලැබෙනවා. ඒ වගේම, ව්‍යවසායකයින්ට තම ව්‍යාපාරය සංවර්ධනය කරගැනීමට අවශ්‍ය සහාය ලබාගැනීමට ද අවස්ථාව උදාවෙනවා. ASBF හි සාමාජිකත්වය ලබාගැනීමෙන්, වේගයෙන් වෙනස් වන ව්‍යාපාරික පරිසරය තුළ ව්‍යාපාරවල ශක්තිමත්භාවය ඇතිකර ගනිමින් තිරසාර වර්ධනයක් අත්කර ගැනීමට අවශ්‍ය සහය ලබාගත හැකියි.”

SLIM හි ‘ගමට මාකටින්’ ව්‍යාපෘති සභාපති ආචාර්ය මුදිත හේවාවනිතුංග මහතා මෙම වැඩසටහනේ සැබෑ ගෝලීය බලපෑම පිළිබඳව සිය අදහස් මෙලෙස ඉදිරිපත් කළේය. “මෙම ව්‍යාපෘතිය තුළින්, ව්‍යවසායකයින්ට තම ව්‍යාපාර ශක්තිමත් කරගෙන තම ප්‍රදේශයේ ප්‍රජාවගේ අභිවෘද්ධිය සඳහා දායක වීමට ඵලදායි අවස්ථා අපි උදා කරනවා. වැඩමුළුවලදී අපට ලැබුණු ධනාත්මක ප්‍රතිචාර, ව්‍යාපාරවල තිරසාර හා ස්වයං වර්ධනයට  ඉවහල් වන දැනුම ලබාදීමේ වැදගත්කම  තවදුරටත් තහවුරු කරනවා.”

වැඩමුළුවේදී ව්‍යාපාර සඳහා විශේෂඥ මගපෙන්වීම් සිදු කළ අසංක උදයකුමාර මහතා මෙලෙස සිය කාර්යභාරය පිළිබඳව අදහස් දැක්විය. “මේ තරම් උනන්දුවක් දැක්වූ ව්‍යවසායකයින් පිරිසක් සමඟ මෙම වැඩමුළුව පැවැත්වීමට ලැබීම ඉතාමත් ප්‍රතිඵලදායකයි. ‘ගමට මාකටින්’ වැනි වැඩසටහන් ව්‍යවසායකයන්ට විශාල වශයෙන් වැදගත් වන්නේ, ඒවා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තම පාරිභෝගිකයින් පිළිබඳව වඩාත් හොඳින් අවබෝධ කරගැනීමටත්, වෙළෙඳ පොළේ සැබෑ බලපෑමක් ඇති කරන සන්නාම ගොඩනගාගැනීමටත් උපකාර වන නිසයි.”

SLIM හි ප්‍රධාන විධායක නිලධාරී චමිල් වික්‍රමසිංහ මහතා, ව්‍යවසායකයන් සවිබලගැන්වීමේ SLIM ආයතනයේ අඛණ්ඩ කැපවීම යළිත් අවධාරණය කරමින් මෙලෙස සඳහන් කළේය. “SLIM ආයතනයේ අපගේ අරමුණ, සමාජයේ සෑම මට්ටමකම ව්‍යවසායකයින් සවිබලගැන්වීමයි. රට පුරාම ප්‍රජාව වෙත අලෙවිකරණය සම්බන්ධ වටිනා දැනුම  ගෙන ඒමට අප දක්වන කැපවීම ‘ගමට මාකටින්’ වැඩසටහන තුළින් පිළිබිඹු කෙරෙනවා. ඒ හරහා, සෑම ප්‍රදේශයකම ව්‍යවසායකයන්ට දියුණු වීමට අවස්ථාව උදා කිරීම අපේ අරමුණයි.”

SLIM ආයතනය විසින් සැලසුම් කර ඇත්තේ, ඉදිරි මාස කිහිපය තුළ දිස්ත්‍රික්ක ගණනාවකම, මෙම‘ගමට මාකටින්’ වැඩමුළු අඛණ්ඩව පැවැත්වීමටයි. එහි තවත් අදියරක් ලෙසින්, තම ව්‍යාපාරය අයත් ප්‍රදේශය නොසලකා ව්‍යවසායකයින්ට අත්‍යවශ්‍ය අලෙවිකරණ දැනුම ලබාගත හැකි App එකක් නිර්මාණය කිරීමේ ඉලක්කයද  පවතී. SLIM සහ SED අත්වැල් බැඳගනිමින් දියත් කරන මෙම වැඩසටහන තුළින්, ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කළ හැකි, ශක්තිමත් හා වඩාත් ඔරොත්තුදීමේ හැකියාවෙන් යුත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයක් බිහිකිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමට නියමිතය. 

4 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close